අර්බුදයට විසඳුම් එහි නිර්මාපකයන්ට සොයන්න බැහැ
ආර්ථික විසඳුම ළඟා කර ගත හැකිවන්නේ නව දේශපාලන සංස්කෘතියකින් පමණක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.
අනුර කුමාර දිසානායක මහතා මේ කරුණු ප්‍රකාශ කළේ පශු වෛද්‍ය සහ පශු සම්පත් වෘත්තිකයන්ගේ ජාතික සමුළුව අමතමිනි. එහිදී ඔහු මෙසේද පැවසීය.
පශු සම්පත් පිළිබඳ මට තිබෙන්නේ ඉවක්. ඔබට තිබෙන්නේ ඥානයක්. ඕනෑම ක්ෂේත්‍රයක් සංවර්ධනය කිරීමේදී ඒ වෘත්තියේ නියැලී සිටින විශේෂඥයින්ගේ වගකීම නිශ්චිත ලෙස සඳහන් කොට වැඩ කරන්න පටන් ගන්නවා. දේශපාලකයා සහ වෘත්තියවේදියා අතර තබාගත යුතු සීමාවන් බෙදා වෙන්කර නොමැතිකම නිසා ව්‍යසනයට විශාල හේතුවක් වී තිබෙනවා. වෘත්තියවේදියා ටෙන්ඩර් බෝඩ් එකකදී මිලදී
ගැනීම් තීරණය කරන්න ඕනෑකම තිබෙන්නේ මිලදී ගැනීමේ විධිමත් පටිපාටිය අනුගමනය කිරීමෙන්. දේශපාලකයා වෘත්තියවේදියාගේ කාර්යභාරය පසෙකලා තමන් විසින් තෝරා ගන්න කෙනෙකුට පැවරීම සඳහා ප්‍රයත්න දරනවා. කාබනික පොහොර චීනයෙන් ආනයනය කරන අවස්ථාවේ විශාල රංඩුවක් ගියා. ඒ ක්ෂේත්‍රයේ සිටි කෘෂි හා පාංශු විද්‍යාඥයන් කියන්නේ මේ පොහොර ලංකාවට ආනයනය කිරීමෙන් අපේ රටේ ව්‍යාප්ත නොවුණු ක්ෂුද්‍රජීවීන් ඇතුළුවීමෙන් අපේ රටට අනතුරක් තිබෙනවා කියලා. දේශපාලකයා කියනවා පර්යේෂණ කරන නිලධාරීන් විසින් ඉන්ජෙක්ෂන් එකකින් මේවට ක්ෂුද්‍රජීවීන් ඇතුල් කරලා කියලා. තමන්ගේ කාර්ය නිසි පරිදි ඉටුකළ වෘත්තියවේදීන්ට සමාජය ඉදිරිපිට තර්ජනයක් හා අපහාසයට පත්කිරීමක් කළා.
ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ මේ අදාළ විෂය නිසි පරිදි වෙන්කිරීමකට භාජනය කරනවා. පශු සම්පත් පිළිබඳව සංවර්ධනය පිළිබඳව සැලසුම් හදන්න, ක්‍රියාත්මක කරන්න, මාර්ගෝපදේශ දෙන්න ඕනෑ අමාත්‍යවරයා නොවෙයි. එය කළ යුතු වන්නේ ඒ පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් තිබෙන, අත්දැකීම් තිබෙන ඔබ විසිනුයි. රටේ ජනතාවගේ පෝෂණයට අවශ්‍ය කිරි, මස්, බිත්තර මත්ස්‍ය සහ කෘෂි නිෂ්පාදන සම්පූර්ණ කර ගන්නේ පශු සම්පත් ක්ෂේත්‍රයෙන්. අපි ඉන්නේ පෝෂණ අවශ්‍යතාවයේ විශාල අර්බුදයකයි. අවුරුදු පහට වඩා අඩු දරුවන්ගෙන් 19%ක් මන්දපෝෂණයට ගොදුරු වෙලා තිබෙනවා. ගැබිණි මව්වරුන්ගෙන් 22%කට ආසන්න ප්‍රමාණයක් රක්ත හීනතාවයෙන් පෙළෙනවා. අඩු බර දරු උපත් සංඛ්‍යාව වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. පුරවැසියෙකුගේ දෛනික කිරි අවශ්‍යතාවය මිලි ලීටර් 200යි. අවුරුද්දකට කිරි මිලි ලීටර් මිලියන 1600ක් අවශ්‍යයි. 2022 ඉදිරිපත් කළ වාර්තාව අනුව මිලියන 380ක් තිබ්බාට 2023 ලීටර් මිලියන 345යි. සමහරු ගණනය කිරීම් කරන්නේ කිරි පරිභෝජනය කරන ප්‍රමාණය අනුව. ඒ අනුව කියනවා අපි 40%ක් නිෂ්පාදනය කර තිබෙනවා කියා. එය නිවැරදි ගණනය කිරීමක් නෙමෙයි. තව ඉදිරියේදි කිරි පරිභෝජනය කරන ප්‍රමාණය තවත් අඩු වේවි. අපේ රටේ කිරි නිෂ්පාදනයෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් දෙන්නේ සුළු නිෂ්පාදකයන් විසින්. ඒ නිෂ්පාදකයන්ගෙන් 80%ක් පමණ සිටින්නේ දුප්පත්භාවයේ රේඛාවට යටින්. ඒක ඒ අයගේ ආර්ථික තත්වය ශක්තිමත් කිරීම සඳහා ප්‍රමාණවත් වෙලා නැහැ. අපේ රට මුහුණ දී තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් දුප්පත්භාවය. පාරම්පරික දුප්පත්භාවය, යම් ආපදාවයන් නිසා ඇති වන දුප්පත්භාවය, අනපේක්ෂිත තත්වයන් නිසා ඇති වන දුප්පත්භාවය, ඈත ග්‍රාමීය ජනපදවල ඉපදීම හේතුකොටගෙන ආර්ථික අවස්ථා නොමැතිවීමෙන් ඇතිවී තිබෙන දුප්පත්භාවය. අපි මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි. මේ දුප්පත්භාවය සමාජයෙන් තුරන් කරන්නේ කොහොමද කියන එක. දුප්පත්භාවයට පත්වුණු ජනතාව ආර්ථික ක්‍රියාකාරිත්වයකට කැඳවන්න නම්, ඒ අයට තමන් නියැලෙන ආර්ථික ප්‍රභවය තමන්ට ශක්තිමත් ආදායමක් ලබාදෙන ප්‍රභවයක් බවට වර්ධනය කරන්න ඕනෑ. දුප්පත්භාවය තුරන් කිරීම සඳහා ආර්ථික අවස්ථා නැති කණ්ඩායම්වලට නව ආර්ථික අවස්ථා සත්ව පාලනය පශු සම්පත් ක්ෂේත්‍රය මගින් ඇති කළ හැකියි. ඒ සඳහා ඒ තුළ විභවතාවයක් තිබෙනවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම සඳහා පශු සම්පත් ක්ෂේත්‍රයට විශාල වගකීමක් පැවරෙනවා. එක් අවස්ථාවක රජය මගින් ආනයනය කළ එක් එළදෙනකගේ වටිනාකම ලක්ෂ හතරහමාරක් වුණා. රජය ලක්ෂ දෙකහමාරක සහනාධාරයක් ගොවියෙකුට දෙන්න තීරණය කළා. වැඩිම සහනාධාරය ගත්තේ ඇමතිවරු දෙදෙනෙක්. දුප්පත්කම නැති කර ගත්තෙ ඒ ඇමතිවරුන්. දුප්පත්භාවය තුරන් කිරීම සඳහා ඒ ඒ ආර්ථික ප්‍රභවය ඉලක්ක සහගතව ජනතාව වෙත කැටුව යන්න ඕනෑ.