ආයුධ පෙන්වීමට එක්ක යා යුතු කල්ලියක් – (A – 9ක් ලැබුණු දරුවාට ගිනි තැබීම සම්බන්ධයෙනි.)

1032

ඉතා දීර්ඝ සහ ම්ලේච්ඡ කතාවක් ඉතා කෙටියෙන් කියමු. නුවර අම්පිටියේ පාසලක උගත් සිසු දරුවෙක් A – 9 ක් සහිතව අ.පො.ස. (සා.පෙළ) විභාගය සමත් වෙයි. එය එම පවුලේ අයට විචිත්‍ර වූ අවස්ථාවකි. මේ දරුවාගේ මව විදේශ රැකියාවක නියුතු වන අතර දරුවාගේ නැන්දනිය විභාගය සමත්වීමේ සතුට නිමිත්තෙන් රාත්‍රි ආහාර වේලක් සඳහා දරුවාට ඇරයුම් කරයි. දරුවා සහ ඔහුගේ පියා එයට සහභාගි වෙති. ඔවුන් ගෙදර එන අතර දරුණු මැර කල්ලියක සාමාජිකයෙක් ඔවුන්ට හමුවෙයි. මීට දෑවුරුද්දකට පෙර මේ අපරාධ කල්ලියේ සාමාජිකයන් කිහිපදෙනකු විසින් කුරුස දෙකකට තබා ඇණ ගසා මරණ ලදි. ඒ කල්ලියේ සිටින එක් අයකු හෝ කිහිපදෙනකු සහ දරුවාගේ පියා අතර කිසියම් වචන හුවමාරුවක් ඇතිවෙයි. ඒ මොහොතේදී මැර කල්ලි සාමාජිකයා සිටින්නේ කිසියම් අපරාධ කාර්යයක් සිදුකිරීමට යෑම සඳහා භූමිතෙල් ලීටරයක ප්‍රමාණයක් පොලිතීන් බෑගයක් තුළ දමාගෙන ය. රාත්‍රි කාලය බැවින් ඔහු අතේ පන්දමක් ද තිබේ. කතාව දුර දිග යෑමත් සමගම අපරාධකරු භූමිතෙල් බෑගය කඩා එහි ඇති භූමිතෙල් දරුවාගේ ඇඟට වීසිකර පන්දමෙන් ඔහුගේ සිරුරට ගිනි තබයි. මෙහිදී දරුවාගේ ගෙලෙන් පහළ ප්‍රදේශය බරපතල ලෙස පිළිස්සීමට ලක්වන අතර අපරාධකරුවෝ පැන යති. මේ අතර මේ සිද්ධිය ගැන අම්පිටිය පොලිසියට ආරංචි වෙයි. එකී ආරංචිය අනුව රෝහලට යන පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂා කර අපරාධකරු අත්අඩංගුවට ගනී. පොලිසිය රෝහලට නොයන්නට මේ සිද්ධිය පිළිබඳ යම් ප්‍රමාණයක ගැටලුවක් මතුවීමට ඉඩ තිබිණ. මන්ද යත් දරුවාගේ පියා මැර කල්ලියට මහත් සේ බියෙන් සිටින බැවින් සිද්ධිය පිළිබඳ පොලිසියට පැමිණිලි නොකිරීමට තීරණය කිරීම ය. දාමරිකයන්ට බයෙන් සාමාන්‍ය ජනයා ස්ත්‍රී දූෂණ, කොල්ලකෑම් පමණක් නොව මිනීමැරුම් ද ඉවසූ කාලයක් මේ රටේ තිබිණ. ඒ වූකලී පසුගිය ශතවර්ෂයේ පළමුවැනි කාර්තුවයි. එම කාලයේදී ඇතැම් ප්‍රභූවරුන් විසින් මෙහෙකාරකමට ගෙන්වා ගන්නා පළාත්වාසී ගැහැනු ළමයින් දූෂණය කරනු ලැබේ. ඉන්පසු එම දරුවෝ හැඬූ කඳුළින් ගෙවල් බලා යති. ඇයට දරු ගැබක් පිහිටි කල්හි බලහත්කාරයෙන් පිරිමියකුට විවාහ කරදීම සිදු කෙරෙයි. තම දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් ගෙවල්වල මහ මිනිසුන් පෙරකී දාමරික ප්‍රභූවරයාට විරුද්ධව පොලිසි යන්නේ නැත. එසේ පොලිසි ගියොත් ඊළඟ රාත්‍රියේදී එම දුප්පතුන්ගේ නිවස ගිනි තබනු ලැබේ. ඒ ගෙවල්වල වහල හෙවිල්ලා ඇත්තේ හොඳට ඇවිළෙන පොල් අතුවලිනි.

එක්දහස් නවසිය පනස් ගණන් වන විට මේ රටේ සාමාන්‍ය මිනිසුන් අතරින් දාමරික පංතියක් පහළ විය. දාමරික ප්‍රභූවරුන් කළ සාපරාධි ක්‍රියා ඒ ආකාරයෙන්ම හෝ ඊටත් වඩා භයානක අයුරින් මේ අලුත් දාමරික පන්තිය විසින් සිදුකරන ලදි. ඒ කට්ටියට එරෙහිව සිවිල් ජනතාව පොලිසිය පළාතටවත් ගියේ නැත. ඇතැම් විට පොලිසිය පාලනය කරන ලද්දේ ද මේ දාමරික කල්ලි විසිනි. දාමරිකයන් දුටු විට රාළහාමිලා දෙකට නැමෙන්නටත් ඕ.අයි.සී. හිටගැනීමත් සිදුවිය. 1980 න් පසු අලුත්ම දාමරික රැල්ලක් පහළ වෙයි. ඔවුහු දේශපාලකයන් සමග එක පතේ කන, එක ටොයිලට් එකේ මූණට මූණ බලාගෙන පැහැරූ පිරිසකි. මේ පිරිස දේශපාලනඥයන්ගේ අනුග්‍රහය යටතේ දුප්පත් මිනිසුන්ගෙන් එළිපිටම කප්පම් ගත්හ. කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මැරීම, කොන්ත්‍රාත් ක්‍රමයට ඇසිඩ් ගැසීම, කප්පම් ගැනීම සඳහා මිනිසුන් උස්සාගෙන යෑම, ස්ත්‍රී දූෂණ වැනි දේවල් දේශපාලනඥයන්ගේ අනුග්‍රහය යටතේ මේ පිරිස විසින් සිදුකරන ලදි. එක්දහස් නවසිය අසූ ගණන්වලදී බිහිවූ ප්‍රචණ්ඩ දාමරිකයන් අතර සොත්ති උපාලි, චින්තක අමරසිංහ, ඔහුගේ සහෝදරයා වූ ධම්මික අමරසිංහ, කළු අජිත්, ඉරේෂ්, මොරටු සමන්, නාවල නිහාල්, වම්බොට්ටා, ඕල්කොට්, දෙමටගොඩ කමල්, කිඹුලා ඇළේ ගුණා, තෙල් බාලා, බම්බලපිටියේ පොඩි රයන්, ප්‍රින්ස්, ආනමාලු ඉමිටියාස්, වෙලේ සුදා, මාකඳුරේ මධුෂ්, කන්ජිපානි ඉම්රාන්, රනාලේ සමයං, අංගොඩ ලොක්කා, ඉන්ද්‍රා, කෙසෙල්වත්තේ දිනුක, කොස්ගොඩ තාරක යන ප්‍රධාන දාමරිකයෝ වූහ. මේ හැම පුද්ගලයෙක් යටතේම විශාල දාමරික කණ්ඩායමක් ක්‍රියාත්මක විය. මිනිස්සු මේ දාමරිකයන්ගේ තාඩන පීඩන ඉවසමින් ඔවුන් කෙරෙහි ඇති බිය නිසා පොලිසියට නොගොස් ඉතාම කාලකන්නි ජීවිත ගත කළහ. රඹුටන්කාරයාගෙන් සහ බොම්බයි මොටයිකාරයාගෙන් පවා ඔවුන් විසින් කප්පම් අය කරන ලදි. ඒ අතර කප්පම් කර්මාන්තයේ පේටන්ට් බලපත්‍රය සඳහා එකිනෙකා මහ දවල් මහපාරේ වෙඩි තියා ගත්හ. එවැනි cross fireවලට අහුවුණු සාමාන්‍ය සිවිල් ජනයා මහ පාරේදීම මිය ගියහ. ඇතැම් අපරාධකාරයෙක් ඝාතනය කෙරුණු විට ඔහුගේ මළ සිරුර සුසාන භූමිය වෙත ගෙනයන විට හෙලිකොප්ටරයෙන් මල් ඉසින ලදි. එක් දාමරික කණ්ඩායමක නායකයෙක් අනෙක් දාමරික කණ්ඩායම විසින් ඝාතනය කළ කල්හි එම අවස්ථාව සමරන ලද්දේ තරු පහේ හෝටල්වල විශාල පාටියක් දැමීමෙනි. මෙවැනි පාටියක් සඳහා රුපියල් ලක්ෂ 25 ක් 30 ක් වියදම් වෙයි. ඒවාට ඇතැම් පොලිස් ලොක්කෝද ප්‍රාදේශීය මට්ටමේ අපරාධකරයෝද සහභාගී වූහ. කප්පම්කාරයන් සමග ඇතැම් ආණ්ඩුවල ඇමැතිවරුද සිටියහ. කැලණිය පැත්තේ බලය පතුරුවාගෙන සිටි එක්තරා දේශපාලනඥයෙක් තම දරුවන් පිටරට යවා උගන්වන ලද්දේද ගෙවල් හදන ලද්දේද කප්පම් සල්ලිවලිනි. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ අවසන් කොටසේදී එනම් යුද ජයග්‍රහණයෙන් පසු මේ කප්පම් කල්ලිවලින් 80% ක් සමතලා කිරීමට හැකි විය. සාපරාධී කල්ලිවල නැගී සිටීම ප්‍රාදේශීය මට්ටමින් සිදුවන බව අම්පිටියේ ගිනි තැබීමෙන් පැහැදිලි වෙයි. මෙසේ ගිනි තබන ලද්දේ ගෙයකට නොව දරුවකුට ය. මෙහි ඇති බරපතලකම රටක් වශයෙන් අප තේරුම් ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment