ආර්ථිකය පුපුරන්නට කිට්ටු බෝම්බයක්?

115

අයිඑම්එෆ් මූල්‍ය පහසුකම ලැබීම අවසන් අදියරේ…..
පොලී අනුපාත එලෙසමයි…..
උද්ධමනයත් අඩුවෙයි…..

මේ වන විට ක්‍රමයෙන් උද්ධනය අඩු වෙමින් පවතී. මෙතෙක් පැවති ඉහළ උද්ධමනය මර්දනය කිරීමට මහ බැංකුව පොලී අනුපාත සැලකිය යුතු ලෙස වැඩි කරමින් දැඩි මුදල් ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේය. කෙසේ වෙතත් උද්ධමනය අඩු වීම අනුව ඉදිරියේ දී පොලී අනුපාත ද අඩුවනු ඇත. සාමාන්‍යයෙන් උද්ධමනය අඩුවෙන විට ඊට අනුරූපීව පොලී අනුපාත ද අඩු කිරීම සිදුවේ. මේ අනුව පසුගිය 25 වැනිදා මහ බැංකුව විසින් පොලී අනුපාතවල කිසියම් වෙනසක් කරනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළේය. එහෙත් ඉකුත් ජනවාරි 24 දින පැවති මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ රැස්වීමේ දී තීරණය කර තිබුණේ පවතින පොලී අනුපාත එලෙසම පවත්වාගෙන යෑමටය. එනම් පසුගිය ජනවාරි 25 වැනිදා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් වූ අතර එමගින් තීරණය කර තිබුණේ මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යෑමටයි. මේ ගැන මහ බැංකුව නිකුත් කළ මූල්‍ය ප්‍රතිපත්ති විවරණ වාර්තාවේ මෙසේ සඳහන් වේ.

● උද්ධමනය අඩු වේ

‘ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 ජනවාරි මස 24 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වයන්ගේ මෑත කාලීන හා අපේක්ෂිත ප්‍රවණතා මෙන්ම පුරෝකථන සැලකිල්ලට ගෙන, උද්ධමන පීඩන පාලනය කිරීමට මුදල් තත්ත්වයන් ප්‍රමාණවත් ලෙස දැඩිව පවතින බව සහතික කිරීම සඳහා දැනට පවතින දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය. එවැනි දැඩි මුදල් තත්ත්ව මෙන්ම දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් උද්ධමන අපේක්ෂා පහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර එමගින් 2023 වසර අවසානය වන විට උද්ධමනය අපේක්ෂිත මට්ටම් කරා අඩු කිරීමටත් මැදි කාලීනව ආර්ථික සහ මිල ස්ථායීතාව යථා තත්ත්වයට පත් කිරීමටත් මහ බැංකුවට හැකියාව ලැබෙනු ඇත.’

● වෙළෙඳපොළ පොලී අනුපාත

සාමාන්‍යයෙන් ආර්ථිකයේ අනෙකුත් සියලුම වෙළෙඳපොළ පොලී අනුපාතවලට බලපාන්නේ මේ මහ බැංකුව නියම කරන පොලී අනුපාතයන්ය. එහි අඩුවැඩි වීම අනුව රටේ මූල්‍ය පදධතියේ වෙළෙඳපොළ පොලී අනුපාත ද අඩු වැඩි වේ. උද්ධමනය අඩු වෙමින් තිබුණත් තවමත් උද්ධමනය පවතින්නේ ඉහළ මට්ටමක වන අතර එය තවදුරටත් මර්දනය කරගත යුතු වේ. ඉහත පැහැදිලි කිරීමෙන් පැහැදිලි වන්නේ උද්ධමන පීඩනය පාලනය කිරීමට මුදල් තත්ත්වයන් ප්‍රමාණවත් ලෙස දැඩිව පවතින බව සහතික කිරීමට අවශ්‍ය නිසා මෙසේ පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කළ බවයි. ඒ අනුව දැනට පවතින දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස වී ඇත. දැනට ඉහළ මට්ටමක පවතින වෙළෙඳපොළ පොලී අනුපාතවල පහළ යෑම ආරම්භ වීමේ සලකුණු දැනට නිරීක්ෂණය වී ඇත. මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද පරිපාලනමය ක්‍රියාමාර්ග මෙන්ම දේශීය මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව වර්ධනය වීම සහ දේශීය වෙළෙඳපොළේ සමස්ත අපේක්ෂා වර්ධනය වීම ද මේ සඳහා හේතු වනු ඇති බව මහ බැංකුව පවසයි. මේ වන විට දේශීය වෙළෙඳපොළ ද්‍රවශීලතාව වැඩි වීමක් සිදු වී ඇති අතර ඒ සඳහා මහ බැංකුවේ නිත්‍ය පහසුකම් මත බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඉහළ රැඳියාව අඩු කිරීම සඳහා මහ බැංකුව මෑතක සිට ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සහ ඊට සමගාමීව විවිධ වෙළෙඳපොළ කටයුතු ද සිදු කිරීම හේතු වී ඇත. මේ තත්ත්වය බැංකු අතර වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු වීමට ද බලපා ඇත.

● ඉදිරි උද්ධමන අපේක්ෂා

මෑත කාලයේ උද්ධමනය ගිය වසරේ (2022) ඔක්තෝබර් මාසයේ සිට අපේක්ෂා කළ පරිදි අඩු විය. සියයට 70 ඉක්මවා පසුගිය කාලයේ වැඩි වූ උද්ධමනය මේ වන විට සියයට 60 ට අඩු මට්ටමක් දක්වා ක්‍රමයෙන් අඩු වී ඇත. මේ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශනය අනුව ගණනය කළ උද්ධමනය පසුගිය දෙසැම්බර් මස උද්ධමනය සියයට 59.2 දක්වා අඩු වී තිබිණි. ඉකුත් නොවැම්බර් මස පැවති ජාතික පාරිභෝගික මිල දර්ශනය අනුව ගණනය කළ උද්ධමනය සියයට 65 ක් විය. ඉදිරියේ දී තවත් වඩාත් වේගවත් ලෙස උද්ධමනය අඩු වනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර ඇත. මේ සම්බන්ධයෙන් මහ බැංකුව මෙසේ කියයි.

‘කොළඹ පාරිභෝගික මිල දර්ශකය මෙන්ම ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට සහ මූලික උද්ධමනය අපේක්ෂා කළ පරිදි අඛණ්ඩව තෙවැනි මාසයටත් 2022 දෙසැම්බර් මාසයේ දී අඩු විය. දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස සමස්ත ඉල්ලුම අඩු වීම දේශීය සැපයුම් තත්ත්වයන්හි අපේක්ෂිත වර්ධනයන් සහ ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ගණන් පහළ යෑම දේශීය මිල ගණන් අඩු වීමට දායක වීම මෙන්ම අහිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම මගින් සහාය ලබමින් උද්ධමනය අඩුවීම 2023 වසරේ දීද අඛණ්ඩව සිදුවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

මේ අනුව ඉදිරියේ දී උද්ධමනය අඩු වීම මගින් ජීවන බර වැඩි වීමේ තත්ත්වයේ සමනය වීමක් මෙන්ම පොලී අනුපාතවල අඩු වීමක් ද සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. උද්ධමනය යනු බඩු මිල ඉහළ යෑමේ වේගයයි. මේ නිසා උද්ධමනය අඩු වීමෙන් සිදු වන්නේ බඩු මිල වැඩි වීමේ වේගය අඩු වීමයි. එහෙත් මේ නිසා බඩු මිල හෙවත් ආර්ථිකයේ පොදු මිල මට්ටමේ අඩු වීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. මේ වසර (2023) තුළ සිදුවනු ඇත්තේ වේගයෙන් බඩු මිල වැඩිවෙමින් පැවති තත්ත්වය පාලනය වී ජීවන වියදම වේගයෙන් වර්ධනය වන තත්ත්වයේ කිසියම් සමනය වීමකි. එහෙත් මේ වසර තුළ සාමාන්‍ය වශයෙන් ඉහළ උද්ධමන තත්ත්වයකට මුහුණ දීමට අපට සිදුවනු ඇත. මේ නිසා උද්ධමනය අඩු වීම යනු බඩු මිල අඩු වීමක් ලෙස වරදවා තේරුම් නොගත යුතු වේ. එහෙත් ඇතැම් භාණ්ඩවල මිල ගණන් අඩු වීම මෙන්ම වැඩි වීම ද සිදු වේ. එහෙත් සමස්තයක් ලෙස සිදු වනු ඇත්තේ උද්ධමනය අඩු වන තත්ත්වයක් යටතේ වුවත් පොදුවේ ඉහළ උද්ධමන තත්ත්වයකට අපට මුහුණ දීමටය. අපගේ වැටුප් වසර කිහිපයකින් වැඩි වී නැත. බොහෝ ආයතනවල බෝනස් ගෙවා නැත. මේ ආර්ථික තත්ත්වය යටතේ සමාගම් සහ ව්‍යාපාර ආයතන පවා පවත්වාගෙන යන්නේ ඉතා අමාරුවෙන් බව රහසක් නොවේ. අවශ්‍ය කරන්නේ එම ආයතන සහ රැකියා ප්‍රමාණය රැකගනිමින් මේ අමාරු කාලය ගෙවා ගැනීමයි. ආර්ථිකය ගොඩ දැමීමට ඇත්තේ වේදනාකාරී විසඳුමකි. එයට අඩුවැඩි වශයෙන් සියලු දෙනාටම මුහුණ දීමට සිදුවනු ඇත. මෙහි වේදනාවට වැඩියෙන්ම ලක්ව ඇත්තේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා බව අපගේ අපේක්ෂාවයි. එසේ නම් ඉහළ වැටුප් ලබන අය ද මේ මොහොතේ කැපකිරීම් කරමින් මේ කියන වේදනාවෙන් අප සිතන්නේ කිසියම් වැඩි කොටසකට දායක විය යුතුව තිබෙන බවයි. එහෙත් ඔවුන් මේ දිනවල විශේෂයෙන් උපයනවිට ගෙවීමේ බද්ද සම්බන්ධයෙන් මැසිවිලි නඟමින් සිටී. ඇතැම් බැංකු නිලධාරීන් මේ සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග ද අනුගමනය කිරීමට යොමුව ඇත. මහ බැංකුවේ සියලු වෘත්තීය සමිති ද පසුගිය සතියේ කළු ඇඳුම් පැළඳ වෘත්තීය ක්‍රියාමාර්ග අනුමානය කළ අයුරු ඉකුත් ජනවාරි 25 දින මහ බැංකුවේ මාධ්‍ය හමුවට ගිය අවස්ථාවේ දී ද අපට දැකගත හැකි විය.

● ආර්ථික පසුබෑම

ආර්ථිකය පුපුරන්නට කිට්ටු බෝම්බයක්?

ගිය වසරේ දී ආර්ථික ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස සංකෝචනය වී ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත. මේ අනුව ගිය වසරේ සියයට 8 ක පමණ ආර්ථික පසුබෑමක් සිදුවනු ඇති බව දැනට මහ බැංකුව පුරෝකථනය කර ඇත. මීට වැඩි ආර්ථික සංකෝචනය වීමක් 2022 වසරේ සිදුවනු ඇතැයි ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනවල සඳහන්ව තිබුණත් එම පුරෝකථනවලට වඩා අඩු ආර්ථික පසුබෑමක් මේ අනුව සිදුවනු ඇත. එහෙත් තවමත් ගිය වසරේ (2022) සමස්ත ආර්ථික වර්ධන අගයන් ප්‍රකාශයට පත් කර නැත. දැනට ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට කර ඇත්තේ ගිය වසරේ පළමු මාස 9 සඳහා ආදාළ දත්ත පමණි. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම් අනුව ගිය වසරේ සැප්තැම්බර් දක්වා මාස 09 සඳහා වන ආර්ථික වර්ධන අගයන් ප්‍රකාශයට පත් කර තිබූ අතර ඒ අනුව ගිය වසරේ (2022) පළමු කාර්තු තුනේ දී සියයට 7.1 කින් ආර්ථිකය පසුබෑමට (සංකෝචනය වීමට) ලක්ව තිබේ. සියයට 8 ක ආර්ථික පසුබෑමක් අපේක්ෂා කරන නිසා 2022 අවසන් කාර්තුවේ වාර්තා කරනු ඇත්තේ ද ආර්ථික පසුබෑමකි. දැඩි රාජ්‍ය මූල්‍ය සහ මහ බැංකුවේ දැඩි මූල්‍ය ප්‍රතිපත්ති හමුවේ මෙන්ම දේශීය සැපයුම් තත්ත්වයන්ට පවතින බාධා නිසා 2022 අවසන් කාර්තුවේ දී ද ආර්ථික ක්‍රියාකාරකම් පසුබෑමට ලක්ව ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. කෙසේ වෙතත් ආර්ථික පසුබෑම මුලින් අපේක්ෂා කළාට වඩා අඩු වනු ඇත.

