ආර්ථිකය ගොඩගන්න ගතයුතු මඟ

155

වර්තමානයේ අප මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට කොවිඞ් වසංගතයේ සැලකිය යුතු බලපෑමක් තිබුණත්, මේ සියලූ ප‍්‍රශ්න කොවිඞ් වසංගතයටම බැර කළ හැකි නොවේ. කොවිඞ්වලට පෙර සිටම අපහේ අපනයන අදායම මෙන් දෙගුණයක භාණ්ඩ අප ආනයනය කළේය. ඒ නිසා විශාල වෙළෙඳ හිඟෙයක් කලක සිටම තිබුණි. එම තත්ත්වයන් නිවැරදි කර ගැනීමට පසුගිය ආණ්ඩු මගින් ප‍්‍රමාණවත් පියවර ගත්තේ නැත. කෙසේ හෝ සංචාරක ආදායම් සහ විදේශ විනිමය පේ‍්‍රෂණ ඇතුළු වෙනත් විදේශ මුදල් ආදායම් මගින් මේ වෙළෙඳ හිඟෙය පියවා ගත්තේය. එහෙත් කොවිඞ් වසංගතය නිසා සංචාරක කර්මාන්තය බිඳ වැටීමෙන් සහ විදේශ විනිමය පේ‍්‍රෂණ අඩු වීමෙන් අපගේ පැවති විනිමය අර්බුදය උග‍්‍ර වී තිබේ. ඒ සමගම විශාල විදේශ ණය වගකීම් පියවීමට තිබෙන නිසා තත්ත්වය තවත් බැ?රුම් වී ඇත. ඊට අමතරව මේ විදේශ විනිමය හිඟය සමනය කර ගැනීමට සහ රටට වැඩියෙන් විදේශ විනිමය ලබා ගැනීමට නිසි ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග අනුගමනය කරන බවක් ද අපට නොපෙනේ. දැනට විදේශ විනිමය ලැබෙන මාර්ගවලින්ම වැඩි විදේශ විනිමය අදායමක් ලබා ගැනීමට උත්සාහ ගැනීමට අමතරව විදේශ මුදල් උපයන අලූත් ව්‍යාපෘති කිසිවක් ගැන රජය අවධානය යොමු කර ඇති බවක් ද නොපෙනේ. එසේම දැනට අනුගමනය කරමින් පවතින ඇතැම් ක‍්‍රියාමාර්ග නිසා ලැබෙමින් තිබූ විදේශ මුදල් පවා නොලැබෙන තත්ත්වයක් උද්ගත වී ඇත. මේ නිසා තනි මතයටම කටයුතු නොකර අන් අයගේ අදහස් සහ යෝජනාවලට ද යම් සවන් දීමක් සහ ගරු කිරීමක් ද තිබිය යුතු බව අපගේ අදහසයි. සියලූ දෙනාගේම අදහස් අනුව රජයකට හෝ මහ බැංකුවකට කටයුතු කළ හැකි යැයි අපි නොකියමු. එහෙත් අපගේ අදහස වන්නේ මේ බලවත් අර්බුදයෙන් මිදීමේ දී අන් අයගේ අදහස්, යෝජනා හා දායකත්වය ද ලබා ගැනීම වඩාත් සුදුසු බවයි. ඒ නිසා දේශපාලනයෙන් තොරව අප සැම එක්ව මේ විපතින් මිදීමට ගත යුතු වඩාත්ම නිවැරදි ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග ගත යුතු වේ.

  • බදු අහිමි කර ගැනීම

ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිව යුත්තේ බලධාරීන්ට වැරදුණු තැන් ගණනාවක් ඇති බවයි. වැරදි සිදු වීම සාමාන්‍ය දෙයකි. එහෙත් ඒවා හඳුනාගෙන වහාම නිවැරදි කරගතහොත් ඉදිරියට හෝ සිදු විය හැකි අහිතකර බලපෑම් වළක්වාගත හැකි වේ. එහෙත් අඩුපාඩු හදා නොගෙන ඒ වැරදි ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ගම දිගටම අනුගමනය කරන්නේ නම් තත්ත්වය තවත් නරක අතට හැරීමෙන් මහජනයාට වන පීඩාව තවත් වැඩි විය හැකිය. ගැසට් ගසා එක රැයින් කාබනික කෘෂිකර්මයට ගමන් කිරීමට දැරූ උත්සාහය මෙවැන්නකි.

මේ අතර විදේශ මුදල් හිඟයට අමතරව ආණ්ඩුවට ද මේ වන විට මුදල් නැත. ආණ්ඩුවේ බදු ආදායම් ද ආණ්ඩුව විසින්ම කිසිවකුගේ ඉල්ලීමක් පවා නැතුව බලන් අඩු කරගෙන ඇත. ඒ ප‍්‍රමාණය වසරකට රු. බිලියන 500 කට අධිකය. ඒ කොවිඞ්වලටත් පෙර සිටම වැට් බද්ද සියයට 15 සිට සියයට 8 දක්වා අඩු කිරීම ඇතුළු තවත් ආකර්ෂණීය බදු සහන ලබා දීම මගිනි. අප දන්නා තරමින් මේ බදු කප්පාදුවෙන් රජයට බදු ආදායම් අහිමි වීමට අමතරව මහජනතාවට ප‍්‍රමාණවත් සහනයක් නැත. දැන් ආණ්ඩුවේ බදු ආදායම් නැති වීමේ ප‍්‍රශ්නයට විසඳුම් ලෙස යම් බදු අදායමක් උපයා ගැනීම සඳහා රජය පසුගිය අයවැයෙන් විවිධ යෝජනා ඉදිරපත් කර ඇත. ඉන් එක යෝජනාවක් වන්නේ 2020/21 වසරේ රු. බිලියන දෙකකට වඩා බදු අය කළ හැකි ආදායමක් උපයන ලද සමාගම් මත සියයට 25 ක එක වරක් පමණක් අය කරන බදු අධිභාරයක් පැනවීමයි.

රු. මිලියන 2000 කට වැඩි බදු අය කළ හැකි ආදායම ඇති සමාගම්වලට මේ බද්ද පනවන ලදී. මේ අයවැය යෝජනාව ගැන පසුගියදා විශාල ආන්දෝලනයක් ඇති වූයේ මේ බදු අධිභාරයට සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ වෙනත් පුද්ගලික විශ‍්‍රාම අරමුදල් කිහිපයක් ද අයත් වීම නිසාය. පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ගෙනා දේශීය ආදායම් පනතේ සමාගම් නිර්වචනයට මේ අරමුදල් ද අයත්ව තිබිණි. එහෙත් මේ අයවැය යෝජනාව ගෙනාවේ වත්මන් රජය විසින් 2022 අයවැය ලේඛනයෙනි. එම අයවැය යෝජනාවේ සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඇතුළු අරමුදල් මෙයට අයත් බවට සඳහනක් නොවිණි. එහෙත් යහපාලන රජය විසින් ගෙනා දේශීය ආදායම් පනත නිසා සමාගම් නිර්වචනයට එම අරමුදල් ද අයත් වන බව රජය නොදැන සිටීමට හේතුවක් නැත. කෙසේ හෝ අවසානයේ ගිය සඳුදා (14 දා) කැබිනට් මණ්ඩලයට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මේ අධිභාර බද්ද ගැන දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ. ඒ අනුව මුදල් ඇමැතිවරයා මාධ්‍යයට පවසා තිබුණේ සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල ඇතුළු වෙනත් අරමුදල් එකොළහක් මේ බද්දට යටත් නොවන බවයි. එහෙත් වාචිකව එසේ කීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. ඒ සඳහා අදාළ පනතේ අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවේ දී කිරීමට ද සිදුවනු ඇත. මේ අධිභාර බද්ද දැමුවේ වැඩියෙන් ලාභ උපයන ආයතන සහ පුද්ගලයන්ගෙන් එකවර වැඩි බදු ආදායමක් එනම් රු. බිලියන 100 ක් ලබා ගැනීමටය. කොරෝනා වසංගතය මර්දනය කර ගැනීම සඳහා එන්නත්කරණය ඇතුළු අනෙකුත් කොරෝනා මර්දන ක‍්‍රියාමාර්ග වෙනුවෙන් රජයට විශාල වියදමක් දැරීමට සිදුව ඇත. එසේම සාමාන්‍ය මහජනයා ගත් රාජ්‍ය සේවකයන් හැර අනෙකුත් සියලූම දෙනාට ආදායම් අහිමි වීමේ, රැකියා අහිමි වීමේ සහ පඩි කැපීමේ සිට නොයෙකුත් අහිතකර තත්ත්වයන්ට අඩු වැඩි වශයෙන් මුහුණ දීමට සිදුව ඇත. එසේ නම් මේ වසංගත සමයේ අධික ලාභ උපයා ඇති ආයතන සහ පුද්ගලයන් ද මේ සඳහා කැප කිරීම් සිදු කළ යුතුව තිබේ. එහෙත් මේ අධිභාර බද්ද ගෙවීම සම්බන්ධයෙන් එම බද්දට යටත් වන ආයතනවලට ගැටලූ ඇති වී තිබෙන බැවින් අදාළ මුදල ගෙවීම සඳහා යම් සහන ක‍්‍රමවේදයක් සලසා දීම සුදුසු වේ.

  • අධිභාර බද්දේ බලපෑම්

ලංකා වාණිජ මණ්ඩලය අධිභාර බද්ද ගැන නිල නිවේදනයක් නිකුත් කර තිබුණි. ඔවුන් රජයෙන් ඉල්ලන්නේ මේ බද්ද ගැන නැවත සලකා බලන ලෙසයි. ඔවුන්ගේ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

‘ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජිකයන් අධිභාර බදු පනත් කෙටුම්පත ක‍්‍රියාත්මක කිරීම තුළින් සිදුවිය හැකි ප‍්‍රතිඵල පිළිබඳව දැඩි අවධානයකින් සහ සැලකිල්ලකින් පසුවේ. ලංකා වාණිජ මණ්ඩලය විසින් 2022 ජනවාරි මස මුදල් අමාත්‍යවරයාට නිර්දේශයන් ඉදිරිපත් කරන ලදී. සාමාජික අදහස් සහ බදු සඳහා වන තාක්ෂණික මෙහෙයුම් කමිටුවේ මඟෙපෙන්වීම මත සකස් කළ එම නිර්දේශ අතර සමූහ ව්‍යාපාරවල ලාභාංශය මත ආන්තික සහන සහ ද්විත්ව බදු පැනවීම මඟින් පැනනැ`ගිය හැකි ගැටලූ පෙන්වා දුන් අතර ඒ සඳහා රජය විසින් දැක්වූ යහපත් ප‍්‍රතිචාරය පිළිබඳව අපි සතුට පළ කරමු. කෙසේ වුවද සෙසු කරුණු පිළිබඳව ප‍්‍රමාණවත් අවධානයක් රජය විසින් යොමු කර නොමැත. අධිභාර බද්ද ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධව විකල්ප නිර්දේශයන් ගණනාවක් ලංකා වාණිජ මණ්ඩලය විසින් රජය වෙත ඉදිරිපත් කරන ලදී. මේ අතර සියලූම බදු ගෙවන්නන් සඳහා සියයට 10 ක අධිභාරයක් පැනවීම, ආදායම් බදු ගෙවීමේ හැකියාව මත පදනම්ව අනුක‍්‍රමික බදු අධිභාරයක් පැනවීම, බදු බැර මේ සඳහා හිලව් කිරීම, මෙම බද්ද ඉදිරි බදු වර්ෂයේ සිට බලාත්මක කිරීම වැනි නිර්දේශ ගණනාවක් විය.

මෙම නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීම මගින් වර්තමාන අභියෝගකාරී වාතාවරණය තුළ පෞද්ගලික අංශය මත පීඩනය අවම වන ආකාරයට බදු ආදායම් ඉලක්ක සපුරාගත හැකිව තිබුණි. මීට අමතරව ලංකා වාණිජ මණ්ඩල විසින් අධිභාර බද්ද සමූහ ව්‍යාපාර මට්ටමේ ක‍්‍රියාත්මක නොකරන ලෙසටද නිර්දේශ කොට තිබුණි. අධිභාර බද්ද ක‍්‍රියාත්මක කිරීම සඳහා එය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ප‍්‍රථම ලංකා වාණිජ මණ්ඩලය විසින් ඉදිරිපත්කර ඇති යෝජනා සලකා බලන ලෙස අප නැවතත් ඉල්ලා සිටිමු.

මේ බද්දට යටත් වන ආයතන සහ පුද්ගලයන් ගණන 69 ක් බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර තිබේ. මේ ආයතන කොරෝනා වසංගත සමයේ අධික ලාභ උපයා තිබේ. එසේ ඔවුන්ට සාර්ථකව ව්‍යාපාර කටයුතු කර ලාභ ඉපයීම සඳහා කොරෝනා වසංගත තත්ත්වය මර්දනය කර ගැනීම සඳහා රජය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ මෙන්ම පොදු ජනයා කළ ඉමහත් කැපකිරීම් ද හේතු වූ බව එම සමාගම් අමතක කළ යුතු නොවේ. එසේම මෙය එක වරක් පමණක් ගෙවීමට සිදුවන බද්දක් බව ද කිව යුතුය. එබැවින් ඔවුන්ද කොරෝනා වසංගතයෙන් මිදී රට යථා තත්ත්වයට පත් කර ගැනීමේ ප‍්‍රයත්නයට අනෙකුත් පාර්ශ්වයන්ට වැඩි දායකත්වයක් ලබා දියයුතු බව අපගේ අදහසයි. මේ නිසා අප සිතන්නේ එම අධිභාර බද්ද එකවර ගෙවීමට අපහසු නම් එය අනාගත ආදායම් බදු සමග කොටස් වශයෙන් ගෙවීමට ඉඩකද සලසා දීම සුදුසු විය හැකි බවයි. මෙය පෙර වර්ෂයකට අදාළව පනවන ලද බද්දක් නිසා සමාගම් උපයන ලද එම ලාභ දැන් මුදලින් එම සමාගම් සතුව නොපවතිනවා විය හැකිය. ආණ්ඩුවේ ඕනෑ තරම් වැරදි අඩුපාඩු තිබිය හැකිය. එහෙත් මේ කොරෝනා වසංගතය වූ කලී ආණ්ඩුවේවත්, දේශපාලනඥයන්ගේවත් ව්‍යාපාරිකයන්ගේවත්, එසේත් නැත්නම් මහජනයාගේවත් වරදක් නොවේ. අප සියලූ දෙනාම එක්ව මීට මුහුණ දී මේ විපතින් මිදිය යුතු වේ. එසේම අධිභාර බද්දෙන් රජය උපයන මේ මුදල නිශ්චිතව වැය කරන්නේ කවර අරමුණක් වෙනුවෙන් ද යන්නත් රජය පැහැදිලි කරන්නේ නම් එය ද වැදගත්ය.

  • විදේශ මුදල් ලැබීම්

පසුගිය වසරේ (2021) මැද සිට අපනයන ආදායම් මසකට ඇ.ඩො. බිලියනය ඉක්මවා අඛණ්ඩව වාර්තා විය. මේ අනුව 2021 වසරේ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 12ල502 ක් දක්වා සියයට 24.4 කින් වර්ධනය විය. එය හොඳ තත්ත්වයකි. එහෙත් ප‍්‍රශ්නය වන්නේ ආනයන වියදම් ඊට වඩා වැඩි වේගයකින් වර්ධනය වීමයි, මේ අනුව 2021 වසරේ මුළු ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 20ල637 ක් දක්වා සියයට 28.5 කින් වර්ධනය වී තිබේ. මේ හමුවේ වෙළෙඳ හිඟය 2020 වසරේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6ල008 සිට 8ල136 දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 2128 කින් වර්ධනය වී ඇත. මෙය වෙළෙඳ හිඟය සියයට 35.4 කින් වර්ධනය වීමකි. මේ අනුව අපනයනවලින් විදේශ මුදල් රටට ලැබීම වර්ධනය වුවත් ආනයන වියදම් ඊට වැඩි වේගයකින් වැඩි වී තිබේ. එසේම මහා බැංකුව 2021 ඔක්තෝබර් 01 වැනිදා ඉදිරිපත් කළ සය මාසික පෙර දැක්මේ දී විදේශ විනිමය පේ‍්‍රෂණ මුදල් ලැබීම් ගැන තැබූ අපේක්ෂා එලෙස ඉටු වූයේ ද නැත. මසකට ඇ.ඩො. මිලියන 600ක පමණ මුදලක් අපේක්ෂා කළත් සත්‍ය ලැබීම් මෙයින් අඩකට පමණක් සීමා විය. මෙසේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස වලදී විදේශ විනිමය ලැබීම් පෙර වසරට සාපේක්ෂව සියයට 50 කටත් වැඩියෙන් අඩු විය. මේ හමුවේ මහ බැංකුව පසුගිය දෙසැම්බර් මාසයේ සිට පේ‍්‍රෂණ සඳහා එක් ඇමෙරිකානු ඩොලරයකට දිරි දීමනාවක් ලෙස රු. 10ක මුදලක් ලබා දීමට කටයුතු කළේය. මෙය කළේ අවිධිමත් ක‍්‍රමවලින් කළුකඩ හරහා ඩොලරයකට රු. 240 ක් 250 ක් වැනි අධික මුදලක් ලබා ගන්නවා වෙනුවට බැංකු ක‍්‍රමයට විදේශ විනිමය පේ‍්‍රෂණ ලැබීම් වර්ධනය කර ගැනීමටය. එහෙත් මහ බැංකුවේ නිල විදේශ විනිමය අනුපාතයට වැඩිපුර රු. 10 ක් දුන්නත් වෙළෙඳපොළේ පවතින වෙනසට මෙය ප‍්‍රමාණවත් නොවේ. විදෙස්ගත ශ‍්‍රමිකයන් කතා කරනුයේ විදෙස්ගත වී දුක් මහන්සියෙන් උපයන විදේශ විනිමය කුණු කොල්ලයට ගැනීමේ උත්සාහය ගැන කෝපයෙනි. මේ නිසා තාවකාලිකව බොහෝ දෙනා රටට පේ‍්‍රෂණ එවීමෙන් වැළකී සිටින බව ද වාර්තා වේ.

අවිධිමත් ක‍්‍රම ඔස්සේ මුදල් පේ‍්‍රෂණ කරන ආයතන හා ඔවුන්ට උදව් දෙන්නන්ට එරෙහිව මහ බැංකුව අනුගමනය කරන ක‍්‍රියාමාර්ග හමුවේ මෙරටට මුදල් එවන විදෙස්ගත ශ‍්‍රමිකයන් කිසියම් බිය වීමකට ලක්ව ඇත. ඒවා ඔවුන් උපයන මුදල්ය. ඔවුන් උපයන විදේශ මුදලට ඔවුන් අපේක්ෂා කරන නිසි අගය නොලැබේ නම් ඔවුන්ගෙන් ඇතැම් පිරිසක් රටට විදේශ විනිමය එවීමෙන් වැළකී සිටීමට ඉඩ තිබේ. මේ තත්ත්වය ද රටට ලැබෙන විදේශ විනිමය පේ‍්‍රෂණ අඩු වීමට හේතු වී ඇත. මේවා නීතියෙන්ම කළ හැකි දේවල් නොවේ. නීති දමන විට නීති කඩන ප‍්‍රමාණය මෙන්ම එම නීතිවලින් රිංගා යෑමට උත්සාහ කිරීම් ද සිදු වේ. මෙය පාලනයට ශ‍්‍රී ලංකා මහා බැංකුව ගෙන ඇති ක‍්‍රියාමාර්ග ප‍්‍රමාණවත් වී නැත. එම ක‍්‍රියාමාර්ග විදේශ විනිමය පේ‍්‍රෂණ ලැබීම් ඉහළ දැමීමට සමත්ව නැත. විදේශ විනිමය හුවමාරු කිරීමේ අගයන් බලෙන් තීන්දු කිරීම නිසා රටට විදේශ විනිමය ලැබීම් වැඩිවී තිබේ ද? එය තවදුරටත් ඉදිරියේ දී සලකා බැලිය හැකිය. කෙසේ හෝ ගිය වසරේ (2021) දී විදේශ විනිමය පේ‍්‍රෂණ ලැබීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 5491 ක් දක්වා සියයට 22.7 කින් අඩු වී ඇත. 2020 වසරේ වාර්තා වූ විනිමය පේ‍්‍රෂණ ලැබීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 7104 ක් විය. මේ නිසා රජයත්, මහ බැංකුවත් තම ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ගවල ඇති අඩුපාඩු නිවැරදි කර ගැනීම වැදගත් වේ.

  • නිෂ්පාදනයේ ඉහළ යෑමක්

2021 ජනවාරි මාසයේ නව ඇණවුම් සහ නිෂ්පාදනයේ ඉහළ යෑමක් වාර්තා වී ඇත. මේ අනුව නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 ජනවාරි මාසයේ දී 58.7ක අගයක් වාර්තා කරමින් 2021 දෙසැම්බර් මාසයට සාපේක්ෂව දර්ශකාංක 0.6 කින් ඉහළ ගොස් තිබේ. ජනවාරි මාසයේ දී මෙසේ නව ඇණවුම් සහ නිෂ්පාදනයේ ඉහළ යෑමත් සේවා නියුක්තිය යථා තත්ත්වයට පත් වීමත් නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ වර්ධනයට හේතු වූ බව මහ බැංකුව පවසයි. මේ ගැන තවදුරටත් කරුණු පැහැදිලි කරන ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙසේ ද පවසයි.

‘ජනවාරි මස තොග මිල දී ගැනුම් ඉහළ ගිය අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය ද පෙර මාසයට සාපේක්ෂව වැඩි විය. විශේෂයෙන් රෙදිපිළි හා ඇඟලූම් නිෂ්පාදන අංශයේ සහ ආහාර හා පාන නිෂ්පාදන අංශයේ නව ඇණවුම්, නිෂ්පාදන සහ තොග මිල දී ගැනුම්වල දක්නට ලැබුණු ඉහළ යෑම නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සමස්ත ඉහළ යෑම කෙරෙහි ප‍්‍රධාන වශයෙන් දායක විය.

මේ අනුව වසංගත තත්ත්වය සමනය වීමත් සමග ආර්ථික ක‍්‍රියාකාරීත්වය තවදුරටත් වර්ධනය වනු ඇත. මේ නිසා දැනට පවතින කොරෝනා වසංගත තත්ත්වයේ යළි හිස එසවීම පාලනය කරගත් යුතු වේ. මහජනයා ද තවදුරටත් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිලිපදිමින් මේ නව සාමාන්‍ය තත්ත්වය හමුවේ තම ආර්ථික හා රැකියා කටයුතු කිරීම් ද ඉතා වැදගත්ය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment