ආර්ථිකය විෂයෙහි  බුදු දහමෙහි දැක්ම

135

බුදු දහම වූ කලී නිරාමිෂ විමුක්තියක් වෙනුවෙන් මඟ පහදා දෙන දහමකි. එබඳු දහමක ආර්ථිකය පිළිබඳ ඉගැන්වීමක් හෝ ප්‍රකාශනයක් ඇත්දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. මෙලෙසින් යමෙක් සිතන්නේ නම් එබඳු අය බුදු දහමෙහි එන ඉගැන්වීම් පිළිබඳ අවබෝධයක් ඇති අය නොවේ. එසේම බුද්ධ දේශනාවන් හි එන ආර්ථිකය සම්බන්ධ ඉගැන්වීම් කාර්මික, තාක්‍ෂණික දියුණුවක් ඇති අදට නොගැලපෙනවා යැයි ද සිතෙන්නට ඉඩ ඇත. එබැවින් මවිසින් මෙම කෙටි ලිපිය තුළින් අදහස් කරනුයේ ආර්ථිකය පිළිබඳ බුදු දහමෙහි දක්නට ඇති දැක්ම බුද්ධ දේශනා ඇසුරින් කෙටියෙන් පැහැදිලි කිරීමටයි.

ආර්ථිකය විෂයෙහි  බුදු දහමෙහි දැක්ම

බණ්ඩාරගම, කිඳෙල්පිටියේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාමාධිකාරී ජගද්දලා සමාජ සුබසාධක ආයතනාධිකාරී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලාන්තර්ගත දහම් සරසවියේ කථිකාචාර්ය
 රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, පූජ්‍ය අගලවත්තේ ඤාණවිමල හිමි
 
 රටක ආර්ථිකය ශක්තිමක් නොවූ කල්හි එරටෙහි ජනතාවට ආගම දහම පිළිබඳ ඇති උනන්දුව, ආධ්‍යාත්මික විමුක්තිය පිළිබඳව සිතීමට පහසු නොවේ. මක්නිසාද යත් මූලික මිනිස් අයිතිවාසිකම් සියල්ල අභිබවා සිටින බැවිනි. අප ඉතිහාසය විමර්ෂණය කිරීමේදී පවා පෙනී යන ප්‍රධාන කරුණක් නම් රට සශ්‍රීක නොවූ කල්හි නොයෙකුත් දුරාචාර ක්‍රියාවන්වලින් රට අරාජික වී ඇති ආකාරයයි. එබැවින් දුටුගැමුණු රජතුමා පවා යුද්ධයට යෑමට පෙරාතුව ගොවිතැන් ආදි කටයුතු සද්ධාතිස්ස කුමරුන්ට පවරා ඇත්තේ ආර්ථිකයේ ඇති වැදගත්කම ප්‍රථමයෙන් තේරුම් ගත් නිසාවෙනි. එබැවින් රටක දියණුවට, පැවැත්මට ආර්ථිකය ප්‍රබල ලෙස බලපානු ලබයි. බෞද්ධ ආර්ථිකය (Buddhist Economic) යන මෙම මාතෘකාව පිළිබඳ විමසීමේදී ඉතා වැදගත් වන මූලාශ්‍ර ලෙස ගත හැකි සූත්‍ර රැසක් ත්‍රිපිටකයේ දක්නට ඇත. ඒ අතර ඉතා ප්‍රසිද්ධ සූත්‍ර කිහිපයක් වන සිඟාලෝවාද සූත්‍රය, කූටදන්ත සුත්‍රය, චක්කවත්තිසීහනාද සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය, පත්තකම්ම වැනි සූත්‍ර ඉතා වැදගත් වේ. පත්තකම්ම සූත්‍රයට අනුව “භෝගා මේ උප්පජ්ජන්තු සහධම්මේන” ධාර්මික භවභෝග මා කෙරෙහි වේ නම්, යන්න මිනිසා තුළ දක්නට ලැබිය යුතු මූලික ලක්‍ෂණවලින් එකක් ලෙස දක්වා ඇත. ආර්ථිකය පුද්ගලයා හා රාජ්‍ය සම්බන්ධයෙන් තීරණාත්මක බලවේගයක් වශයෙන් පවතින බවට ද බුදුරජාණන් වහන්සේ තුළ මනා අවබෝධයක් පැවතුනි. ආර්ථිකය ස්ථිර වශයෙන්ම කුලය හෝ වර්ණයට වඩා ප්‍රබල සමාජ බලවේගයක් වේ. එබැවින් ආර්ථිකය සමාජයේ විෂයෙහි කවර බලපැමක් ඇති කරන්නේ දැයි පැහැදිලි විවරණයක් අග්ගඤ්ඤ සූත්‍රයෙහි සඳහන් වේ. කෙනෙකු උපයන ධනය ඔහුගේ ශ්‍රමයට තරම් ප්‍රමාණවත් නොවන කල, ඔහු මහත් විපිළිසර බවට පත්වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. “මහණෙනි, ධෛර්යය වඩවා වීර්යෙන් නැගී සිට වෙහෙසෙන තරුණයෙකුට භෝග නූපන් කල, ඔහු දෑතෙන් පපුවට ගසමින් හඬතලමින් දුක්වෙයි, මුසපත් වෙයි. එමතු ද නොව ඔහු මෙසේ ද සිතයි. මාගේ සියලු උත්සාහයන් ප්‍රතිඵල රහිතය” යනාදී වශයෙන් කනගාටුවට, ශෝකයට පත්වන බව රට්ඨපාල සූත්‍රයේදී පැහැදිලි කර ඇත. ඒ අනුව පුද්ගලයා ධනය පසුපස හඹා යයි. එහෙත් මෙහිදී අප විසින් තේරුම් ගතයුතු කරුණක් නම් ජීවත්වීම සඳහා ප්‍රමාණවත් ධනයක් පුද්ගලයකු සතු විය යුතුය. නොඑසේ නම්, නොයෙකුත් ගැටලුකාරි තත්ත්වයන්වලට මුහුණ පෑමට ධනය නොමැතිකම හේතුවක් වේ. බොහෝ විට ධනය මිනිසුන් නොමග යවන අවස්ථා ද ඇත. පසේනදී කොසොල් රජතුමා පවසන අන්දමට ධන සම්පත් ලැබී ඉන් මුලා නොවන, මත් නොවන අය ඇත්තේ ඉතා ස්වල්ප පිරිසක් බවය. මෙම අදහස බුදුරජාණන් වහන්සේ ද ප්‍රතික්ෂේප කර නැත. ත්‍රිපිටකයේ එන සූත්‍ර ඇසුරින් ආර්ථිකය හා සම්බන්ධ වැදගත් වන සූත්‍ර දේශනා ගෘහපතියන්ට, රජුන්ට, ඇමැතියන්ට, ගොවීන්ට, වෙළෙන්දන්ට, කර්මාන්තකරුවන්ට, භාණ්ඩාගාරික, වෛද්‍ය, සේව්‍ය හා සේවක, ගුරු ශිෂ්‍ය, මව්පිය දූ දරු ආදී සමාජයේ සෑම අංශයක් කෙරෙහිම වෙන් වෙන් වශයෙන් හා පොදු වශයෙන් වැදගත් කරුණු මෙසේ දේශනා කොට ඇත. රටකට නායකත්වයක් සපයන රජතුමා පවා ආර්ථිකය පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු නොකරන්නේ නම්, එරටෙහි ආර්ථිකය විනාශ වී රට අරාජික බවට පත්වන බව කූටදන්ත, චක්කවත්තිසීහනාද වැනි සූත්‍රවලින් පැහැදිලි කර දී ඇත. බුදු දහම තුළ ආර්ථික විෂයෙහි කරුණු පහක යටතේ උපයෝගීතාවාදී දෘෂ්ටිකෝණයක්  අනුගමනය කර ඇති බව ධනඤ්ජානි සූත්‍රයේ එන කරුණු තුළින් පැහැදිලි වේ. එනම්,
 
 01. තමන් තෘප්තිමත් බවට පත්වීම. 02. අනුන් තෘප්තිමත් බවට පත්කරවීම. 03.ස්වකීය ආරක්‍ෂාව. 04. රාජ්‍ය අවශ්‍යතාව.
 
 05. පුණ්‍ය කටයුතුවල නියැලීම.
 
 ධනය ඉපයීමේ හා පරිභෝජනයේදී බුදු දහමෙහි දක්වා ඇති ආකාරය ඉහත කරුණු පහෙන් පැහැදිලි වේ. උපයාගන්නා ධනය වියදම් කිරිමේ ක්‍රම තුනක් ඇත. තමාගේ ප්‍රයෝජනයට හෝ අනුන්ගේ ප්‍රයෝජනය පිණිස වියදම් නොකොට ගොඩ ගසා ගත හැකිය. දෙවනුව අනුන්ට දීමට හෝ පිනට වියදම් නොකොට තමා පිනවීමට පමණක් වියදම් කළ හැකිය. තුන්වෙනුව තමා පිනවීමත්, අනුන් පිනවීමත්, අනුන්ට දීමටත්, පින් කිරීමටත් ධනය වියදම් කළ හැකිය. ධන පරිභෝජනය පිළිබඳ සුප්‍රකට බුද්ධ දේශනයක් මෙහිදී මතකයට නගා ගත හැකිය. එනම්, උපයා ගත් ධනය කොටස් හතරකට බෙදා පරිභෝජනය කිරීමයි. ඉන් එක කොටසක් එදිනෙදා කටයුතුවලට වියදම් කළ යුතුය. (එකේන භෝගේ භුඤ්ජ්‍යෙය) කොටස් දෙකක් කර්මාන්තයන් හි ආයෝජනය කළ යුතුය. (ද්විහි කම්මං පයෝජයෙ) සතර වැනි කොටස හදිසි ආපදාවන් හිදී ප්‍රයෝජනයට ගැනීමට ආරක්‍ෂා කොට තබා ගත යුතුය. (චතුත්ථම්පි නිධාප්‍යෙය ආපදාසු භවිස්සති). බුදුරජාණන් වහන්සේ මෙම ප්‍රකාශනය කිරිමට පෙර මෙසේ වදාරා ඇත. “මල නොතලා පැණි ගන්නා බඹරකු සේ අනුන් නොතලා ධනය උපයන්නාගේ සම්පත් වේ ගුලක් වැඩෙන්නාක් මෙන් වැඩේ” යනුවෙන් දේශනා කොට ඇත. වර්තමාන සමාජයට ද මෙම ප්‍රකාශනයන් අතිශය වැදගත් වේ. අනෙක් පුද්ගලයන්ට කුමක් වුවත් ධනය මත සියල්ලම තීරණය කර ගනිමින් ආත්මාර්ථකාමීව කටයුතු කිරීම හානිකර බව මින් පැහැදිලි වේ. එසේම රටක ජනතාවට ප්‍රමාණය ඉක්මවා බදු බර පැටවීම ආදිය බුදු සමය අනුමත නොකරයි. ඉන් ජනතාව තුළ ඇති සාමය, සදාචාර සම්පන්න බව නැතිවීමට හේතුවක් වන බව බුද්ධ දේශනාවන් මග පෙන්වයි. ගෘහස්ථ ආර්ථිකය පාලනය කිරීම විෂයෙහි කාන්තාවට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. ස්වාමියා උපයන ධනය මැනවින් කළමනාකරණය කර වියපැහැදම් කිරීමේ වගකීමක් භාර්යාවකට ඇත. යම් කෙනෙක් ධනය නිසි අයුරු භාවිත නොකිරීමෙන් විනාශ වීමට ලක්වන කාරණාවන් පිළිබඳ සිඟාල සූත්‍රයේ සඳහන් වේ. එනම්, සුරාලොල් බව, නුසුදුසු වේලාවන් හි නිරන්තර ගමන් බිමන්වල යෙදීම, සැණකෙළි සංදර්ශනවලට කාලය නාස්ති කිරිම, පාප මිත්‍ර ආශ්‍රය හා අලසකම යන කරුණුය. මේවායේ ඇති ආදීනවය ද එම සූත්‍රයේදී වැඩිදුරටත් අවධාරණය කර ඇත. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ එන තවත් කාරණා කිහිපයක් මෙහිදී සිහිපත් කරනු කැමැත්තෙමි. අපාය මුඛ සතරක් වශයෙන් ධනය විනාශ වන අයුරු පැහැදිලි කර ඇත. එනම්, ස්ත්‍රීන් කෙරෙහි ලොල්වීම, මත්පැනෙහි ලොල් වීම, සූදුවෙහි ලොල් වීම සහ පාප මිත්‍ර ආශ්‍රය යන කරුණුය. මේවා තුළින් ධනය විනාශවීම සිදුවේ. යම්කිසි කෙනෙක් ඉහත ලක්‍ෂණවලින් තොරව කටයුතු කරන්නේ නම් ඔහුගේ ධනය මැනවින් ආරක්‍ෂා වේ. අවස්ථානුකුලව ඉන්ද්‍රියන් පිනවනු ලබන ගිහි පුද්ගලයා විසින් දිනා ගත යුතු සැප සතරක් ඇතැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. එනම්,
 
 01. අත්ථි සුඛය – ධර්මානුකූලව උපයා ගත් ධනයක් ඇති බව යන සතුට තුළින් ඇති වූ සැපය. 02. භෝග සුඛය – එසේ උපයාගත් ධනය තමා ද ප්‍රයෝජනයට ගනිමින් පින් දහම්වල යෙදෙමියි ඇති වන සතුට තුළින් උපදවාගන්නා සැපය. 03. අණන සුඛය -කිසිවකුට ණය නැතුව සිටිමියි යන සතුට තුළින් ඇතිවන සැපය. 04. අනවජ්ජ සුඛය – සිතින්, කයින්, වචනයෙන් නිවැරදි ජීවිතයක් ගත කරමියි යන සතුට තුළින් ඇතිවන සැපය.
 
 යනාදී වශයෙන් සතුටක් ඇතිව ධනය පරිභෝජනය කිරීමට ඉඩකඩ ඇත්නම් එය ඉතා භාග්‍යයකි. ආර්ථික විෂයේ පුද්ගලයකු පැසසීමට ලක්වන කාරණා හතරක් පිළිබඳ රාසිය සූත්‍රයේ දක්වා ඇත. ඒ කරුණු නම්, නිෂ්පාදනය, පරිභෝජනය, බෙදා හැරීම හා පරිභෝජන දර්ශනය යන කරුණු හතරයි. සාහසික බවින් තොරව ධනය ඉපැයීමත් තමා සැපතට හා පිනවීමට පත්වීමත් එනම් තෘප්තිමත් කර බවය. දන් දීම් ආදී වශයෙන් ධනය බෙදා දීම හා පින් දහම් හි නියැලීම ද ධන සම්පත්වල නොඇලී මුසපත් භාවයට පත් නොවී ආදීනව දක්නා නුවණින් යුතුව නෙක්ඛම්ම කල්පනාවෙන් පරිභෝජනය කිරීම් ආදී කරුණු මෙම සූත්‍රයේ එන කරුණු හතරින් අවධාරණය කර ඇත.
 
 රාජ්‍ය ආර්ථික සංවිධානය තුළදී පුද්ගලයාගේ ආර්ථික ක්‍රියාමාර්ග මෙන්ම රාජ්‍ය මට්ටමෙන් ක්‍රියාත්මක විය යුතු ආර්ථික ක්‍රියාමාර්ග පිළිබඳව ද බුදු දහම අවධාරණය කරනු ලබයි. දස රාජ ධර්ම අතර දානය නමින්ද, පරිත්‍යාගය නමින්ද දැක්වෙන්නේ ජනතාව වෙත කෙරෙන ආර්ථිකමය කැපකිරීම ය. දස සක්විති වත් අතර නිර්ධනයන්ට ධනය පරිත්‍යාග කළ යුතු බව උගන්වා ඇත. එහෙත් එය සහනාධාර වශයෙන් කරනු ලබන පරිත්‍යාගයක් නොවිය යුතුය. එය ආර්ථිකයේ ස්ථාවර භාවය පදනම් කරගෙන සැලසුමක් යටතේ ප්‍රදානය කළ යුත්තකි. සැලසුමක් නොමැතිව ධනය පරිත්‍යාග කිරිමත්, දඬුවම් පැමිණවීමත් වැරදි ප්‍රතිඵල ගෙන දීමට හේතු වේ. මෙයට කදිම උදාහරණයක් ලෙස චක්කවත්තීසීහනාද සූත්‍රයේ එන කරුණක් සඳහන් කරමි. එහි එන සඳහනට අනුව දස සක්විත් වත් දැනගත් රජතුමා තමාගේ රටෙහි සියලු ආරක්‍ෂාවන් සැලසුවත් නිර්ධනයින්ට ධනය දීම නොකළේය. එහි ප්‍රතිඵලය වූයේ දිළිඳු බව වර්ධනය වී සොරකම ඇතිවීමයි. සොරුන් අල්ලා සොරකම් කිරීමට හේතුව කුමක්දැයි විමසූ කල, ජීවත් වීමට නොහැකි නිසා බව ඔවුන් ප්‍රකාශ කර ඇත. ඉන් අනතුරුව රජතුමා ධනය දී ඔබ ද අඹුදරුවන් ද පෝෂණය වී කර්මාන්තවල ද යෙදී මහණ බමුණන්ට දන්දී සුගතිගාමී වන්න යැයි කියා ධනය දෙයි. මේ අයුරින් සොරකම් කරන අයට රජතුමා ධනය දෙන බැවින් රජුගෙන් ධනය ලබාගැනීම සඳහාම සොරකම් කර රාජපුරුෂයන්ගේ අත්අඩංගුවට පත්වීය. මෙයින් රජතුමාට ද ප්‍රමාණය ඉක්මවා ධනය දීමට සිදු වූ නිසාත් මෙය හිතාමතාම සිදුකරන නිසාවෙනුත් රජුගෙන් ධනය ලබාගැනීමේ අරමුණෙන් සොරකම් කරන්නවුන්ගේ හිස ගසා දැමීමට රජතුමා නියම කරන්න යෙදුනි. රජුගේ මෙකී ක්‍රියාවෙන් ප්‍රයෝජනය ගත් සාමාන්‍ය පුද්ගලයෝද, අපි ද අවිආයුධ තනා අනෙක් අයවලුන් නසා හෝ ධනය සොරකම් කරමු යැයි කල්පනා කොට අවිආයුධ තනා ගත්තේය. අනුන් නසමින් ගම් නියම්ගම් වනසමින් නොයෙකුත් දුෂණ, අක්‍රමිකතා සිදුකළ බව සඳහන් වේ. මෙයින් පෙනී යන්නේ ධනය අවිධිමත්ව සාමාන්‍ය ජනයාට ලබාදීමත්, දඬුවම් ආදිය පැණවීමත්ම රටක ආර්ථික දියුණුවට හේතුවක් නොවන බවය.
 
 බෞද්ධයින්ට පරමාදර්ශී සංස්ථාව වනුයේ සංඝ සංස්ථාවයි. එම සංඝ සංස්ථාවේ පරිභෝජන න්‍යායට අනුව චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිව් පසයන් මනා අවබෝධයෙන් භාවිත කිරීම ආර්ථිකය කළමනාකරණය කෙරෙහි ද යොදා ගත හැකිය. එම සිව් පසය භාවිත කිරිමේදී භික්‍ෂුවක් එම සම්පත් භාවිත කරන්නේ කුමන කරුණු පදනම් කරගෙන දැයි මනා සිහිබුද්ධියෙන් යුතුව දැන හඳුනාගෙන කටයුතු කරනු ලබයි. සීමිත සම්පත් ප්‍රමාණයක් ඇති මේ මිහිතලයේ අසීමිත ආශාවන් පසුපස අතෘප්තිකර ස්වභාවයෙන් මිනිසා හඹා යයි. “න කහාපන වස්සේන තිත්ති කාමේසු විජ්ජති” කහවනු වැසි වැස්සත් තෘෂ්ණා භරිත වූ පුද්ගලයා ඉන් සෑහීමකට පත් නොවේ. එබැවින් බුදු රජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට වදාළ පරිදි ධනය යනු “සර්පයකු” මෙන් දැන හඳුනාගත යුතු බවයි.
 
 මෙම සියලු බුද්ධ දේශනා විමසුම් ඇසින් බැලූ කල පෙනී යන්නේ ආර්ථිකය යනු එක් විෂයක් ක්ෂේත්‍රයකට අදාළ කාරණාවක් නොවන බවය.
 
 ගෘහස්ථ ආර්ථිකයේ පටන් රාජ්‍ය ආර්ථිකය දක්වා මනා කළමනාකාරීත්වයක් යටතේ සංවිධානය වීම අත්‍යවශ්‍යය. ඒ සඳහා බුද්ධ දේශනා මනා උපදේශකත්වයක් ලබාදේ. අපරදිග ආර්ථික විද්‍යාඥයකු වූ මහාචාර්ය ඊ.එෆ්. ෂූමාකර් Small is Beautifull නමැති ග්‍රන්ථයේදී ලෝකයේ ඇති ශ්‍රේෂ්ඨතම සහ අග්‍රගන්‍ය වූ ආර්ථික දර්ශනය ඇත්තේ බුදු දහමෙහි ආර්ථික දර්ශනය තුළ බව සඳහන් කර ඇත. එහෙත් කනගාටුවට කරුණ නම් බුදු දහමෙහි එන ආර්ථික දැක්ම බුදු දහම පවත්නා රටවල පවා ප්‍රායෝගිකව යොදා නොගැනීමයි. බුදු දහමෙහි ආර්ථික දියුණුව ලෙස හඳුන්වා අත්තේ බාහිර දියුණුව මෙන්ම ආධ්‍යාත්මික දියුණුව ද පදනම් කරගෙනය. තිරසාර සංවර්ධනය යනු ද එයම වේ.
 
 මෙම දහම් පඬුරේ බැතිබර දායකත්වය දරනු ලබන්නේ
 
 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන්
 
 නිෂ්පාදකයින් වන DSI නිවසිනි.
 
 සම්බන්ධීකරණය – අචලා ඉරෝමි
 
 

advertistmentadvertistment
advertistmentadvertistment