මේ වසර (2023) ගතහොත් මේ වසරේ දීද ආර්ථිකයේ සංකෝචනයක් වනු ඇති බව අපේක්ෂා කෙරේ. එම සංකෝචනය සියයට 3 ට වඩා අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය මහ බැංකු මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය. ඔහු එසේ ප්‍රකාශ කළේ මේ ලියුම්කරු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. කෙසේ වෙතත් මහ බැංකුව නිල වශයෙන් මේ වසරේ ආර්ථික වර්ධනය ගැන පුරෝකථනයක් කර නැති බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය. කෙසේ හෝ මේ වසරේ (2023) ද වාර්තා කරනු ඇත්තේ ආර්ථික පසුබෑමකි. එහි බලපෑම් අති මහත් බහුතර ජනයාට අත්විඳීමට ලැබෙනු ඇත. මේ අනුව කාලෝචිත ලෙස නිවැරදි කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමත් සමග දේශීය සැපයුම් තත්ත්වයන්හි අපේක්ෂිත වැඩිදියුණු වීම මගින් මේ වසර (2023) තුළ දී ආර්ථිකය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වෙනු ඇති බව මහ බැංකුවේ අපේක්ෂාවයි. මේ අනුව මේ වසරේ (2023) දෙවන මාස හයේ සිට ආර්ථිකය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වීමක් අපේක්ෂා කළ හැකිය. ආර්ථික වර්ධනයක් සිදුවනු ඇත්තේ ලබන වසරේ (2024) සිටය. මේ නිසා මේ වසර (2023) ද අපට දුෂ්කර සහ තීරණාත්මක වර්ෂයක් වනු ඇත. විදේශ මුදල් ගලා ඒම තවදුරටත් වර්ධනය වනු ඇත.

● අයිඑම්එෆ් මූල්‍ය පහසුකම

මේ දිනවල තවත් කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවක් වන්නේ අයිඑම්එෆ් මූල්‍ය පහසුකම ලැබෙන්නේ කවදාද යන්නයි. මහ බැංකු අධිපතිවරයා මෙන්ම මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ද පවසා තිබුණේ දැන් අප සිටින්නේ එම මූල්‍ය පහසුකම ලබා ගැනීම සම්බන්ධයෙන් වන අවසන් අදියරේ බවයි. මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසන්නේ ද ශ්‍රී ලංකාවට සහය පළ කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකමේ මුල් වාරිකය නුදුරේදීම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා (26) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය භාර විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා ඇතුළු නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. එය සාර්ථක එකක් වූ බව පවසන මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා පවසන්නේ ඒ අනුව ශ්‍රී ලංකාවට සහය පළ කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය පහසුකමේ මුල් වාරිකය නුදුරේ දීම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි.

මෙම සාකච්ඡාවේ දී රාජ්‍ය ආදායම සහ ජනතාව මුහුණ දී සිටින අසීරුතා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි. එමෙන්ම ණය වාරික ලබා ගැනීම සම්බන්ධයෙන් තාක්ෂණික කාරණා පිළිබඳ සාකච්ඡාවට ද ලක් වීම සිදු විය. මෙසේ රජයේ සෑම පැත්තකින්ම අපට ඇසෙන්නේ ඉතා ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට හිමි වනු ඇති බවයි. බොහෝ දුරට ලබන මාසයේ දී හෝ මාර්තු මාසය අවසන් වීමට පෙර මේ මූල්‍ය පහසුකම මේ අනුව අපට ලැබීමේ ඉඩකඩක් තිබේ. ඒ සඳහා අපට ණය දුන් රටවල එනම් චීනය සහ ජපානය ඇතුළු පැරිස් සමාජයේ සහය අපට අවශ්‍ය වේ. ඔවුන් ද ප්‍රමාණවත් මට්ටමින් එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගන්නා මට්ටමින් සිය මූල්‍යකරණ සහතික වීම් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේ වුවහොත් අපට ඉතා ඉක්මනින් මූල්‍ය අරමුදලේ විධායක සභාව වෙත යොමු විය හැකිය. ඉන්දියාව ඔවුන් අපට දෙන ලද විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමබන්ධයෙන් සිය කැමැත්ත දැනටමත් මූල්‍ය අරමුදල වෙත පළ කර අවසන්ය. මේ නිසා ඉදිරි මාස දෙකේ මේ සුබ පණිවිඩය ලැබෙන තෙක් අපි බලා සිටිමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර සහ මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය විපුල වික්‍රමආරච්චි යන මහත්වරු ද ඇමැති සියඹලාපිටිය සමග මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment