ආරක්ෂාවට පොලීසියේ හැට දහසක්

96

ආර්ථික මර්මස්ථානවලට හමුදා රැකවල්

ඡන්දපළවලට – ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට එස්.ටී.එෆ්. කැඳවයි

ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් හැට දහසක් (60,000) යොදා ගැනීමට බලාපොරොත්තු වන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා ‘දිවයින’ට ඊයේ (17දා) කියා සිටියේය. මැතිවරණය පැවැත්වෙන දිනයේ ඇති විය හැකි අවශ්‍යතාවන් මත මෙම නිලධාරීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බවද ඒ මහතා පවසයි.

එමෙන්ම මැතිවරණය පැවැත්වෙන දින සහ ඊට පසුව රටේ ආර්ථික මර්මස්ථානවලට ආරක්ෂාව ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට නියමිත බවද වියානි ගුණතිලක මහතා කියා සිටියි.

සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම පොලිස් නිලධාරින් දෙදෙනා බැගින් යොදවන අතර කලබලකාරී සිද්ධීන් ඇති විය හැකි බවට සැකකරන මධ්‍යස්ථානවලට වැඩි ආරක්ෂාවක් ලබාදීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර ඇත.

ඊට අමතරව ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවලට මෙන්ම මුර සංචාර, හදිසි සෝදිසි කිරීම් සඳහා ද විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර එම ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ලබා ගැනීමට සැලසුම් කර තිබේ.

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවල සිට අනෙකුත් සියලු කටයුතු සඳහා ආරක්ෂාව ලබාදීමේ දී ඉතාම ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම සහ ප්‍රචණ්ඩකාරී සිද්ධීන්වලින් තොරව ඉතාම සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය ලබා ගැනීමට හැකි වූ බව වියානි ගුණතිලක මහතා පවසයි.

වෙනත් මැතිවරණවලදී මෙන් බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් මේ වනතුරු වාර්තා වී නොමැති බව පවසන ඒ මහතා මැතිවරණය පැවැත්වෙන දිනයේද ඉතාම සාමකාමීව එම කටයුතු ඉටු කිරීමට හැකි වනු ඇතැයි කියා සිටියේය.

හේමන්ත රන්දුණු, නෝමන් පළිහවඩන සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

බුද්ධි අංශත් ඡන්ද වැඩට කැඳවයි

ජනාධිපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය බුද්ධි අංශ සහ පොලිස් – හමුදා බුද්ධි අංශ නිලධාරීන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක සේවයට යොදවා ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.

එම ප්‍රදේශවල පොලිස් ස්ථාන සහ හමුදාව මඟින් මෙම බුද්ධි අංශ ක්‍රියාත්මක කෙරෙන බවද මැතිවරණ සමයේ සැක සහිත වාහන සෝදිසි කිරීම් රට පුරාම සිදු කරන බවද පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment