ආර්ථිකයේ පීල්ල මාරු කළොත් කෙළින්ම අපායට!

159

තවත් මාස කිහිපයකින් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීම ලබන සැප්තැම්බර් මස 17 වැනිදා සහ ඔක්තෝබර් මස 16 වැනිදා අතර දිනක දී පවත්වනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා නිවේදනය කර ඇත. මේ අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බව ද එම නිවේදනයේ සඳහන් විය. එහි සඳහන් පරිදි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර කැඳවීමේ බලය, ලබන ජූලි මස 17 වැනිදා සිට මැතිවරණ කොමිසමට හිමිවෙන අතර ඒ අනුව කොමිසම තීරණය කරන දිනයන්ට අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකිණි. ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පත් වූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකි. ඒ නිසා ඔහු ජනාධිපති වූයේ මහජන වරමකින් නොවේ. දැන් ඔහුගේ එම ධුර කාල සීමාව අවසන් වීමට ආසන්න වෙමින් තිබෙන අතර ජනවරමක් සහිත නව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට මහජනයාට අවස්ථාව උදා වී ඇත.

ආර්ථිකයේ පීල්ල මාරු කළොත් කෙළින්ම අපායට!

මහජන වරමක් නොමැතිව වුවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව රට පත්ව තිබූ ඉතිහාසයේ අතිශය දුෂ්කරම අවස්ථාවක බව අප පිළිගත යුතුය. ඒ ගැන ඉකුත් මැයි 09 වැනිදා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේය.

“මා භාර ගත්තේ ගිනිගත්තු රටක්. අපායට වැටුණු රටක්, හැකිළුණු ආර්ථිකයක්, උද්ධමනය සියයට 70 ක පැවතුණා. අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 10 – 12 වඩා වැඩි අගයකට වැඩි වෙලා. පොලී අනුපාතය සියයට 30ක් දක්වා ඉහළ නැංවිලා. ඩොලරය රුපියල් 450 ක් පමණ මට්ටමට වැඩි වෙලා. විදේශ විනිමය සංචිත බිංදුවටම වැටිලා. සතියක් තරම් කාලයක් සඳහාවත් ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන්න සල්ලි තිබුණේ නැහැ. රටේ බහුතරයක් හිටියේ පාරේ. සමහරු දවස් ගණන් පෝලිම්වල. තවත් සමහරු දවස් ගණන් අරගලවල. රටත්, ආර්ථිකයත් යළි ගොඩනැංවීමේ අභියෝගය මා භාරගත්තේ අන්න එවැනි පසුබිමකයි. වෙනත් කිසි කෙනෙක් ඒ වේලාවේ රට බේරා ගැනීමේ අභියෝගය භාරගත්තේ නෑ. ඔවුන් විවිධ කොන්දේසි ඉදිරිපත් කළා. නමුත් මා කිසිම කොන්දේසියක් නැතිව රට භාර ගත්තා. මගේ පක්ෂයට මේ පාර්ලිමේන්තුවේ තිබුණේ එකම එක මන්ත්‍රී ධුරයයි. එහෙම අනතුරුදායක පසුබිමකයි මා මෙහෙවරට උර දුන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ කියන කතාව බොරුවක් නොවේ. පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රී ධුරයක් පමණක් තිබියදී ඔහු ඉතිහාසයේ අතිශය දුෂ්කරම මොහොතේ රටේ පාලනය භාරගත් බව සත්‍යයකි. කෙසේ වෙතත් ඒ අභියෝගය ජයගත හැකි වූයේ රනිල් වික්‍රමසිංහ මහතාට බහුතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහායෙන් බව ද පිළිගත යුතු වේ. ඒ වන විට රටේ විදේශ සංචිත සිඳී ගොස්, විදේශ ණය පවා අපට ගෙවාගත නොහැකිව රට බංකොලොත් වී තිබුණු බව ද අපි දනිමු. ඒ නිසා රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් කවර විවේචන තිබිය හැකි වුවත් එවන් මොහොතක රටේ පාලනය භාරගෙන මේ වන විට ආර්ථිකමය වශයෙන් රට කිසියම් යහපත් තැනකට ගෙනවිත් ඇති බව ද කිව යුතුය. අන්තවාදී නොවී, දේශපාලන පාට කණ්ණාඩිවලින් නොබලා මධ්‍යස්ථව බලන්නේ නම් මේ වන විට 2022 වසරේ රට පත්ව තිබූ අඳුරු තත්ත්වයට සාපේක්ෂව මේ වන විට රටේ සැලකිය යුතු ආර්ථික ස්ථාවරත්වයක් ඇතිව තිබේ. දැන් අවශ්‍ය කරන්නේ එම ප්‍රතිපත්ති දිශානතියේ අප තවත් ඉදිරියට ගමන් කිරීමයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැන මෙසේ සඳහන් කරන විට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ගැන ද අප සඳහන් කළ යුතුමය. ඔහු මහ බැංකු අධිපති වූයේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමටත් පෙර හිටපු මහ බැංකු අධිපතිවරයා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වී තිබූ අවස්ථාවේය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ ගත් බොහෝ තීන්දු තීරණ වැරදුණු බව අප මීට පෙර සාකච්ඡා කර ඇත. මීට පෙර මහ බැංකු අධිපති ධුරයට පවා ඔහු නිසි පුද්ගලයන් පත් කළේ නැත. මේ නිසා මහ බැංකුව පැත්තෙන් ද සිදු වූයේ තව තවත් විදේශ විනිමය අර්බුදය උග්‍ර වීමට අවශ්‍ය පසුබිම සකස් වීමයි. ඇමෙරිකානු ඩොලරයේ අගය රු.203 ක ස්ථාවර අගයේ කෘත්‍රිම ලෙස දිගු කලක් පවත්වාගෙන යෑම ද එවන් තීරණයකි. ඒ නිසා අපේ තිබූ විදේශ සංචිත ටික ද වේගයෙන් දිය වී ගොස් අපට ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ විදේශ ණය ගෙවාගත නොහැකි තත්ත්වයක් ද උදා විය. මේ නිසා එවැනි මොහොතක රටේ මහ බැංකු අධිපති ධුරය භාර ගැනීම ද සුළු පටු අභියෝගයක් නොවේ. ඒ අභියෝගයත් මහ බැංකුවේ දිගු කලක් සේවය කර අවසානයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස විශ්‍රාම ගොස් මහ බැංකුකරණය සම්බන්ධයෙන් විශාල අත්දැකීම් තිබූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් භාරගත්තේය. ඔහු ද අභියෝග භාරගෙන කටයුතු කළ හැකි දක්ෂයෙකි. ඔහු මහ බැංකු අධිපතිවරයා වීමෙන් පසුව රටේ ආර්ථිකය පත්ව තිබූ ඇත්තම තත්ත්වය රටට කීවේය. එවකට මුදල් ඇමැති වූ අලි සබ්රි මහතා ද ආර්ථිකයේ ඇත්ත තත්ත්වය සහ ඔහුගේම ආණ්ඩුවේ වැරදි තීන්දු තීරණ ගැන ද රටට කීවා අපට මතකය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීමට ප්‍රමාද වීම ද ඉන් එකකි.

මෙසේ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති වීමෙන් පසුව මෙතෙක් වසං කර තිබූ ආර්ථිකයේ ඇත්තම තත්ත්වය රටට කීවේය. විදේශ සංචිත නැත්තටම නැති වී ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට රට පත්ව ඇති බව ද ඔහු රටට කීවේය. ඒ වන විට රුපියල නූල කැඩුණු සරුංගලයක් මෙන් පාලනයකින් තොරව පාවෙමින් තිබුණු බව ද අපට මතකය. ඒ නිසාම ඛනිජ තෙල් මිල ගණන්, ගෑස් මිල ගණන්, සියලු ආනයනික අමුද්‍රව්‍ය මිල ගණන් ඇතුළු දේශීය භාණ්ඩ මිල ගණන් අධික වේගයෙන් දිනපතාම පාහේ වැඩි වූ අයුරු ද අපට මතකය. බොහෝ අය නොයෙකුත් දේශපාලන විවේචන කළත්, 2022 අප්‍රේල් 12 වැනිදා විදේශ ණය තාවකාලිකව ගෙවීම අත්හිටුවීම සඳහා අකැමැත්තෙන් වුවත් එවකට රජයට තීරණයක් ගැනීමට සිදු වූයේ ද ඒ අනුවය. බොහෝ තීන්දු තීරණ වැරදුණත් ගෝඨාභය රාජපක්ෂ මහතා අවසානයේ නිවැරදි තීරණ දෙකක් ගෙන තිබුණි. එකක් නම් රට මුහුණ දී තිබූ ආර්ථික හා විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමට තීරණය කිරීමයි. අනිත් තීරණය නම් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට ගත් තීරණයයි. මේ නිසා මහ බැංකුව පැත්තෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය නිවැරදි මෙහෙයවීම සහ නායකත්වය ලැබුණු බව ද අපට කිව හැකිය. මේ අනුව රට වැටුණු වළෙන් කිසියම් දුරකට අප ගොඩට පැමිණ ඇත. සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ ජනයාට බොහෝ අමාරු බව ඇත්ත වුවත් සාර්ව ආර්ථිකය පැත්තෙන් සැලකිය යුතු ස්ථාවරත්වයකට රට පත්ව ඇත. දැන් මෙතැන් සිට ජනතාවගේ බර සැහැල්ලු කරමින් එසේම මේ පැමිණි ප්‍රතිපත්ති දිශානතියේ තවත් ඉදිරියට ගමන් කළ යුතු තීරණාත්මක මොහොතකට අප එළඹ සිටිමු. තව මාස කිහිපයකින් පැවැත්වෙන ජනාධිපතිවරණය හමුවේ රටේ පාලනය භාර දෙන්නේ කාට ද යන තීරණය ද ජනතාවට ගැනීමට තිබේ. ඊටත් පසුව මහ මැතිවරණයක් ද පැවැත්වෙනු ඇත. මේ පසුබිම තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පාර්ලිමේන්තු විශේෂ ප්‍රකාශයේ දී මෙසේ ද කියා තිබුණි.

“මීට අවුරුදු දෙකකට කලින් තිබුණු තැනට වඩා අද රට ඉහළට එසවී තියෙනවා. මේ ප්‍රගතිය ඉවසන්න අමාරු සමහර කණ්ඩායම් අප මේ ගත කරන්නේ අපායේ ඉන්ටවල් එකක් කියා පාච්චල් කරනවා. මම ඒ ගැන මෙහෙම කියන්නම්. ඔව්, අපි හිටියේ ආර්ථික අපායක. දැන් අපි ක්‍රමවත් සැලසුම් ඔස්සේ මේ අපායෙන් ගොඩ එමින් ඉන්නේ. හැබැයි දුර දැක්මක් නොමැතිව කෙටිකාලීන පටු අපේක්ෂා ඉලක්ක කරගෙන දැනට යන ගමනේ පීල්ල මාරු කළොත් ආපහු අපි වැටෙන්නේ අපායට. එහෙම වුණොත් දීර්ඝ කාලයක් පුරා දිවෙන අතිශය දුක්ඛිත කාලයකට මුහුණ දීමට අප සැමට සිදුවෙනවා.”

ආර්ථිකයේ පීල්ල මාරු කළොත් කෙළින්ම අපායට!
ආචාර්ය නන්දලාල් වීරසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ කියන්නේ ඉතා බරපතළ කතාවකි. එනම් ආර්ථික ගමන් මගේ ඉදිරි දිශානතිය ගැන කතාවකි. ‘දැනට යන ගමනේ පීල්ල මාරු කළොත් ආපහු අපි වැටෙන්නේ අපායට’ බව ජනාධිපතිවරයා කියයි. මීට සමානම කතාවක් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ද සඳහන් කර තිබූ අතර එවන් සඳහනක් පසුගිය දා නිකුත් වූ මහ බැංකුවේ පළමු ආර්ථික විවරණ වාර්තාවේ (2023) ද සඳහන්ව ඇත. එනම් තවමත් රට මුළුමනින්ම ආර්ථික අර්බුදයෙන් මිදී නොමැති බැවින් රට දැනට සැලසුම් කර ගමන් කරමින් තිබෙන මාවතෙන් ඉවත්වීම සඳහා කිසිදු අවකාශයක් නොමැති බව එම වාර්තාවේ සඳහන් වේ. මේ නිසාම ක්‍රියාවට නැංවූ සහ සැලසුම් කරන ලද තීරණාත්මක ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම (වෙනස් කිරීම) ආර්ථිකය නැවතත් අස්ථායි තත්ත්වයට ඇද වැටීමට හේතුවනු ඇති බවද එහි සඳහන් වේ. ක්‍රියාවට නැංවූ සහ සැලසුම් කරන ලද තීරණාත්මක ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම යනුවෙන් මහ බැංකු විවරණ වාර්තාවේ තාක්ෂණිකව සහ ආර්ථිකමය වශයෙන් සඳහන් වන දේම ජනාධිපතිවරයා කියන්නේ ‘දැනට යන ගමනේ පීල්ල මාරු කළොත්’ යනුවෙනි. එසේ පීල්ල මාරු කළොත් ආපහු අපි වැටෙන්නේ අපායට බව ජනාධිපතිවරයා කියයි. ඒ දෙයම වෙනත් වචනවලින් මහ බැංකු වාර්තාවේ කියන්නේ ආර්ථිකය නැවතත් අස්ථායි තත්ත්වයට ඇද වැටීමට හේතුවනු ඇති බවයි. ඒ අනුව ජනාධිපතිවරයා මෙන්ම මහ බැංකුව ද මේ කියන්නේ එකම කතාවකි. එනම් මේ යන ප්‍රතිපත්ති දිශානතිය වෙනස් කළොත්, 2022 වසරේ විදේශ විනිමය හිඟය උග්‍ර වී අප මුහුණ දුන් අතිශය අඳුරු දුෂ්කර තත්ත්වයට රටත්, ජනයාත් ඇදවැටීමට අවදානමක් ඇති බවයි.

මෙය දේශපාලන කතාවකට වඩා කිසියම් ආර්ථිකමය කතාවක් ලෙස අප තේරුම් ගැනීම වටිනා බව අපගේ අදහසයි. එනම් ආණ්ඩුව කුමක් වුවත් ඉදිරි මැතිවරණයෙන් කවර කණඩායමක් බලයට පත් වුවත් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා අනුගමනය කරමින් සිටින ප්‍රතිපත්ති දිශානතිය ඉදිරියට ගෙන යායුතුව ඇති බවයි. මෙහිදී අයිඑම්එෆ් එක සමග එකඟ වී රජය අනුගමනය කරමින් සිටින ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණ ප්‍රධාන තැනක් ගනී. එහෙත් අයිඑම්එෆ් එක කටයුතු කරන්නේ පවතින රජය සමග නිසා අනාගත රජයකට ද මූල්‍ය අරමුදල සමග එම ක්‍රියාත්මක ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡා කර නව එකඟතාවන් ඇතිකරගෙන කටයුතු කිරීමට බාධාවක් නැත. උදාහරණයක් ලෙස මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බදු ඉලක්ක සපුරා ගැනීමේ දී වැට් එක වැඩි කරනවා වෙනුවට අවශ්‍ය නම් වෙනත් විකල්ප මාර්ගයකින් (සෘජු බදු හරහා) එම බදු ඉලක්ක සපුරා ගැනීමට සාකච්ඡා කර එකඟතාවකට පත් විය හැකිය. ඒ නිසා ප්‍රතිපත්ති දිශානතියේ ඉදිරියට ගමන් කිරීම යනු රනිල් වික්‍රමසිංහ මහතාම නැවත ජනාධිපති කරගත යුතු බවක් නොවේ. ඒ නිසා මේ කියන ආර්ථිකමය කතාව ආණ්ඩුවේ වැරදි සමග පටලවා ගත යුතු නැත. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයේ වැරදි, අඩුපාඩු හෝ වංචා, දූෂණ සහ අක්‍රමිකතා ඕනෑ තරම් තිබෙනවා විය හැකිය. ඒ වැරදි කිසිවක් නිවැරදි දේවල් වන්නේ නැත. ඒවා වෙනස් විය යුතුමය. නිවැරදි කරගත යුතුමය. එහෙත් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා අනුගමනය කරමින් තිබෙන ප්‍රතිපත්ති දිශානතියේ ඉදිරියට ගමන් කිරීමට අනාගත කවර රජයකට වුව ද සිදු වනු ඇතිය යන්න මෙහි වඩාත් පුළුල් අදහසයි.

“ස්ථීරසාර ස්ථායිතාව” මැයෙන් මහ බැංකුව පසුගිය මැයි 07 වැනිදා මහ බැංකුවේ පළමු ආර්ථික විවරණ වාර්තාව ගැන පැවැත් වූ මාධ්‍ය හමුවේ දී ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලදී. තවමත් රට මුළුමනින්ම ආර්ථික අර්බුදයෙන් මිදී නොමැති බැවින් රට දැනට සැලසුම් කර ගමන් කරමින් තිබෙන මාවතෙන් ඉවත්වීම සඳහා කිසිදු අවකාශයක් නොමැති බවට මහ බැංකු ආර්ථික විවරණ වාර්තාවේ ඇති සඳහන ගැන මේ මාධ්‍ය හමුවේ දී මේ ලියුම්කරු විසින් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මෙසේ ද කීවේය.

“මේ කියන දෙයින් අදහස් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ ඒ තියෙන දිශාවටම, ඒ මාර්ගයේම ගියොත් තමයි මේ ඇතිකරගෙන තිබෙන ආර්ථික ස්ථායිතාව ස්ථීරසාර ස්ථායිතාවක් බවට පත්කර ගත හැක්කේ කියන එකයි. ඒ සඳහා මහ බැංකුවේ ප්‍රතිපත්ති, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති, අයි.එම්.එෆ්. වැඩසටහන යටතේ රජය බැඳී සිටින ආර්ථික ප්‍රතිසංස්කරණ යනාදිය ඇතුළත් වෙනවා. ඒ වැඩපිළිවෙළ තියෙන දිශාවටම ගමන් කිරීම ස්ථීරසාර ආර්ථික ස්ථායිතාවක් ඇතිකර ගැනීම සඳහා ඉතාම වැදගත් වෙනවා.”

මේ අනුව රට තවමත් ආර්ථික අර්බුදයෙන් සම්පූර්ණයෙන්ම මිදී නැති නිසා දැනට ඇතිකරගෙන තිබෙන ආර්ථික ස්ථායිතාව ‘ස්ථීරසාර ස්ථායිතාවක්’ බවට පත් කර ගැනීමට නම් කෙසේ කටයුතු කළ යුතු ද යන්න ගැන පණිවිඩයක් මහ බැංකුව විසින් රටට ලබා දී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබමින් එම අරමුදල සමග එකඟ වූ වැඩපිළිවෙළක් දැනට ක්‍රියාත්මක වෙමින් තිබේ. එම ගමනේ කිසියම් දුරක් මේ වන විට පැමිණ ඇත. ඒ අනුව මේ වන විට එම අරමුදල විසින් අප වෙත අනුමත කළ විස්තීර්ණ ණය පහසුකමේ වාරික දෙකක් අපට ලැබී ඇත. දැන් අප සිටින්නේ තුන්වැනි ණය වාරිකය ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ සඳහා විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අවසන් එකඟතා ඇතිකරගෙන ගිවිසුම්ගත වීමට ද සිදුවනු ඇත. ප්‍රතිපත්ති දිශානතිය වෙනස් කිරීම, ආර්ථිකය නැවතත් අස්ථායි තත්ත්වයට ඇද දැමීමට හේතුවනු ඇති බැවින් ප්‍රතිපත්ති ආපසු හැරවීම හා ඒ හේතුවෙන් ඇතිවෙන ආර්ථික පසුබෑම වළක්වා ගැනීම සඳහා පුළුල් දේශපාලන හා සමාජයීය එකඟතාවයක් මත ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අතිශයින් තීරණාත්මක වන අතර තිරසාර වර්ධනයක් තුළින් පොදු ජනයාගේ සුබසාධනය ඉහළ නැංවීම එමගින් සහතික කෙරෙනු ඇති බව මහ බැංකුවේ පළමු ආර්ථික විවරණ වාර්තාව මගින් රටට ලබාදී ඇති ප්‍රධාන පණිවිඩය බව අපට පෙනේ. මේ නිසා ඉදිරි මැතිවරණවලින් රාජ්‍ය බලයේ වෙනසක් සිදු වුවත් ඒ බලයට පත්වෙන කවර කණ්ඩායමක් වුව ද ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමේ ක්‍රියාවලියට අනුගතව කටයුතු කළ යුතුව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

advertistmentadvertistment
advertistmentadvertistment