ආර්ථිකය පණ අදිද්දී – එක්ව ජයගත යුතු අභියෝගය

130

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය
 

 නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ඊයේ (03දා) ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඔහු එහි ආරම්භයේ දීම මෙසේ කීවේය.

 ‘අද අප මුහුණ දෙන්නේ නූතන ඉතිහාසයේ කිසි දිනෙක අපේ රට මුහුණ නොදුන් මට්ටමේ අතිශය බරපතළ ප්‍රශ්නයකට. අපි දැවැන්ත අනතුරකට ගොදුරු වෙලා. ඒ අනතුරින් රට බේරා ගත හැක්කේ අප සියලු දෙනාම එකට එකතුවී මේ අභියෝගයට මුහුණ දුන්නොත් විතරයි. මේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් වගේම සමස්ත ජනතාවත් රට ගොඩ නැගීමේ වෑයමට තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වීම ඉතා වැදගත්.’

 ජනාධිපතිවරයා කියන මේ කරුණට අපි එකහෙළා එකඟ වෙමු. එනම් මේ ලියුම්කරු ද දිගින් දිගටම පසුගිය ලිපි මගින් ප්‍රකාශ කළ පරිදි මේ බලවත් අර්බුදයෙන් අපට ගොඩ ඒමට හැකි වන්නේ සාමුහික ප්‍රයත්නයකින් පමණි. සියලු වාදභේද අමතක කර යම්කිසි අන්තර් කාලයකට සියලු දෙනා එක්ව විශාල කැපවීම් කරමින් නිවැරදි ප්‍රතිපතිමය පියවර අනුගමනය කරමින් කටයුතු කිරීමට අප සැමටම සිදුවේ. මහජනයා වශයෙන් ද අපට කැපවීම් කරමින් ඉතා ඉවසීමකින් කටයුතු කිරීමට ද සිදුවනු ඇත. මේ අප මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය ඉතා ඉක්මනින් හෝ පහසුවෙන් විසඳිය හැකි එකක් නොවන බව ද අප සියලු දෙනාම තේරුම්ගත යුතුය. එහෙත් ජනාධිපතිවරයා මෙන්ම බොහෝ දේශපාලනඥයන් ද මෙය සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු මොහොතක් බව කිව්වත් ඒ අනුව ඔවුන් හැසිරෙමින් සිටින්නේ ද යන ප්‍රශ්නය බරපතළ ලෙස තිබේ. ඒ නිසා මේ කියන දේ අනුව ප්‍රථමයෙන්ම ජනපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් සියලු දේශපාලන පක්ෂත් එක්ව සාමුහිකව මේ අමාරු කාලයේ කටයුතු කරන ලෙස අපි මහජනයා වෙනුවෙන් ඉල්ලා සිටිමු.

ආර්ථිකය පණ අදිද්දී - එක්ව ජයගත යුතු අභියෝගය

මූල්‍ය අරමුදලේ සහාය පැතීම

 මේ අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමට තීරණය කර එම ගමන්මගේ අප දැන් කිසියම් දුරක් පැමිණ සිටිමු. නව ජනපතිවරයා ප්‍රමුඛ රජය දැන් කළ යුතු වන්නේ ඉතා ඉක්මනින් ස්ථාවර රජයක් ඇති කර ගනිමින් කිසියම් දුරකට ප්‍රමාද වී ඇති එම මාර්ගයේ යන ගමන වේගවත් කර ගැනීමයි. එසේම ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ප්‍රමුඛත්වය දෙමින් ඒ සඳහා අවශ්‍ය අනෙකුත් ක්‍රියාමාර්ගයන්ට ද වහාම අවතීර්ණ වීමයි. දේශපාලන අස්ථාවරභාවය නිසා දැනටමත් මෙම ක්‍රියාවලියේ බොහෝ ප්‍රමාදයන් සිදුව තිබේ. ඒ නිසාම මහජනයා වඩාත් පීඩාවටද පත්ව තිබේ. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය සහ නීති විශේෂඥයන් වන ඛ්‘්රා සහ ක්‍කසදෛරා ක්‍ය්බජැ යන ආයතන සමඟ එක් වී ශ්‍රී ලංකාවේ ණය ස්ථාවර කරලීමේ සැලසුම්හි අවසන් අදියරයට පැමිණ ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03දා) පාර්ලිමේන්තුවේ දී කීවේය. ඔහු එහිදී මෙසේ ද කියා සිටියේය.

 ‘මේ සැලැස්ම නොබෝ දිනකින් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරනවා. ඉන් පසු අපට ණය ආධාර ලබා දී ඇති රටවල් සමඟ සාකච්ඡා කරනවා. අනතුරුව පුද්ගලික ණයකරුවන් සමගත් සාකච්ඡා අරඹනවා. ඔවුන් සමඟ එකඟතාවන්ට එළඹෙනවා.

 යළි නැගී සිටීමේ මූලික පියවරක් විදිහට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිව් අවුරුදු වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කළා. අගෝස්තු මාසයේ අපි ඒ සාකච්ඡා යළිත් ඉදිරියට ගෙන යනවා. මූලික වටයේ මාණ්ඩලික සාකච්ඡා කඩිනමින් සහ සාර්ථක ලෙස අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි.’

බලවත් අර්බුද කාලය

 අප මේ ගත කරමින් සිටින්නේ සාමාන්‍ය කාලයක් නොව අතිශය බලවත් අර්බුද කාලයකි. ඉතිහාසයේ පෙර නොවූ විරූ ආර්ථික අගාදයක අපි ඇලී ගැලී සිටිමු. මෙය ආර්ථිකය හුස්ම අදිමින් ජනතාව ඉමහත් පීඩාවට පත්ව විඳවමින් සිටින මොහොතකි. කොරෝනා වසංගතය අනපේක්ෂිතව පැමිණි බව සත්‍යයකි. එහෙත් එහි බලපෑම් ද සමග රටට මුහුණ දීමට සිදුවන මෙවන් බලවත් ආර්ථික විපතක් පිළිබඳ පෙර දැක්මක්, ආර්ථික උපායමාර්ග වෙනස්කරගෙන මේ අලුත් තත්ත්වයක මුහුණ දීමට පෙර සූදානමක් හෝ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට, එම රජයේ මැතිඇමැතිවරුන්ට හෝ ඒ ආණ්ඩුවේ සිටි ආර්ථික බලධාරීන්ට ද නොතිබුණු බව දැන් පැහැදිලිව ඇති දෙයකි. මේ නිසාම එනම් කලට වෙලාවට නිසි තීන්දු තීරණ නොගැනීම සහ ඇතැම් වැරදි තීන්දු ගැනීම නිසා ද වූයේ කොරෝනා වසංගතය හමුවේ උග්‍ර වූ විදේශ විනිමය අර්බුදය හරිහැටි කළමනාකරණය කර ගැනීමට අප අසමත්ව රට බංකොළොත් වීමයි. දැන් එහි විපාක රට සහ මහජනයා අත්විඳිමින් සිටී. එමතු නොව ඒ ආණ්ඩුවේ සිටි අයටමත් බොහෝ දේශපාලන විපාකවලට මුහුණදීමට ද සිදුව ඇත. එම දේශපාලන වෙනස්කම් අවසානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් ද පිට වී ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වීමට ද සිදු විය.

වැරදි ප්‍රතිපත්තිවල විපාක

 ගෝඨාභය රජය කොරෝනා වසංගතය ඇති වීමෙන් පසුව හෝ උද්දච්ච ලෙස කටයුතු නොකර අනාගතය සම්බන්ධයෙන් සිය උපායමාර්ග යාවත්කාලීන කර, වෙනස් කරගත්තා නම් රසායනික පොහොර එක දිනකින්ම තහනම් කර ක්ෂණිකව කාබනික කෘෂිකර්මයට යෑම වැනි ගොන් තීරණ ගන්නේ නැත. ඉන් මෙරට කෘෂිකර්මයට සහ ගොවි ජනයාට වූ හානිය අතිමහත්ය. මේ ගැන එදා දැනුම ඇති අය කෙතරම් කරුණු කීවත් ගෝඨාභය ජනපතිවරයා ඒ ගැන ගණනකටවත් නොගෙන කළ කී දේවල් අපට මතකය. එසේම කොරෝනාව හමුවේ අපේ විදේශ විනිමය ඉපයුම් පහත වැටෙමින් විශාල විදේශ ණය පියවීමේ වගකීම් ද තිබියදී අප ගමන් කරමින් සිටින ආර්ථික අගාදය ගැන එදා හරි දැක්මක් සහ පෙර සූදානමක් ඇති කරගත්තා නම් අපගේ විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීමට අයිඑම්එෆ් සහාය ගැනීමට මෙතරම් ප්‍රමාද වන්නේ ද නැත. අයිඑම්එෆ් සහාය ගැනීම මේ අර්බුදයට එකම විසඳුම නොවන බව ඇත්තය. එය අපි දනිමු. ඉදිරි කාලයේ ප්‍රමාද වී හෝ අපට අයිඑම්එෆ් මුදල් ලැබුණත් ලැබෙන්නේ වාරික වශයෙන් වසර තුනක් තුළය. ඒ නිසා එම මුදල් ලැබීමෙන් පමණක් මේ උග්‍ර අර්බුදය නොවිසඳෙන බව කවුරුත් දන්නා කරුණකි.

අයිඑම්එෆ් එකම විසඳුම නොවේ

 අයිඑම්එෆ් සහාය ගත යුතු බවට කියන අයත් එය මේ බලවත් විනිමය අර්බුදයෙන් මිදීමට එකම විසඳුම නොවන බවත්, ඒ සඳහා බහුවිධ ක්‍රියාමාර්ග  අනුගමනය කළ යුතු බව සහ තවත් මාර්ගවලින් විදේශ මුදල් සොයාගත යුතු බවත් හොදටම දනී. එහෙත් එම බහුවිධ ක්‍රියාමාර්ග අතර අයිඑම්එෆ් සහාය ලබා ගැනීම ද අනිවාර්ය අත්‍යවශ්‍ය පියවරක් බවට පත්ව ඇත. අපි අයිඑම්එෆ් සහාය ඉවත දැමිය යුතුද? මෙයට කෙටි කාලීනව නම් පිළිතුර “නැත” යන්නයි. එහෙත් දිගු කාලීනව නම් නිසැකවම පිළිතුර“ඔව්” යන්නයි. මෙහි අර්ථය නම් දැන් අප මුහුණ දී සිටින බරපතළ තත්ත්වය හමුවේ අයිඑම්එෆ් සහාය නොගෙන ඉදිරියට යෑමට අපහසු තත්ත්වයකට අප පත් වී සිටින බවයි. ඒ නිසා කෙටිකාලීනව අයිඑම්එෆ් සහාය ඉවත දමා මේ උග්‍ර අර්බුදය විසඳිය හැකි වෙනත් විකල්ප වැඩපිළිවෙළක් මේ මොහොතේ පෙනෙන්නට නැත. අයිඑම්එෆ් නොයා ඒ සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග අසාර්ථක වූ බව ද අප සියල්ලම දන්නා කරුණකි. ඒ නිසා ඒ ගැන තවදුරටත් කතා කිරීමෙන් ඵලක් නැත. එහෙත් දිගුකාලීනව අප උත්සාහ ගත යුත්තේ අයිඑම්එෆ් සහාය නොගෙන සිටීමට හැකිවන පරිදි අපගේ ආර්ථිකය, විශේෂයෙන්ම අපගේ ආර්ථිකයේ විදේශ අංශය ශක්තිමත් කර ගැනීමයි. ඒ සඳහා කල්පනාකාරීව වෙහෙස මහන්සි වී වැඩ කළහොත්, ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්ති සහ තීරණාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුනාගෙන ක්‍රියාත්මක කළහොත් සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති කරගතහොත් අපට අනාගතයේ දී අයිඑම්එෆ් සහාය නොමැතිව ගමන් කළ හැකිය. එහෙත් අයිඑම්එෆ් නොයන්න කියන අය පවා එවැනි තත්ත්වයකට අපගේ ආර්ථිකය පසුගිය කාලයේ පත් කර ගැනීමට පියවර ගෙන නැති බව ද කිව යුතුය. කොරෝනා නිසා අපට අනපේක්ෂිත ලෙස සංචාරක ආදායම් ඇතුළු විදේශ ලැබීම් අඩු වූ බව ඇත්තකි. එහෙත් අපනයන ආදායම මෙන් දෙගුණයක් විශාල ආනයන වියදමක් (විශාල වෙළෙඳ හිඟයක්) අප දිගටම පවත්වාගෙන ආවේය. අපනයන ආදායම් වැඩි කරගෙන අපනයන ප්‍රමුඛ කරගත් ආර්ථිකයක් බවට අපේ ආර්ථිකය පත් කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගත්තේ නැත. එසේම අපගේ අපනයන ආදායමට දැරිය හැකි ආනයන වියදමක් ඇති කර ගැනීමට ද කටයුතු කළේ නැත. අනිත් අතට විශාල අයවැය හිඟයන්ට අප මුහුණ දුන් අතර අපගේ රාජ්‍ය ආදායමට සරිලන ලෙස රාජ්‍ය වියදම් හැඩ ගස්වා ගත්තේ ද නැත. මේ නිසා අපට විශාල වශයෙන් විදේශ ණය මත යැපෙන්නට සිදු විය. ඒවා අපට ගෙවීමට සිදු වන්නේ ද විදේශ මුදලින්ම නම් අප ඒ සඳහා විදේශ විනිමය ඉපයිය යුතුය. එහෙත් අප විදේශ විනිමය ආදායම් වර්ධනය කර ගන්නවා වෙනුවට කළේ  කුමක් ද ? දිගින් දිගටම විශාල වශයෙන් විදේශ ණය ගැනීමයි. මේ තත්ත්වයට පසුගිය සෑම රජයක්ම අඩුවැඩි වශයෙන් වගකිව යුතු වේ. එහෙත් දැන් ඒ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කර කර සිටිනවාට වඩා වැදගත් වන්නේ වහාම කළ යුතු දේවල් කිරීමයි. එහිදී වඩාත්ම වැදගත් වන්නේ දේශපාලන ප්‍රතිසංකරණ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංකරණ සිදු කිරීමට වඩා ආර්ථික ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය පියවරයන්ට වැඩි ප්‍රමුඛත්වයක් දීමයි. එහෙත් කනගාටුවට කරුණ නම් ඒ අත්‍යවශ්‍ය ප්‍රමුඛ දේට වඩා වෙනත් දේවල්වලට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් ආර්ථික අගාදයෙන් ගොඩ ඒමේ උත්සාහය කල්ගත වන තත්ත්වයක් මෙතෙක් අත්ව තිබීමයි.

ණය ගෙවීම පැහැර හැරීම

 අපගේ විනිමය අනුපාතය නම්‍යශීලීව පවත්වාගෙන යෑමද පසුගිය අප්‍රේල් මාසයේ නොව ඊට බොහෝ කලකට පෙර කළ යුතුව තිබුණු දෙයකි. ඒ ගැන මුදල් මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවටද අදහස් දක්වා තිබුණි. එහෙත් විශාල විදේශ විනිමය කළු කඩයක් ද නිර්මාණය වීමට ඉඩ සලසමින් මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලරයක අගය රු.203 ක ස්ථාවර අගයක දිගුකාලයක් තබා ගනිමින් තිබුණි. ඒ නිසා වෙළෙඳපොළ සකස් වීමක් සිදු නොවී අපගේ සීමිත විදේශ සංචිතය ද දිය වීගෙන ගියේය. අවසානයේ සිදු වූයේ තවදුරටත් රුපියල රැක ගැනීමේ ශක්තිය නැති වී එක වරම රුපියල අතහැර දැමීමට සිදුවීමයි. ඒ නිසා අපගේ රුපියල විශාල ලෙස පිරිහී තෙල් මිල ඇතුළු භාණ්ඩ මිල විශාල වශයෙන් වැඩි වීමට පටන් ගත්තේය. මේ අතරම අපගේ විදේශ ණය ගෙවීමේ හැකියාව ද නැති වී ගොස් තිබුණි. කොටින්ම වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩභාර ගන්නා විට, ඊට දින කිහිපයකට පසුව ගෙවීමට තිබුණු ඇතැම් විදේශ ණය වගකීම් පියවීමට පවා අපගේ විදේශ සංචිතයේ මුදල් නොතිබුණි. ඒ නිසා 2022 අප්‍රේල් 12 දින ශ්‍රී ලංකාව ණය ගෙවීම අත්හිටුවන බව ප්‍රකාශයට පත් කළේය. එසේ ප්‍රකාශයට පත් නොකළත්, අපගේ වැටහීම නම් තවත් දින කීපයකින් කොහොමත් අපට විදේශ ණය ගෙවීමට නොහැකි වන බවයි. මෙසේ විදේශ ණය ගෙවීම අප විසින් පැහැර හැර අයිඑම්එෆ් සහාය ඉල්ලා ඇති අපට කලක සිටම ඇත්තේ අත්‍යවශ්‍ය ආනයනවලට පවා මූල්‍ය පහසුකම් සොයාගත නොහැකි තත්ත්වයකි. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, බෙහෙත් නොමැති වීම, වෙනත් භාණ්ඩ හිඟයන් සහ විදුලිය කැපිල්ල පවා සිදුවන්නේ අපට මේ විදේශ මුදලක් නොමැතිකම නිසාය. එසේ නම් අපට මේ අගාදයෙන් ගොඩ ඒමට වෙනත් සාමාන්‍ය කාලයක මෙන් බොහෝ විකල්පයන් නැත.

සියලු දෙනාගේම වගකීම

 ජනතාව අසීමිතව පීඩා විඳිමින් සිටින අතරේ මෙවැනි ව්‍යසන කාලයකට ගැළපෙන හැසිරීමක් අපට ආණ්ඩුවේ දේශපාලනඥයින්ගෙන් හෝ ඇතැම් විට විපක්ෂයේ දේශපාලනඥයින්ගෙන් පවා දක්නට නොලැබීම අතිශය කනගාටුවට කරුණකි. මෙය උපදේශකවරු ඇතුළු නිලධාරී තන්ත්‍රයක් නඩත්තු කරගෙන යාහැකි මොහොතක් නොවේ. රජයේ වියදම් හැක්තාක් අඩුකරගෙන රජය ද පටි තදකරගත යුතු මොහොතකි. මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කර ගැනීමේ ප්‍රයත්නය අපි ඉතා අගය කරමු. එසේ සියලු දෙනා සමග එක්ව සාමුහිකව කටයුතු කිරීම, මේ ආණ්ඩුවට මහජන වරමක් නොමැති වීමේ ප්‍රශ්නය සමනය කිරීමට සහ විරෝධතා අවම කර ගැනීමට හේතුවක් වනු ඇත. කෙසේ වෙතත් ආණ්ඩුවේ පාර්ලිමේන්තු ස්ථාවරය ශක්තිමත් බව පෙනෙන, නමුත් රජයට මහජන සහයෝගය දුර්වල බව පසුගියදා ෆිච් රේටින්ග්ස් ආයතනය ප්‍රකාශ කළේය. ඒ නිසා මේ රජය ඉදිරියට ගෙන යෑමේ දී දේශපාලන අවදානම් තවමත් තිබීම අභියෝගයක් බව ද ඔවුන්ගේ නිවේදනයේ සඳහන්ව තිබිණි. ඒ නිසා අවසාන වශයෙන් අපට කීමට ඇත්තේ ජනතාව ඉමහත් පීඩාවට පත්ව ආර්ථිකය හුස්ම අදිමින් සිටින මේ මොහොතේ මේ බලවත් ආර්ථික විපතින් ගොඩ ඒම සඳහා අපි සියලු දෙනා රට වෙනුවෙන් එක්ව කටයුතු කරමු යන්නයි.

 ●  ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment