ආර්ථික අගාධයේ ඇත්ත චිත්‍රය…

311

දැන් අපට වඩාත් වැදගත් වන්නේ එම අතීත වැරදි නිවැරදි කරගනිමින් වත්මන් ආර්ථික අගාධයෙන් රට ගොඩගත හැකි ක්‍රියාමාර්ගයන් ගැන අවධානය යොමු කිරීමයි. ඒවා වේගවත්ව සහ කාර්යක්ෂමව අනුගමනය කිරීමයි. එහෙත් දැන් ඉතුරුව ඇත්තේ වේදනාකාරී විසඳුම් මාර්ගයන් පමණි. මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ද රටට කරුණු පැහැදිලි කර ඇත.

● ආර්ථික අගාධයේ හේතු

වත්මන් ආර්ථික අර්බුදය සමනය කර ගැනීම ගැන මෙන්ම මේ ආර්ථික අගාධයට රට වැටීම ගැන බොහෝ අයට විවිධ අදහස් තිබේ. මේ අර්බුදයට සෘජුවම වගකිවයුත්තන් තම ආරක්ෂාවට නොයෙකුත් අදහස් පළ කරමින් ද සිටී. ඒ ගැන අපට පුදුමයක් නැත. එසේම දේශපාලන පක්ෂ හා කණ්ඩායම් මෙන්ම ඒවායේ නියෝජිතයින් ද මේ ගැන අදහස් දක්වනුයේ මධ්‍යස්ථව නොවන බව පැහැදිලිය. ඔවුන් කියන කරුණුවල සත්‍ය තිබුණත් ඔවුන් බොහෝ විට මෙහි වගකීම තම විරුද්ධ දේශපාලන පක්ෂවලට පටවන්නට උත්සාහ දරමින් සිටී. මේ අනුව ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අය මේ වගකීම පසුගිය යහපාලන ආණ්ඩුව මත ද තවත් දේශපාලන කණඩායම් මෙය තනිකරම ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව මත පමණක් පටවන්නට ද උත්සාහ දරමින් සිටී. එහෙත් ඇත්ත මේ දෙකම නොවේ. බොහෝ දුරට ස්වාධීන අර්ථ ශාස්ත්‍රඥයින් පවසන්නේ දිගුකාලීන හේතු මෙන්ම කෙටිකාලීන එනම් ආසන්න හේතු යන දෙකම මේ සඳහා හේතු වී ඇති බවයි. මේ හේතු ගැන අප දැනටමත් සාකච්ඡා කර ඇති අතර තවත් බොහෝ දෙනෙක් මේ ගැන මධ්‍යස්ථ පැහැදිලි කිරීම් සිදුකර ඇත. අපට මෑත අතීතය ගැන මෙන්ම ඈත අතීතය ගැන ද හොඳ මතකයක් තිබේ. දිගුකාලීනව පැවති ආර්ථිකයේ ව්‍යුහාත්මක හේතු කොරෝනා වසංගතයෙන් උග්‍ර වූ බව ද ඇත්තය. එසේම ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් පැවැති රජයේ වැරදි ප්‍රතිපත්ති සහ අදූරදර්ශී පාලනය මෙන්ම නිසි වෙලාවට නිසි තීන්දු තීරණ නොගැනීම විසින් අප මේ ආර්ථික අගාධයට ඇද දමා තිබේ. දැන් තරමක් දුරට ආර්ථික තත්ත්වය ස්ථාවර කරගෙන තිබේ. එහෙත් තවමත් අපි එහි ඇලී ගැලී සිටිමු.

● වේදනාකාරී විසඳුම්

දැන් අපට වඩාත් වැදගත් වන්නේ එම අතීත වැරදි නිවැරදි කරගනිමින් වත්මන් ආර්ථික අගාධයෙන් රට ගොඩගත හැකි ක්‍රියාමාර්ගයන් ගැන අවධානය යොමු කිරීමයි. ඒවා වේගවත්ව සහ කාර්යක්ෂමව අනුගමනය කිරීමයි. එහෙත් දැන් ඉතුරුව ඇත්තේ වේදනාකාරී විසඳුම් මාර්ගයන් පමණි. මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ද රටට කරුණු පැහැදිලි කර ඇත.

අපේ අයට අතීතය අමතක වීමේ පොඩි ලෙඩක් තිබේ. මේ අනුව බලන විට මේ වසරේ (2022) මාර්තු සහ අප්‍රේල් මාස වන විට රටේ තිබූ තත්ත්වය දැන් බොහෝ දෙනකුට අමතක වී ඇති බවක් ද පෙනේ. කිලෝමීටර් ගණන් දිග තෙල් පෝලිම් අපට අමතකය. ඒවායේ දවස් ගණන් දුක් විඳීමට ජනයාට සිදු වූ බව අපට අමතකය. ඇතැම් අය තෙල් පෝලිමේ වාහනවලට වී සිටියදී මරණයට ද පත් වූ බව අපට අමතකය. තෙල් පෝලිම්වල ඇති වූ රණ්ඩු මෙන්ම ඉන්ධන බෙදීමේ අවභාවිතය නිසා මෙන්ම අනීතික ලෙස පෙට්‍රල් සහ ඩීසල් විකිණීම නිසා ඇති වූ ඉන්ධන කළුකඩ ද අපට අමතකය. ඇතැම් විට කළුකඩ මිලටවත් තෙල් ටිකක් සොයා ගැනීමට නොහැකිව අපහසුවට පත් වූ බව ද අපට අමතකය. ප්‍රවාහන අපහසුතා නිසා ඇති වූ අස්වනු විකුණා ගැනීමේ ගැටලු, වෙළෙඳ පොළට කලට වෙලාවට බඩු ප්‍රවාහනය කිරීමට නොහැකිවීම සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟකම යනාදිය නිසා මුදලටවත් අවශ්‍ය භාණ්ඩ ගැනීමට නොහැකි වීම ගැන අපට අමතකය. තෙල් නොමැතිව ලෙඩකටවත් ඉස්පිරිතාලෙට යෑමට නොහැකිව ගෙදරම ඇතැම් රෝගීන් මිය ගියේය. ඒ බව ද අපට මතක නැත. ව්‍යාපාර කර ගැනීමට තෙල් නොමැතිව ඇති වූ අපහසුතා, ගොවිතැන් කර ගැනීමට තෙල් නොමැතිව ගොවියන් නැඟූ දුක් අඳෝනා, ඩොලර් නොමැතිකම නිසා ගුවන් සමාගම් අප රටට පියාසර කරන වාර ගණන අඩු කිරීම, පිටරටවල සිටින පවුලේ අයට අප රටට ඒමට තිබූ අපහසුතා සහ අපට පිටරට යෑමට ඇති වූ අපහසුතා, දරුවන් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලවලට යවා ගැනීමේදී බැංකුවලින් විදේශ විනිමය ලබා ගැනීමට තිබූ අපහසුතා සහ පැය 10-12 විදුලි කප්පාදු කිරීම නිසා විඳි දුක් ගැහැට, මේ සියල්ලම දැන් අපට අමතකය. ඇත්ත වශයෙන්ම මේ කිසිවක් අපට මතක නැතුවා නොවේ. අපට මේ සියල්ලම මතකය. අපට මේ අත්දැකීම ලැබී තිබේ. මෙකී නොකී දුෂ්කරතා රැසක් අප විඳ තිබුණත් දැන් ජනයා තාවකාලිකව ඒවා අමතක කර දැන් කතා කරන්නේ ඒ ගැන නොව වර්තමානයේ ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා ගැනය. රට බංකොලොත් වීම සම්බන්ධයෙන් වර්තමාන මහ බැංකු අධිපතිට ද චෝදනා කරමින් ඇතැමුන් කතා කරනු පෙනේ.

මේ සියල්ලටම ප්‍රධාන හේතුව වූයේ රටට විදේශ මුදල් නොමැතිවීමයි. රටේ විදේශ විනිමය සංචිත බින්දුවටම පිරිහීමයි. එසේ තිබියදී ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය රු. 203 ක මට්ටමේ රැකගෙන සිටියාට වැඩක් වූවා ද? අන්තිමට සිදු වූයේ එය අතහැර දැමීමට ය. එනම් විදේශ සංචිත වාෂ්ප වී අන්තිමට විනිමය අනුපාතය රු. 380 කටත් වැඩි අගයකට පිරිහී ගියේය. මේ නිසා දිනෙන් දිනම බඩු මිල වේගයෙන් ඉහළ ගොස් උද්ධමනය අද පවතින සියයට 70 ක මට්ටමට වැඩි විය. කෙසේ හෝ පැවති රජයන්ගේ අදූරදර්ශී ආර්ථික කළමනාකරණය නිසා රට විශාල විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී අන්තිමට විදේශ ණය ගෙවීම පවා අත්හිටුවීමට ද සිදු විය. ඒ සම්බන්ධයෙන් ද වත්මන් මහ බැංකු අධිපතිට ඇතැමුන් චෝදනා කරනු පෙනේ. විදේශ ණය ගෙවීම අත්හිටුවීමට එවෙලේ මහ බැංකුව නිර්දේශ කළා විය හැකිය. එහෙත් එය කළේ මහ බැංකුව විසින් හෝ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් නොව මුදල් අමාත්‍යාංශය ප්‍රමුඛ රජය විසිනි. එය පාර්ලිමේන්තුවට වාර්තා කිරීමේ වගකීම ඇත්තේ රජයට ය. ඒ අවස්ථාවේ සිටි මුදල් ඇමැතිවරයාට ය. අප දන්නා පරිදි නම් මේ ගැන එවකට සිටි මුදල් ඇමැති අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවට මේ ගැන විශේෂ ප්‍රකාශයක් කළේය. ඒ අවස්ථාවේ සබ්රි මුදල් ඇමැතිවරයා කටයුතු කරමින් සිටි ආකාරය ගැන ද අපට ගෞරවයක් තිබේ. මුලින්ම අපගේ විනිමය අර්බුදය විසඳීමට අයිඑම්එෆ් ගියේ වත්මන් ජනාධිපතිවරයා පත් වීමට ද පෙර ගෝඨාභය රාජපක්ෂ රජය යටතේය. බැසිල් රාජපක්ෂ මහතාගෙන් පසුව මුදල් ඇමැති වූ සබ්රි මහතා එම කෙටි කාලයේ දී විශිෂ්ට ලෙස ක්‍රියා කළ බව අපගේ අදහසයි.

එදා රට මේ තරම්ම විනිමය අර්බුදයක තිබියදී ඩොලර් මිලියන 500ක ස්වෛරීත්ව බැඳුම්කරයක් ගෙවා දැමීමට පසුගිය රජය යටතේ එවකට මහ බැංකුව කටයුතු කිරීම ගැන ද බොහෝ විවේචන ඉදිරිපත්ව ඇත. සාමාන්‍යයෙන් ණයක් ගතහොත් එය ගෙවිය යුතු බව ඇත්ත ය. එහෙත් පවුලේ ප්‍රධානියාට එනම් තාත්තාට යම් ණය මුදලක් යම් දිනයක පියවීමට, ගෙවීමට ඇත්නම් සහ එය ගෙවා දැමූ පසුව නිවසේ සාමාජිකයන්ට කෑමබීමට පවා මුදල් නොමැති තත්ත්වයක් ඇති වෙනවා නම් එසේම නිවසේ ඉන්න කිරි දරුවාට කිරිටික දීමට සහ බෙහෙත් ටික ගැනීමට පවා නොහැකි තත්ත්වයක් ඇති වෙනවා නම් අප කළ යුත්තේ කුමක් ද? අප කළ යුත්තේ ණය හිමියන් සමග කතා කර යම් ණය සහනයක් ඉල්ලා ගැනීමට ක්‍රියා කිරීමයි. ණය ගෙවීමට තවත් කාලයක් ඉල්ලා ගැනීමයි. එසේ නොකර පවුලේ සාමාජිකයන්ට කන්නට බොන්නට පවා නොහැකි වන පරිදි ණය ගෙවීම එවැනි මොහොතක සුදුසු පිළිවෙතක් නොවේ. රටක් සම්බන්ධයෙන් ද මේ ආකාරයටම අපට කල්පනා කළ හැකිය. එවෙලේ මේ ලියුම්කරු පවා ප්‍රකාශ කළේ එදා ඩොලර් මිලියන 500ක ස්වෛරීත්ව බැඳුම්කරය පියවීම හොඳ දෙයක් බවයි. එදා රටට පෙන්වා දී තිබූ චිත්‍රය අනුව අපට ද වැටහුණේ එවැන්නකි. එහෙත් එම අවස්ථාවේදී අප රට මුහුණ දී සිටි විදේශ විනිමය අර්බුදයේ බරපතළකම ගැන හොඳින්ම දැන සිටියේ එවකට රජය සහ මහ බැංකුව බව අපගේ අදහසයි.

රජය සහ මහ බැංකුව හැර ඒ ගැන වෙනත් පාර්ශ්වයන්ට එතරම් අවබෝධයක් නොමැති විය. එසේ වෙන්නට හේතුවක් වූයේ ද විනිමය අර්බුදයේ ඇත්ත චිත්‍රය එනම් අප මුහුණ දී සිටි විනිමය අර්බුදයේ බරපතලකම ගැන නියම තත්ත්වය නොපෙන්වීම නිසා විය හැකිය. අරගලය අතරතුර කැබිනට් මණ්ඩලය අස් වූ අවස්ථාවේ හිටපු මුදල් ඇමැතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා ද ස්ව කැමැත්තෙන්ම ඉල්ලා අස්වූයේය. ඇත්තවශයෙන්ම දිගුකාලීන හේතු සමග පසුගිය රජය නිසි ප්‍රතිපත්ති අනුගමනය නොකිරීම නිසා උග්‍ර වූ විනිමය අර්බුදය හමුවේ රට වැටී තිබූ වළේ ගැඹුර හොඳින්ම දැන සිටියේ එවකට සිටි ආර්ථික බලධාරීන්ම මිස අප නොවේ. එහෙත් ඇතැම් ස්වාධීන අර්ථශාස්ත්‍රඥන් එවකට රට වැටී තිබූ තත්ත්වය ගැන බොහෝ අනතුරු ඇඟවීම් කළේය. මේ ලියුම්කරු ද වත්මන් මහ බැංකු අධිපතිවරයා පත් වීමට පෙරම අපගේ විනිමය අනුපාතය ඒ අවස්ථාවේ නම්‍යශීලී කිරීමේ අවශ්‍යතාව මෙන්ම අයිඑම්එෆ් සහාය වහාම ගත යුතු බවද අපගේ ලිපි මගින් මෙන්ම සියත රූපවාහිනිය ඇතුළු වෙනත් විද්‍යුත් මාධ්‍ය සාකච්ඡාවලදී ද ප්‍රකාශ කරන ලදි. ගෝඨාභය රජයේ වෙනත් වැරදි ප්‍රතිපත්ති ද අප සඳහන් කරන ලදි. එහෙත් ඒ සියල්ලම බීරි අලින්ට සිදු කළ වීණා වැයීම් පමණක්ම විය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සිට එම රජයේ බලධාරීන්ගේ උද්දච්ච ප්‍රකාශ අපට හොඳට මතකය. ඔවුන් වැපිරූ දෙයෙහි ප්‍රතිපල රටටත් ජනයාටත් මුහුණ දීමට සිදුව තිබේ. එදා රට මේ තත්ත්වයට පත් කිරීමට වගකිව යුතු අය අද යළි කරළියට පැමිණ තිබේ. ඔවුන් දැන් රට මේ පත්වී ඇති ආර්ථික අගාධය ගැන නොයෙකුත් අර්ථකථන ඉදිරිපත් කරමින් ද සිටී. එසේ කිරීමට ඔවුන්ට හැකිව ඇත්තේ ද අද වන විට රට යම්කිසි මට්ටමකට ආර්ථික ස්ථාවර තත්ත්වයකට පත්ව තිබීම නිසාය. නැතහොත් මාධ්‍යයට කතා කරනවා තබා ගෙදරක ඉන්නට, හිටින්නටවත් මේ අයට ඉඩ ලැබෙනවා ද යන ප්‍රශ්නය අපට තිබේ. මේ නිසා රටේ ජනතාව පරිස්සම් විය යුතුය. අතීතය විශේෂයෙන්ම මෑත අතීතයේ ඔබ විඳි දුක් ගැහැට ඔබ අමතක කළ යුතු නැත. රාජ්‍ය පාලනයේ මෙන්ම ආර්ථික කළමනාකරණයේ වැරදි සිදු වී තිබේ. අප දැන් කළ යුත්තේ එම වැරදි නිවැරදි කරනවාට අකුල් හෙළන්නේ නැතිව ඒ සඳහා අපගේ ද සහාය දීම නොවේ ද? රට මේ ආර්ථික අගාධයෙන් ගොඩ ගැනීමට අප විසින් අපගේ සහාය හැකි පමණින් රජයටත් මහ බැංකුවටත් දිය යුතු වේ. අඩුපාඩු ද අපි කතා කරමු. ඒ රට ගොඩ ගැනීම සඳහාම දෙන සහායක් වශයෙනි. ඊට අකුල් හෙළීමෙන් වනු ඇත්තේ මේ ආර්ථික අගාධයෙන් ගොඩ ඒම තවත් කල්ගත වන ක්‍රියාවලියක් බවට පත්ව අප සියලු දෙනාටම (ඇතැම් විට දේශපාලනඥයන් හැර) වැඩි කාලයක් දුක් විඳීමට සිදුවීම නොවේ ද ?

● උද්ධමනය සහ බඩු මිල

සැලකිය යුතු කාලයක් තිස්සේ අපේ උද්ධමනය ඉහළ ගියේය. එය අප කවුරුත් දන්නා කරුණකි. එසේ යම් උපරිම මට්ටමකට ඉහළ ගිය උද්ධමනය ඉකුත් ඔක්තෝබර් මාසයේ සිට අඩු වීමට පටන් ගෙන ඇත. මේ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 73.7 සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 70.6 ක් දක්වා අඩු වී ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මාසිකව නිකුත් කරනු ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය මෙසේ මාසිකව නිකුත් කරනු ලබයි. ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේදී පැවැති සියයට 85.8 සිට 2022 ඔක්තෝබර් මාසයේදී සියයට 80.9 දක්වා ද අඩු වී ඇත. ආහාර කාණ්ඩය සැලකූවිට ප්‍රධාන වශයෙන් අලුත් මාළු, හාල්, කරවල, පොල්තෙල්, සීනි, මයිසූර් පරිප්පු, අර්තාපල්, කුකුල්මස්, බිස්කට්, තිරිඟුපිටි, මිරිස්කුඩු සහ අමුමිරිස් යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් වාර්තා වී ඇති අතර, කිරිපිටි, ලොකු ලූනු, අලුත් පලතුරු, දෙහි, තේ කොළ/කුඩු, පොල්, රතුලූනු, පාන්, හාල්පිටි, එළවළු, ළදරු කිරිපිටි, මුංඇට හා පපඩම් යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි වැඩිවීමක් වාර්තා වී ඇති බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ. ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේදී පැවැති සියයට 62.8 සිට 2022 ඔක්තෝබර් මාසයේදී සියයට 61.3 දක්වා ද අඩු වී ඇත. කෙසේ වෙතත් උද්ධමනය අඩු වීම යනු බඩු මිල අඩු වීම නොව බඩු මිල ඉහළ යන වේගය අඩු වීම පමණක් බව ද ඔබට සිහිපත් කරමි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected] gmal.com

advertistmentadvertistment
advertistmentadvertistment