ආරක්‍ෂක අංශ රටේ නීතිය හා සාමය ස්ථාපිත කළ නිසා අද ජනපතිවරයෙක් තෝරා ගන්න ජනතාවට අවස්ථාව ලැබිලා

45

ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය විවෘත කරමින් ජනපති රනිල් කියයි

2022 ජූලි මාසයේදී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ නිසා 2024 සැප්තැම්බර් 21 දා තම ඡන්දය භාවිතා කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට රටේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බවත්, ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ මෙරට සියලු ආරක්ෂක අංශ සාමාජිකයන්ට තම ස්තූතිය පිරිනමන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (13 දා) පස්වරුවේ එක් වෙමිනි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ වත්මන් අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක්ද පිළිගැන්වීය.

ආරක්‍ෂක අංශ රටේ නීතිය හා සාමය ස්ථාපිත කළ නිසා අද ජනපතිවරයෙක් තෝරා ගන්න ජනතාවට අවස්ථාව ලැබිලා

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“අද මෙම විශේෂ ක්‍රියාකාරී මධ්‍යස්ථානය විවෘත කිරීම විශේෂ කාර්ය බළකායේ තවත් සුවිශේෂී පියවරක් ලෙස සඳහන් කළ හැකියි. එදා එල්ටීටීඊ ත්‍රස්තවාදය සමඟ සටන් කිරීම සඳහා මඩකලපුව ප්‍රදේශයට යැවූ මෙම කණ්ඩායම අද ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කරන විශේෂ කාර්ය බළකායක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම ලොව පුරා ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා. අද ලෝකය එදාට වඩා වෙනස්. ඉදිරියේ දී එය තවත් වෙනස් වෙනවා. 2030 වසර වනවිට මේ රටේ ආරක්ෂාවට මෙම බළකායෙන් සිදුකරන සේවය කුමක්ද කියා හඳුනාගෙන එහි නවීකරණයක් කළ යුතුව තිබෙනවා. එහිදී තාක්ෂණය වැඩි වශයෙන් භාවිතයට ගත යුතුයි. අද සෑම අංශයක්ම තාක්ෂණය මත ක්‍රියාත්මක වෙනවා.

සාමාන්‍ය අපරාධ සහ විශේෂ අපරාධ අතර අද වෙනසක් නැතිව ගොස් තිබෙනවා. එදා අපරාධකරුවන් ලෙස හැදින්වූයේ එකට එක් වූ කණ්ඩායමක්. නමුත් අද එය ඔවුන් අතර යුද්ධයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරමද අද කණ්ඩායම් අතර යුද්ධයක් බවට පත්ව තිබෙනවා. එමනිසා මෙම නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව ගෙන යා යුතු වැඩපිළිවෙළ අප අලුතින් සිතා සකස් කළ යුතුයි.

පාතාලයේ ඕනෑම අයකුට අද තිබෙන නව තාක්ෂණය භාවිත කළ හැකියි. එමනිසා ඒවා පාලනය කිරීම සඳහා වෙනම නීතිගෙන ඒමට සිදු වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය පාලනය සඳහා ද එක් ආයතනයක් යටතේ නව නීති ගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා. පොලිස්, හමුදා සහ සිවිල් සියලු ආයතන එකට එක් කරගනිමින් මත්ද්‍රව්‍ය විරෝධි විධාන පනත යටතේ නව ආයතනයක් ස්ථාපිත කර ඊට බලතල පැවරීමට මා බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය නම් මෙම කණ්ඩායම දීර්ඝ වශයෙන් මෙම කටයුතුවල යෙදවිය හැකියි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සමාජය විනාශ කිරීමට ඉඩ දෙන්න බැහැ.

රටේ ජනතාවට නීතිය හා සාමය යටතේ ජීවත්වීමට ඉඩදීම මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් බව කිව යුතුයි. එයත් නීතියට ඇතුළත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ඉදිරි මාසය තුළ ඔබට තවත් විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා. මෙරට ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ යුතුකම වන්නේ රට තුළ නීතිය හා සාමය තහවුරු කර නීත්‍යානුකූල ආකාරයට මෙම මැතිවරණය පැවැත්වීමට අවස්ථාව සලසා දීමයි. ජනාධිපතිවරයා ලෙස එය මගේ මෙන්ම මැතිවරණ කොමිසමේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ යුතුකමක් බව කිව යුතුයි.

එපමණක් නොවෙයි, ඕනෑම මැතිවරණයකින් පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වෙනවා. අප ඒවා නැවැත්විය යුතුයි. මෙවර මැතිවරණයෙන් පසු කිසිදු අයුරකින් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවිය නොහැකියි. අප ඒ පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කළ යුතුව තිබෙනවා.

අපට අද මෙම මැතිවරණය පැවැත්වීමට හැකිවී තිබෙන්නේ රට තුළ නීතිය හා සාමය ආරක්ෂා වී තිබෙන නිසයි. අපේ ව්‍යවස්ථාව ආරක්ෂා වී තිබෙන නිසයි. අපි නව ආණ්ඩුවක් පත් කරගන්නේ ව්‍යවස්ථාව අනුවයි.

1931 වසරේ සිට සර්වජන ඡන්ද බලය සහ ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇත්තේ ශ්‍රී ලංකාව පමණයි. මානව හිමිකම් උල්ළංඝණය වූ බවට සහ වෙනත් චෝදනා තිබෙනවා. නමුත් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් තිබෙන්නේ ශ්‍රී ලංකාව පමණයි. අප මෙම ක්‍රමවේදය ආරක්ෂා කරගත යුතුයි. කිසිවිටෙකත් එය කැඩීමට ඉඩ දිය යුතු නැහැ. දේශපාලන පක්ෂ අතර කෙතරම් ප්‍රශ්න තිබුණද මැතිවරණ ප්‍රතිඵලවලින් පසු ජය පරාජය පිළිගෙන ආණ්ඩු මාරු කරගන්නවා. එය කළ හැක්කේ මෙම වාතාවරණය තිබෙන නිසයි.

නමුත් මීට වසර දෙකකට පෙර මේ රටේ ආණ්ඩුව බිඳ වැටීමට ගියා. ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය අත්පත් කරගෙන අගමැතිවරයාගේ පෞද්ගලික නිවස ගිනි තබා අගමැති කාර්යාලයත් අත්පත් කරගෙන පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට අරගලකරුවන් උත්සාහ කළා.

නමුත් අපේ යුද හමුදාව ඇතුළු නීතිය ආරක්ෂා කරන සියලුදෙනා ගත් පියවර නිසා එදා අපිට පාර්ලිමේන්තුව අහිමි වී යෑම වළක්වා ගැනීමට හැකි වුණා. මම ආණ්ඩුව භාරගෙන රටේ ආර්ථිකය ස්ථාවර කර බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ නිසා අද අපට රටේ මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ පිළිබඳ අප ආඩම්බර විය යුතුයි.

අද මේ මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබී තිබෙන්නේ අප එදා ගත් පියවර නිසයි. අද බංග්ලාදේශයේ ආණ්ඩුව පන්නා දමා තිබෙනවා. ආණ්ඩුව භාරගන්න කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැහැ. මන්ත්‍රීවරුන්ව ඝාතනය කරනවා. ආරක්ෂක ලේකම්වරයාට, අගවිනිසුරුවරයාට, මහ බැංකු අධිපතිට රටින් පිටවෙන ලෙස දැනුම් දී තිබෙනවා. හෝටල් ගිනි තබා විනාශ කර තිබෙනවා. ඒ රටේ තවමත් සාමාන්‍ය තත්ත්වයක් ඇති වී නැහැ.

නමුත් අපේ රටේ ආරක්ෂක හමුදාව ලෙස ඔබ එදා ගත් පියවර නිසා අප එම තත්ත්වයෙන් බේරුණා. දැන් සැප්තැම්බර් 21 වැනිදා මේ රටේ ජනතාවට තමන් කැමැති අපේක්ෂකයකුට ඡන්දය ලබා දීමට හැකියාව ලැබී තිබෙනවා.

අපි සෑම අවස්ථාවකම රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කළා. මගේ මිත්‍ර මුහම්මද් යූනුස් මැතිතුමාට මගේ සුබ පැතුම් පළකරන අතර බංග්ලාදේශය තුළ කඩිනමින් නීතිය හා සාමය ස්ථාපිත වේවායිද කියා ප්‍රාර්ථනා කරනවා. කිසිවිටෙක එයින් ඉවත්විය යුතු නැහැ.

මේ රටේ මූලික අයිතිවාසිකම ප්‍රජාතන්ත්‍රවාදයයි, ඒ වගේම ආණ්ඩුවක පැවැත්මයි. නීත්‍යානුකූල ආණ්ඩුවක් තිබෙනවා නම් එම ආණ්ඩුව ආරක්ෂා කළ යුතුයි. මම එය ඉගෙන ගත්තේ 1970 වසරේදීයි. එක්සත් ජාතික පක්ෂය එදා විපක්ෂයේ කටයුතු කළා. ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ඇති වූ අවස්ථාවේ විපක්ෂ නායක ලෙස ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ප්‍රකාශ කළා “මේ ආණ්ඩුවට අපි කැමති නැහැ. මේ ආණ්ඩුව පන්නා දැමිය යුතුයි. නමුත් අප එය කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළයි” කියලා.

ඒ වගේම “මෙය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්. ඒ නිසා මම බණ්ඩාරනායක මැතිතුමාගේ ආණ්ඩුවට සම්පූර්ණ සහාය ලබා දෙනවා. එය මම කැමති ආණ්ඩුවක් නොවුණත් ජනතාව තෝරාගත් ආණ්ඩුවක්” කියා එතුමා ප්‍රකාශ කළා. එදා සිටම අප එම ක්‍රමය ඇති කර තිබෙනවා.

1989 විරුද්ධ පක්ෂයේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ අනුරුද්ධ රත්වත්තේ මැතිතුමා ප්‍රේමදාස ජනාධිපතිවරයා හමු වී ප්‍රකාශ කළා “ඔබතුමාට අපේ සම්පුර්ණ සහාය ලබා දෙනවා” කියලා. අපේ ඉතිහාසය එයයි.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා –

මෙවැනි මෙහෙයුම් කටයුත්තක් පිළිබඳ අපේ අවධානය යොමු වූයේ පොලිස්පතිවරයා හා විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරිවරයා සමඟ සිංගප්පූරුවේ දී සිදුකළ සංචාරයක් අතරතුරදීයි. එහිදී

සිංගප්පූරු රජය මෙවැනි මෙහෙයුම් විධානයක ක්‍රියාවලිය පිළිබඳ පැහැදිළි කළා. මේ ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැන්වූ විට ශ්‍රී ලංකාව තුළත් මෙවැනි විධානයක් ආරම්භ කරන ලෙස දැනුම් දුන්නා. ඒ වගේම මේ ඉඩම විශේෂ කාර්ය බළකායට ලබා දුන්නා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, සිංගප්පූරු රජයේ නීතිය හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය කේ. ශම්මුගම්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment