ආර්ථික අර්බුදයක සිටින ලෙබනනයේ බැංකු වසා දමයි

186

දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ලෙබනනයේ සියලු බැංකු නිසි ආරක්ෂාවක් නොතිබීම හේතුවෙන් දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. රට මුහුණ පා තිබෙන දරුණු ආර්ථික අර්බුදය හමුවේ ලෙබනනයේ බැංකු සිය ගනුදෙනුකරුවන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් අත්හිටුවා තිබීම හේතුවෙන් කෝපයට පත් ගනුදෙනුකරුවන් බැංකුවලට කඩා වදිමින් බැංකු සේවකයන් ප්‍රාණ ඇපයට ගෙන සිය ගිණුම්වලින් මුදල් ලබා ගැනීමට උත්සාහ දැරීම හේතුවෙන් මෙසේ බැංකු වසා තැබීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

බැංකුවලට කඩා වදින ගනුදෙනුකරුවන්ගෙන් එම ආයතන ආරක්ෂා කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් නොමැති වීම හේතුවෙන් සිය සේවකයන් මුහුණ පාන අවදානම අවම කරලීමට බලධාරීන්ට නොහැකි වීම මත බැංකු දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය වූ බව ලෙබනන බැංකු සංගමය පවසයි. ඉකුත් සතියේදී ලෙබනනයේ බැංකු ගණනාවකට මෙසේ ගනුදෙනුකරුවන් කඩා වැදී සිය ගිණුම්වලින් මුදල් ඉවත් කරගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස තර්ජනය කර තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි. පෙරේදා (21දා) දිනයේ ලෙබනනයේ බැංකුවකට සෙල්ලම් පිස්තෝලයක් අතැතිව කඩා වැදුණු කාන්තාවක් සිය බැංකු ගිණුමෙන් පවුලේ වෛද්‍ය බිල්පත් ගෙවීමට මුදල් නිකුත් කරන ලෙස ඉල්ලා මුළු බැංකුවම ප්‍රාණ ඇපයට ගත් සිදු වීමක් වාර්තා වී තිබුණු අතර ඉකුත් සිකුරාදා දිනයේ පමණක් එවැනි සිදුවීම් පහක් වාර්තා වී තිබිණි. ලෙබනනය මුහුණ පා තිබෙන දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් එරට ජනගහනයෙන් සියයට 80කට වඩා වැඩි පිරිසකට සිය දෛනික ආහාර හා බෙහෙත් සපයා ගැනීම සඳහා දැඩි අරගලයක් කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment