මේ දිනවල දිගින් දිගටම මැතිවරණය සහ ජනාධිපතිවරණය ගැන බොහෝ කතා ඇසේ. ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ මෙන්ම අනිකුත් දේශපාලන පක්ෂවල උදවිය සේම රටේ ජනතාවද මේ ගැන දක්වන්නේ දැඩි උනන්දුවකි. ඒ නිසාම රට පුරා විවිධ මතවාද විසංවාද ගොඩනැගෙමින් තිබේ.බොහෝවිට අප පාඩම් උගත යුත්තේ ඉතිහාසය ඇසුරිනි. මේ ලිපි දෙක ඊට ඉවහල් වනු ඇතැයි සිතමු.

වර්ෂ 1948 පෙබරවාරි 04 වැනිදා ඉංග්‍රීසීන් ගෙන් අපට නිදහස ලැබුණ ද එය සැබෑ නිදහසක් වූයේ වර්ෂ 1972 මැයි 22 වැනිදා ජනරජයක් ලෙස ශ්‍රී ලංකාව පත්වීමත් සමගිනි. ලොව ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1970 මැයි මස පැවැති පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ලැබූ ඓතිහාසික 2/3ක ජනවරමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලංකා සමසමාජ පක්‍ෂය හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂ එක්ව සමගි පෙරමුණු රජය මුළු පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් ලෙස භාවිත කරමින් නව ජනරජ ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ලැබීය.

1947, 1952, 1956, 1960 මාර්තු හා 1960 ජූලි යන පාර්ලිමේන්තු මහා මැතිවරණවලින් කලින් කලට එ.ජා.ප., ශ්‍රී ලනිප- මඑපෙ තවත් දේශපාලන පක්‍ෂ සමගින් ආණ්ඩුව පිහිටු වුවද 1960 මහා මැතිවරණයෙන් එ.ජා.ප.ය තනි පක්‍ෂයක් ලෙස වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත්ත ද විපක්‍ෂයේ බලය වැඩිවීමෙන් 1960 මාර්තු මහා මැතිවරණයෙන් පිහිටු වූ එ.ජා.ප. ආණ්ඩුව රාජාසන කථාවෙන් පරාජයට පත්විය. රජය, එ.ජා.ප. වුවත් කථානායකවරයා තේරීමේ ඡන්දයේ දී විපක්ෂයේ කටුගම්පළ මන්ත්‍රී ටී. බී. සුබසිංහ මහතා ජය ලබා කථානායක ධුරයට පත්වීම ඓතිහාසික සිද්ධියක් විය. 1960 මාර්තු එ.ජා.ප. රජය බිඳ වැටී මාස 04ක් වැනි කාලයක දී 1960 ජූලි 21 වැනිදා යළි පාර්ලිමේන්තු මහා මැතිවරණයකට යෑමට සිදුවිය. එම මහා මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ල.නි.ප.ය ලැබූ ජයග්‍රහණයත් සමගින් බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අගමැතිනිය ලෙස පත්වූවාය.

1970 මැයි 27 වැනිදා පැවැති පාර්ලිමේන්තු මහා මැතිවරණය ඓතිහාසික මහා මැතිවරණයක් විය. මෙම වසරේ මැයි 27 වැනිදාට එම ඓතිහාසික සිදුවීමට වසර 54ක් සපිරේ. ශ්‍රී ල.නි.ප. නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ලසසප නායක ආචාර්ය. ඇන්. ඇම්. පෙරේරා සහ ශ්‍රී ලකොප නායක වෛi එස්. ඒ. වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් පක්‍ෂ තුන නිතරග ගිවිසුමකට එළැඹී සමගි පෙරමුණ නමින් පෙරමුණක් නිර්මාණය කර ගනිමින් මහා මැතිවරණයට තරග කළහ.

එම පෙරමුණේ ප්‍රබල ප්‍රතිවාදියාට ඒ වනවිට මෙරට තෙවරක් අගමැති ධුරය හෙබැවූ ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් යුත් එජාපය සමගි පෙරමුණ හමුවේ ලංකා ඉතිහාසයේ දැවැන්තම පරාජයකට මුහුණ දුන්නේය. 1956 මහා මැතිවරණයෙන් එජාපය ආසන 08කට කඩා වැටීමෙන් අනතුරුව සිදුවූ දැවැන්තම පරාජය 1970 මැයි 27 මහා මැතිවරණය යි.

ශ්‍රීලනිප තරග කළ ආසන සඳහා ලසසප හා ශ්‍රීලකොප අපේක්‍ෂකයන් ඉදිරිපත් නොකළ අතර එම පක්‍ෂවල පූර්ණ සහාය ශ්‍රී ලනිප අපේක්‍ෂකයාට ලබාදුන් අතර ලසසප අපේක්‍ෂකයන් ඉදිරිපත් කළ ආසන සඳහා ශ්‍රී ලනිප හා ශ්‍රීලකොප අපේක්‍ෂකයන් ද ශ්‍රී ලකොප අපේක්‍ෂකයන් ඉදිරිපත් නොකළහ. සමගි පෙරමුණක් ලෙස තරග කරමින් දිවයිනේ ඡන්ද බල ප්‍රදේශ 145 කින් බහු මන්ත්‍රී ආසනවල මන්ත්‍රීවරුන් මන්ත්‍රී ධුර 151න් පිළිවෙළින් ශ්‍රී ලනිප ආසන 91ක් ද ලසසප ආසන 19ක් හා ශ්‍රී ලකොප ආසන 06ක් ද සහිතව මුළු ආසන 121ක් දිනා ගත්හ. පාර්ලිමේන්තුව තුළ ආසන 101ක් හෝ ඊට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත් නිසා එම ජයග්‍රහණය 2/3ක ජයග්‍රහණයක් විය.

1970 මැයි 27 මහා මැතිවරණ ප්‍රතිඵලය මෙසේ දැක්වේ :-

  • ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය – ලබාගත් මුළු ඡන්ද 18,39,979 (ප්‍රතිශතය 36.86%) ආසන 91යි.
  • ලංකා සමසමාජ පක්‍ෂය – ලබාගත් මුළු ඡන්ද – 4,33,224 (ප්‍රතිශතය 8.68%) ආසන 19යි.
  • එක්සත් ජාතික පක්‍ෂය – ලබාගත් මුළු ඡන්ද – 18,92,52 (ප්‍රතිශතය 37.91%) ආසන 17යි.
  • ඉලංගෙයි තමිල් අරසු කච්චි (ෆෙඩරල් පක්‍ෂය) ලබාගත් මුළු ඡන්ද 2,45,727 (ප්‍රතිශතය 4.92%) ආසන 13යි.
  • ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය – ලබාගත් මුළු ඡන්ද – 1,69,199 (ප්‍රතිශතය 3.39%) ආසන 06යි.
  • සමස්ථ ලංකා ද්‍රවිඩ සංගමය – ලබාගත් මුළු ඡන්ද – 1,15,567 (ප්‍රතිශතය 2.32%) ආසන 03යි.
  • ස්වාධීන අපේක්‍ෂකයන් – ලබාගත් මුළු ඡන්ද – 2,49,006 (ප්‍රතිශතය 4.99) ආසන 02යි. ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව – 55,05,028යි.

මෙම ප්‍රතිඵලයේ සුවිශේෂී සිද්ධිය වන්නේ තනි පක්‍ෂයක් ලෙස එජාපය වැඩිම ඡන්ද මුළු සංඛ්‍යාව වන 18,92,525 ලබා 37.91%ක ප්‍රතිශතයක් වාර්තා කරමින් දිනා ගතහැකි වූයේ ආසන 17ක් පමණි. නමුත් ශ්‍රී ලනිපය මුළු ඡන්ද 18,39,979ක් ලබා ප්‍රතිශතයක් ලෙස 36.86%ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවේ ආසන 91ක් ලබාගැනීමයි. එජාපයට විපක්‍ෂ නායක ධුරය හිමිවූ අතර, එජාප නායක හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතා ඉතා ම අඩු වැඩි ඡන්ද සංඛ්‍යාවක් වූ වැඩි ඡන්ද 1027කින් දැදිගම අසුන ජය ගත්ත ද දකුණු කොළඹ බහු මන්ත්‍රී අසුනේ පළමු මන්ත්‍රීවරයා ලෙස පත්වූ ජේ.ආර්. ජයවර්ධන මහතා (එජාප නියෝජ්‍ය නායකයා) විපක්‍ෂ නායක තනතුරට පත් කෙරුණි. යම් හෙයකින් ලසසප සමගි පෙරමුණ රජයේ පාර්ශ්වකරුවකු නොවූවා නම් විපක්‍ෂ නායක ධුරය ද හිමිවන්නේ පාර්ලිමේන්තු ආසන 19ක් දිනාගත් ලසසප නායක යටියන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාට ය. නමුත් ලසසප සමගි පෙරමුණ රජයේ පාර්ශ්වකරුවකුවූ නිසා ම ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා එම රජයේ මුදල් අමාත්‍ය ධුරයට පත්විය.

ආයෙත් තුනෙන් දෙක ගන්නවා බොරු

ලංකා සමසමාජ පක්‍ෂය දිනාගත් ආසන 19ක් වූයේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා (යටියන්තොට), බර්නාඩ් සොයිසා මහතා (දකුණු කොළඹ බහු අසුන දෙවැනි මන්ත්‍රී), කුසලා අබේවර්ධන මහත්මිය (බොරැල්ල), විවියන් ගුණවර්ධන මහත්මිය (දෙහිවල – ගල්කිස්ස), විමලසිරි ද මැල් මහතා (මොරටුව), ලෙස්ලි ගුණවර්ධන මහතා (පානදුර), චම්ලි ගුණවර්ධන මහතා (කළුතර අසුන), එල්. සී. ද සිල්වා මහතා (අම්බලන්ගොඩ), වීරසිංහ ද සිල්වා මහතා (බළපිටිය), සුමනපාල දහනායක මහතා (දෙණියාය), ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා (අගලවත්ත), වාසුදේව නානායක්කාර මහතා (කිරිඇල්ල), අතාවුද සෙනෙවිරත්න මහතා (රුවන්වැල්ල), පී. ඕ. විමලනායක මහතා (කොළොන්න), නීල් ද අල්විස් මහතා (බද්දේගම), ධනපාල වීරසේකර මහතා (දෙහිඕවිට), විල්ප්‍රඩ් සේනානායක මහතා (හෝමාගම), මංගල මුණසිංහ මහතා (බුලත්සිංහල) හා චන්ද්‍රා ගුණසේකර මහතා (කොට්ටාව) යන ආසනවලින් ජය ගත්හ.

එක්සත් ජාතික පක්‍ෂයට දිනාගත හැකිවූ ආසන 17 සඳහා තේරී පත්වූයේ හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතා (දැදිගම), ජේ. ආර්. ජයවර්ධන මහතා (දකුණු කොළඹ බහු අසුන පළමු මන්ත්‍රී), වී. ඒ. සුගතදාස මහතා (උතුරු කොළඹ), රණසිංහ ප්‍රේමදාස මහතා (මැද කොළඹ බහු අසුන පළමු මන්ත්‍රී), ෆලීල් ඒ කපූර් මහතා (මැද කොළඹ බහු අසුන – දෙවැනි මන්ත්‍රී), පාරිස් පෙරේරා මහතා (ජාඇළ), එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා (මීගමුව), ගාමිණී දිසානායක මහතා (නුවරඑළිය), ඊ. එල්. සේනානායක මහතා (මහනුවර), එන්. විමලසේන මහතා (සෙංකඩගල), ඒ. සී. එස්. හමීඩ් මහතා (අකුරණ බහු අසුන – පළමු මන්ත්‍රී), එස්. බී. හේරත් මහතා (හිරියාල), එම්. ඒ. අබ්දුල් මජීඩ් මහතා (පොතුවිල්), එම්. එම්. මුස්තාපා මහතා (නින්දවුර්), එස්. තම්බිරාජා මහතා (පදිරිප්පු), කේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා (කල්කුඩා), විජයානන්ද දහනායක මහතා (ගාල්ල), යන මහත්වරුන්ය.

එ.ජා.ප. මන්ත්‍රීවරුන් 17න් හතර දෙනකු මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා හා පදිරිප්පු යන ආසනවලින් ද දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ (අම්පාර), පොතුවිල් හා නින්දවුර් යන ආසනවලින් පත්වූ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ, මැද කොළඹ, දකුණු කොළඹ ජාඇල හා මීගමුව (මීගමුව හා ජාඇල එවක කොළඹ දිස්ත්‍රික්කයට අයත්ය) යන ආසනවලින් මන්ත්‍රීවරුන් 06 දෙනකු පත්වූහ. මහනුවර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙක් ද කෑගල්ල, කුරුණෑගල, ගාල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවලින් මන්ත්‍රීවරුන් එක් අයකු බැගින් පත්වූහ.

ලංකා සමසමාජ පක්‍ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරුන් හය දෙනෙකු ද, කළුතර දිස්ත්‍රික්කයෙන් සිව්දෙනෙක් ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් තිදෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තිදෙනෙකු හා මාතර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරයකු හා රත්නපුර දිස්ත්‍රික්කයෙන් දෙදෙනකු ලෙස පත්වූහ.

1970 මැයි මස 27 වැනිදා පැවැති මහා මැතිවරණය සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පැවැති අවසන් පාර්ලිමේන්තු මහා මැතිවරණයවූ අතර, 1972 මැයි 22 වැනිදා ප්‍රකාශයට පත් කළ ජනරජ ව්‍යවස්ථාව මගින් ජාතික රාජ්‍ය සභාව නමින් වූ ඒකමණ්ඩල ව්‍යවස්ථාදායකයක් සඳහා වසර 06ක නිල කාලයක් ලබාදුන් අතර, පරමාධිපත්‍ය බලය සම්පූර්ණයෙන්ම පැවැරී ඇත. ජාතික රාජ්‍ය සභාවට වගකිව යුතු අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන අග්‍රාමාත්‍යවරයා විසින් වසර හතරක නිල කාලයක් සහිත නාමික ජනාධිපතිවරයකු රාජ්‍ය නායකයා ලෙස පත් කරනු ලැබීය. ලංකාව වෙනුවට ශ්‍රී ලංකා ජනරජය මෙම 1972 ව්‍යවස්ථාව තුළින් ස්ථාපනය කරනු ලැබීය.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment