මහ මැතිවරණයේ ආරක්‍ෂාව සඳහා පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්‍ෂක අංශ සාමාජිකයන් 90,000ක් යෙදවීමට කටයුතු කර ඇති බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා ‘දිවයින’ ට ඊයේ (12දා) කියා සිටියේය.
මෙසේ මහ මැතිවරණයේ ආරක්‍ෂාව සඳහා යොදා ඇති නිලධාරීන් අතර පොලිස් නිලධාරීහු 64,000ක්, සිවිල් ආරක්‍ෂක නිලධාරිහු 12,228ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු 3200ක් යොදා සිටිති. ඊට අමතරව යුද හමුදා සාමාජිකයන් 11010ක් ද මැතිවරණ රාජකාරි සඳහා අනුයුක්ත කර ඇත.
මහ මැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථාන 13421ක් සඳහා අවම වශයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු බැගින් යෙදවීමට කටයුතු කර තිබේ.
ඊට අමතරව පොලිස් ජංගම සංචාර 3109ක් ද යෙදවීමට කටයුතු කර ඇති අතර එක් ජංගම සංචාරයක් සඳහා අවම වශයෙන් නිලධාරීන් 05දෙනා බැගින් යෙදවීමට පියවර ගෙන ඇත.
හදිසි කලබලකාරී තත්ත්වයක් උදාවුවොත් ඊට මුහුණ දීමට කැරලි මර්දන ඒකක සීරුවෙන් තබා ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පවසයි.
හේමන්ත රන්දුණු