ආයු, වර්ණ, බල, සැප, ප්‍රඥාව ලැබෙන ගෙදර හදන නියම හෝරාව

470

ගොඩක් දෙනකුට මතක ඇති මෙයට වසර 02 ක 03 ක වගේ කාලය අතරතුර මහනුවර ලේවැල්ල ප්‍රදේශයේ එක්තරා තෙමහල් ගොඩනැඟිල්ලක් කඩාවැටී එහි සිටි අහිංසක දරු පවුලක් විනාශයට පත්වුණ ආකාරය. ලංකාවේම කතාබහට ලක්වුණ මෙම ඛේදනීය අනතුර සිදුවුණේ එම තෙමහල් නිවස ඉදිකිරීමේදී ප්‍රමිතිය, ගුණාත්මක භාවය නොසලකා දෙමහල්ව ඉදිකිරීමට අනුමැතිය ලබාගෙන එම අමුද්‍රව්‍ය (යකඩ, සිමෙන්ති, වැලි, ගල්) විශේෂයෙන් දෙමහල් නිවසකට යොදන්නේ තෙමහල් නිවසකට වඩා අඩු ඝනත්වයකින් යුත් කම්බිය. නමුත් දෙමහල් නිවසටම දමන යකඩ කම්බි යොදාගෙන එසේ ගුණාත්මක බව නොසලකා ඉදිකළ නිවස අල්ප ආයුෂකින් විනාශ වුණේ මනුෂ්‍ය ජීවිත ද බිල්ලට ගනිමිනි. එසේ නම් නිවසක පරම ආයුෂ ගෙවීමටත් පෙර වසර කිපයක් ඇතුළතදීය. සාමාන්‍යයෙන් වාස්තු විද්‍යාවේදී නිවසක ආයුෂ ගණනය කරන්නේ වර්ෂ 200 ක් වුවද නිවසේ ඒක දශා පොරොන්දම්වලදී එය ගණනය කරන්නේ වර්ෂ 100 ක් ගණනය කිරීමෙන් ආයුෂ පොරොන්දම 50%ට වඩා අගයක් ලෙස ගෙන ය.

මනුෂ්‍යයකුගේ ආයුෂ, ඔහු ජීවත්වන කාලසීමාව මෙපමණක් යැයි කිසිවකුට පැවසීමට නොහැක. පූර්ව ආත්මවලදී කරන ලද කුසල් අකුසල් මත ජීවියකුගේ ආයුෂ තීරණය වේ. බුදු කෙනකුට හැර මෙය දැකීමට කිසිවකුටත් නොහැක. අජීවි දේවල්වල ආයුෂ පිළිබඳව පැවසිය හැකිය. නමුත් වාස්තු විද්‍යාවේදී මේ නිවස සලකන්නේ අජීවි වස්තුවක් නොව ජීවියකු ලෙසයි. මක්නිසාද මෙය අපගේ මසැසින් සිමෙන්ති, යකඩ, ගල්, වැලි එකතු කර දැව, උළු, තහඩු උපයෝගි කරගෙන ඉදිකළ භෞතික දෙයක් වුවද මෙය විශ්වයට සම්බන්ධ, විශ්වයේ ශක්තීන් ලබාගෙන ක්‍රියාකරමින් එම විශ්ව ශක්තිය ගබඩාකරන විෂ්වයේ නියෝජිතයෙකි. එනම් ජීවියෙකි. මෙම ජීවියා වාස්තු විද්‍යාවට අනුකූලව අවනතව ස්ථාපිත කළ යුතුය. එසේ වාස්තු විද්‍යාවට පංච ධාතුන්ට එරෙහි වීම විශ්වය හා ඇති සම්බන්ධතාවයට විරුද්ධ වීමකි. ස්වභාවධර්මයා විසින් ම එම නිවසේ ආයුෂ අල්ප කෙරෙනු ඇත.
දීර්ඝ ආයුෂ පවතින නිවසක් ඉදිකිරීම සඳහා

නිවස ඉදිකරන භූමිය වාස්තු විද්‍යානුකූලව ශුභ දෙන භූමියක් විය යුතුය.

වාස්තු රත්නාවලියේ සඳහන් වන ආකාරයට නැඟෙනහිර, උතුර, ඊශාන, උස් වී බටහිර පහත් වීම දෛත්‍ය පෘෂ්ඨ ලක්‍ෂණ භූමිවල නිවාස ඉදිකිරීමෙන් එම නිවසේ ආයුෂ අල්ප වේ. පිපිරීම්, පැළීම් සහිත භූමි, ශල්‍ය දෝෂ බලවත්ව ඇති භූමි, තුඹස් සහිත බිම් පහත්වීම් උස්වීම් (නිම්න) යන විෂම භූමිවල නිවාස ඉදිකිරීමෙන් එම නිවාස අල්ප ආයුෂ ලබා ගෘහවාසීන්ට ද විනාශය ළඟා වේ. ඒ වගේම භූිමිවල හැඩය ත්‍රිකෝණ හැඩය, පාර්ශුනාම හැඩය (පොරව) ශුර්පි භුමි, කුල්ලක හැඩය ගත් භූමි අනු දිශාවන්ට දික්ව පිහිටි භූමි යන මේ භූමිවල නිවාස ඉදිකිරීම නිසා ගෘහ හිමියා ඇතුළු නිවැසියන් නොයෙක් කරදර, විපත්, මරණ, ලෙඩදුක් බහුල වී නිවස පාළුවට පත්ව නිවස ද අල්ප ආයුෂට ලක්වේ. මක්නිසාද විශ්ව ශක්තියට, ස්වභාව ධර්මයට පටහැනිව ඉදිකෙරෙන නිවස ස්වභාව ධර්මයෙන් විනාශයට ලක්කරයි. එනම් එහි වෙසෙන නිවැසියන් විනාශයට ලක්කිරීම තුළින් නිවස ඉබේම විනාශයට ලක්ව අඩු ආයුෂ ලබයි.

කෝණ මාසවල නිවාස වැඩ කටයුතු ඇරඹීම

පෘථිවියේ චුම්බක ශක්තිය අධික වකවානුවක් ලෙසින් මෙම කෝණ මාස කාලය හැඳින්වේ. මීන කෝණය, මිථුන කෝණය, කන්‍ය කෝණය, ධනු කෝණය කාල අතරතුර නිවස ඉදිකිරීමට යෑමෙන් නිවසේ වැඩ කටයුතු අතරමඟදී නවතී. එහි මේසන්, වඩු බාස්ලාගේ පැමිණීම ද නවති. කෙසේ හෝ ඉදිකළ ද එම නිවස අල්ප ආයුෂ දැරීමට හේතු වේ.

ශුභ ගෘහ පිණ්ඩයක් ලබාගත යුතුය.

නිවසේ නිවාස සැලසුම පරීක්‍ෂාවට ලක්කර එහි ක්‍ෂේත්‍රඵලය අනුව ගෘහ පිණ්ඩය වර්ග කර හොඳ ආය වර්ගයක් නිවාස වර්ගීකරණයේදී ලබාගත යුතුය. ඕවාජ, සිංහාය වර්ගය, ගජය වර්ගය, වෘක්‍ෂාය වර්ගය යන නිවාසයක් ගැලපෙන පරිදි තෝරාගත යුතුය. කිසි විටෙක ධූම, කාක, කොටළු, ශ්වාන, නිවාස ආය තෝරා නොගත යුතුය. මේවා අල්ප ආයුෂ ඇති නිවාසය. මීළගට ගෘහ පිණ්ඩය අනුව නිවසේ ගෘහමූලිකයා, බිරිඳ, දරුවන්ගේ ජන්ම පත්‍රිකාවලට අනුව ක්‍ෂේම, සම්පත්, සාධක, මෛත්‍රී, පරම මෛත්‍රී, නැකැත් වලට ගෙය සීහුම් කළ යුතුය. එසේ කිරීමෙන් එම නිවස දීර්ඝායුෂ ලබන නිවසක් බවට පත්වේ. පොරොන්දම් 11 අනුව නිවසේ ආයුෂ ද 50% කට වඩා අගයක් ලබාගත යුතුය. එසේ නොවී නිවසේ නැකත වධ ජන්ම, ප්‍රත්‍යාරි විපත් ආදිය යෙදීම ද නිවසේ ආයුෂ ඒකා දශා පොරොන්දමට අනුව 50% ට අඩුවීම ද නිවසේ ජීව ගුණය පිරිහීමට අල්ප ආයුෂට හේතු වේ.

බලවත් යෝගයක් තුළ නිවාසය ඉදිකිරීම

ලග්නය සිකුරු ද, 05 වැන්නේ ගුරු ද, 06 කුජ ද, 03 රවී ද, පිහිටි විට එම නිවසේ ආයුෂ වසර 200 ක් යැයි තීරණය වේ.

ලග්නය ගුරු, බුධ 07, සෙනසුරු 03 වැන්නේ ද, 06 වැන්නේ රවි ද, 04 සිකුරු ගෙනදෙන යෝගයක නිවසේ ආයුෂ වසර 100 ක් වේ.

වහලය නිවැරදිව සකස් නොකිරීම නිවසේ ආයුෂ කෙරෙහි බලපායි.

වාස්තු විද්‍යාවට අනුව නිවසක වහලය යනු ගෘහ හිමියාගේ ශීර්ෂයයි. වහලය එයට දමන මුදුන් යටලීය, සෙසු යටලී, කුරුපා, බාල්ක, පරාල තුළින් විශ්වය හා සම්බන්ධ වෙමින් මේ දැව අතර ශුභ අශුභ තරංග ගමන් කරයි. ඒවා ශුභාකාරයෙන් නිවසට ගැනීමට නම් වහලය නිවැරදි විය යුතුය. එහිදී පල 02, පල 03, පල 04, පල 05, පල 07 පල 08 ශුභ වන අතර තනි ඵලයේ වහල කිසි විටෙක නිවෙසක ඉදි නොකළ යුතුය. තනි පලයේ වහල ජීව ගුණයක් නොමැති අතර ඉක්මනින් නිවස පාළු වේ. අල්ප ආයුෂ දරයි.

බ්‍රහ්ම පාදය නිදහස් ස්ථානයක තබන්න.

සමහර නිවාසවල නිවසට ගෙවදීමටත් පෙර ඇතුළත බිත්ති පුපුරා කටඇරී පවතී. මෙය මම ද ප්‍රායෝගික පරීක්‍ෂාවකදී දැක ඇත්තෙමි. පරීක්‍ෂාවේදී පෙනී ගියේ එම බිත්තියට බ්‍රහ්ම පාද ලක්‍ෂ්‍යය හසුව ඇති බවයි. බ්‍රහ්ම පාද ලක්‍ෂ්‍යයේ ආන්තරීය ශක්තිය ක්‍රියා කරන ආකාරය එය තුළින් සනාථ වේ. කෙසේ වුවද මෙලෙස නිවසක බිත්තියකට, පඩිපෙළට, නාන කාමරයට, දොරක් මධ්‍යයට (උළුවස්ස) බ්‍රහ්ම පාදය බාධා වීම ද එම නිවසටත් නිවසේ ගෘහ මූලිකයාටත් අල්ප ආයුෂ ගෙන දෙන කරුණක් වීමට හැකිය.

බහිරව පූජාව කිරීම

භූමිවල නිවෙස්වල බහිරව දෝෂ, අමනුෂ්‍ය දෝෂ, මළගිය ඥාතීන්ගේ බලවත් වීම තුළින් නිවාස වාස්තු විද්‍යා නියමයන්ට ඉදිකළ ද බහිරව දෝෂ බලවත්වීම තුළ නොයෙක් පීඩාවන්ට පත්වීමට ඉඩ තිබේ. නිවස සැදීමට ප්‍රථම, නිවස සාදා පදිංචිවීමට ප්‍රථම හා නිවසේ පදිංචි වීමෙන් පසු බහිරව පූජාවක් තැබීම එම නිවසේ ජීව ගුණය වැඩිවීමට, දීර්ඝායුෂ ලැබීමට හේතු වේ.

නිවස ඉදිකිරීමට ගන්නා අමුද්‍රව්‍ය

ඉතාමත්ම වැදගත් දෙය නම් නිවසක් යනු අවුරුද්දකට දෙකකට සාදන ඉදිකිරීමක් නොව පරම්පරා ගණනාවක් පැවතිය යුතු ස්ථානයකි. එවන් ඉදිකිරීමකදී ගන්නා යකඩ, වැලි, සිමෙන්ති හා තාක්‍ෂණික ගුණය, ගුණාත්මක නොවුනහොත් මා ලිපිය ආරම්භ කළ කනගාටුදායක තත්ත්වයන් ඇති වේ. විශේෂයෙන්ම දෙමහල් නිවසක් කියා මහල් තුනක් ඉදිකිරීම, තෙමහල් නිවසක් කියා මහල් 04 ක් ඉදිකිරීම කළ නොහැක. දෙමහල් නිවසකට ගන්නා අමුද්‍රව්‍ය විශේෂයෙන් යකඩ සිමෙන්ති ප්‍රමාණයන් වෙනස් ය. එසේ ප්‍රමාණයන්ගේ අඩුවීම පීඩනය කෙරෙහි බලනොපානු ඇත. ඉන් ඇතිවන අවසාන ප්‍රතිඵලය එම ගොඩනැඟිල්ලට මෙන්ම එහි වාසය කරන අහිංසක දරු පවුල්වලට ද අල්ප ආයුෂකින් වන්දි ගෙවීමට සිදුවීමයි.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් දීර්ඝායුෂ ඇති නිවසක් ඉදිකිරීම උදෙසා, නිවසක් ඉදිකිරීමේදී ආරම්භක දෝෂයක් නොමැතිව තමාගේ ජන්ම ග්‍රහයන් බලවත්ව සිටින වකවානුවක, බලවත් හෝරාවක නිවසක වැඩ ආරම්භ කිරීමෙන් දීර්ඝායුෂ ලබන නිවසක් ඉදිකිරීම කළ හැකි වේ. එසේ කිරීම තුළින් එම නිවසේ පදිංචි වන අයගේ ද ආයු, වර්ණ, බල, සැප, ප්‍රඥාව වර්ධනය වේ.

ආයු, වර්ණ, බල, සැප, ප්‍රඥාව ලැබෙන ගෙදර හදන නියම හෝරාව

දේශබන්දු දේශමාන්‍ය විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද
ඩබ්. කේ.ඒ.එම්.චන්ද්‍රසිරි
දු.ක.-0777856649
සඳලංකාව

advertistmentadvertistment
advertistmentadvertistment