ආර්ථික අර්බුදයට  ‘තිත්ත බේත්’

152

● ආර්ථිකය පසුපසට

 මේ වසරේ (2022) සිදුවන දරුණු ආර්ථික පසුබෑමත් සමග රටේ නිෂ්පාදනය අඩු වී ආර්ථික වර්ධනය ඍණ තත්ත්වයට පත් වී, ඒ නිසාම ඒක පුද්ගල ආදායම ද මේ වසරේ ඇමෙරිකානු ඩොලර් තුන්දහස් ගණනකට සැලකිය යුතු ලෙස පහත වැටීමට නියමිතය. මේ නිසා අපේ ආර්ථිකය දැන් ගමන් කරමින් තිබෙන්නේ ඉදිරියට නොව පසුපසට ය. ඒ නිසා සාමාන්‍ය ජනයාට, ව්‍යාපාර ප්‍රජාවට, කර්මාන්තකරුවන්ට මෙන්ම රජයට ද අහිතකර බලපෑම් ඇති වේ. රජය බදු ප්‍රතිශත වැඩි කළත් ආර්ථික කටයුතු සංකෝචනය වීම නිසා එකතුවනු ඇත්තේ ද අඩු බදු ආදායමකි. මේ අහිතකර තත්ත්වයන්ට මුහුණ දෙමින් වසර ගණනකින් පසුපසට යන ආර්ථිකය සමග අපට ඉදිරි ගමන සැලසුම් කිරීමට සිදු වේ. එහිදී අපට වහාම කිරීමට දේවල් මෙන්ම මැදි හා දිගුකාලීනව කළ යුතු දේවල් ද තිබේ. මේ අනුව මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ දැන් අප කළ යුත්තේ කුමක් ද යන කරුණ ගැනය.

● ණය ගෙවීම අත්හිටුවීමේ තීරණය
 

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම ගැන විවිධ තර්ක තිබිය හැකි නමුත් පසුගිය ආර්ථික කළමනාකරණය මගින් රටේ පැවති ආර්ථික තත්ත්වය සැහැල්ලුවට ගනිමින් සහ එම තත්ත්වයට නිසි ප්‍රතිකර්ම නොගනිමින් මෙන්ම වැරදි තීන්දු ගනිමින් ද රට පත් කර ඇත්තේ මූල්‍ය අරමුදලේ සහාය පැතීම හැර වෙනත් විකල්පයක් නොමැති තැනටය. ඒ නිසා අද අපට නොයෙකුත් කොන්දේසිවලට යටත් වෙමින් මූල්‍ය අරමුදලේ සහාය ගැනීමට සිදු වී ඇත්තේ වැරදි ආර්ථික කළමනාකරණය විසින් රට ඒ තැනට පත් කළ නිසාය. රුපියල කෘතීම ලෙස සැලකිය යුතු කාලයක් රැකගෙන සිටියත් ඒ නිසා තිබුණ විදේශ සංචිත ටිකත් සිඳී ගිය පසු විදේශ ණය ගෙවීමේ

 හැකියාව ද නැතිව ගොස් තිබුණි. වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධුරයට පත්වන විට ඔහුම ප්‍රකාශ කරන පරිදිම අපගේ විදේශ සංචිතයේ භාවිත කළ හැකි සංචිත තිබී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන විසි ගණනක් පමණකි. ඒ වන විට පැවැති අපගේ විශාල විදේශ ණය සේවාකරණ වගකීම්වලට සාපේක්ෂව එයින් කළ හැකි දෙයක් නැත. මේ නිසා ඊට පසුව ගෙවීමට තිබූ විදේශ ණය මුල්‍යකරණය කිරීමේ හැකියාව නොතිබූ නිසා රජයට ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බවට සිය ණය හිමියන්ට ප්‍රකාශ කිරීමට සිදු විය. සංචිත නොමැති නිසා වෙන විකල්පයක් නොතිබූ නිසාත් තවත් දින කිහිපයකින් නොකියාම ණය ගෙවීම පැහැර හැරීමට රජයට සිදු වෙන නිසාත් මේ අවස්ථාවේ ණය ගෙවීමට නොහැකි බව සිය ණය හිමියන්ට පැවසීම අප නම් දකින්නේ ආර්ථිකමය වශයෙන් හොඳ තීරණයක් ලෙසය. රටක් ලෙස පමණක් නොව පුද්ගලයකු ලෙස ගත්තත් තමා ගෙන ඇති ණය නොකියාම ගෙවීම පැහැර හැර මඟ හරිනවාට වඩා සුදුසු වන්නේ ණයහිමියාට මේ මොහොතේ ගෙවීමේ අපහසුව දන්වා ගෙවීමේ කාලය දිගු කර ගැනීම වැනි යම් සහනයක් ඉල්ලා සිටීමයි. නැතහොත් වන්නේ තමා බොරුකාරයෙක් බවට පත්ව වෙනත් කාගෙන් හෝ ණයක් ඉල්ලා ගැනීමට ද නොහැකි තත්ත්වයකට තමාවම පත් කර ගැනීමයි.

● අලි සබ්රිගේ ප්‍රකාශය
 

 විදේශ මුදල් නොමැතිව සංචිත සිඳී ගොස් පැවැති තත්ත්වය හමුවේ මෙය මහ බැංකුව නිර්දේශ කළා විය හැකි නමුත් ණය ගෙවීම අත්හිටුවීමේ තීරණය ගත්තේ ආචාර්ය නන්දාලාල් වීරසිංහ මහ බැංකු අධිපතිවරයා හෝ මහ බැංකුව විසින් නොවේ. එම තීරණය ගනු ලබන්නේ රජය විසිනි. ඒ නිසා එය රජය කළ දෙයකි. මහ බැංකුව කියන දේ කිරීමට මෙන්ම නොකර සිටීමට ද රජයට හැකියාව තිබේ. ඒ නිසා ණය ගෙවීම පැහැර හැරීමේ තීරණය ගැන වගකීමක් තිබේ නම් එය ඇත්තේ ඒ මොහොතේ සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයටය. මේ සම්බන්ධයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට නොයෙකුත් චෝදනා සිදු කරමින් තිබුණත් එවකට සිටි රජයේ මුදල් ඇමැති අලි සබි්‍ර මහතා ඒ ගැන රජයේ වගකීම භාර ගනිමින් පාර්ලිමේන්තුවට විශිෂ්ට ප්‍රකාශයක් කළේය. අලි සබි්‍ර මහතා ඇතුළු මේ අය කළේ ආර්ථිකය පත් කර තිබූ තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා ප්‍රතිකර්ම යෙදීමය. අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහතාම කියා සිටියේ මීට කලින් අයිඑම්එෆ් සහාය ගැනීමට තිබූ බවයි. එසේම මේ ගැන හිටපු මුදල් ඇමැති අලි සබ්රි මහතා 2022 මැයි 04 දින පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයේ මෙසේ සඳහන්ව තිබිණි.

 ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනයන්ගේ සහයෝගීතාව තුළින් සාර්ව ආර්ථික ස්ථායිතාව ඇති කර ගැනීමටත් එමගින් ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රවේශ මාර්ග නැවත ඇති කර ගැනීමටත් ශ්‍රී ලංකාව ඉලක්ක කළ යුතුව තිබුණා.’

● 2020 දී සිදු වූ දේ
 

 තවත් කිව යුතු දෙයක් තිබේ. එනම් කොවිඩ් කාලේ අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 800 ක පමණ මුදලක් ගැනීමට හැකියාව තිබුණි. 2020 මාර්තු මාසයේ මෙය අපේ රජය ඉල්ලුම් කළේය. එසේ ඉල්ලුම් කළ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ණය තිරසාර නොවන බවට හඳුනාගෙන තිබී ඇත. ඒ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට ටික කලකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කළ කරුණු පැහැදිලි කිරීමක දී හෙළි කර තිබුණි. ඒ නිසා අපගේ ණය තිරසාර නොවන බවට හඳුනාගත්තේ මෙවර අයිඑම්එෆ් සහාය පතන අවස්ථාවේ දී නොව ඊට පෙර 2020 වසරේදීමය. එහෙත් ඒ අවස්ථාවේ අපගේ විදේශ ණය තිරසාරත්වය ඇති කර ගැනීමට අප කිසිවක් කළේ නැත. ඒ නිසා අප දැන් මූල්‍ය අරමුදලේ සහාය පැතුවත් ඒ සඳහා අපට ණය ප්‍රතිව්‍යුහගත කරමින් ණය තිරසාරභාවය සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ඇති කර ගැනීමට සිදු වීම අනිවාර්ය කරුණකි. මේ නිසා ඉතිහාසයේ අන් හැම අවස්ථාවකටම වඩා මෙවර අයිඑම්එෆ් සහාය ලබා ගැනීම දුෂ්කර වී ඇත. එනම් මීට පෙර 16 වතාවක්ම අප අයිඑම්එෆ් සහාය පැතුවේ ණය තිරසාර නොවන තත්ත්වයක් යටතේ නොවේ. එනිසා මෙවර ඉතිහාසයේ ප්‍රථම වතාවට අපට එම ප්‍රශ්නයට පිළියම් යොදමින් මූල්‍ය අරමුදලේ සහාය පැතීමට සිදුව ඇති අතර අපට ඒ නිසා මූල්‍ය අරමුදලේ එකඟතාව පළ වී ඇති මුදල සඳහා එහි විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට කල්ගත වේ.

● බදු ආදායම සහ රාජ්‍ය වියදම්
 

 රාජ්‍ය වැටුප් වියදම ශ්‍රී ලංකාවේ බදු ආදායමින් විශාල ප්‍රතිශතයකි. මේ පිළිබඳව මහ බැංකු වාර්තා ඇසුරෙන් කරුණු නිරීක්ෂණය කිරීමේ දී රජයේ බදු ආදායමින් රාජ්‍ය වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වැයවන ප්‍රතිශතය 2020 වසරේ දී සියයට 86.5 ක් සහ 2021 වසරේ දී ප්‍රතිශතය සියයට 85.9 ක් වී ඇත. එසේම මහ බැංකු වාර්තා පරිශීලනය කිරීමේදී රාජ්‍ය බදු ආදායම මෙන් 2020 වර්ෂයේදී සියයට 115.4 ක මුදලක් වැටුප් හා සහනාධාර වෙනුවෙන් හා 2021 වර්ෂයේදී සියයට 111 ක මුදලක් රජයේ වැටුප් හා සහනාධාර වෙනුවෙන් දරා තිබීම විශේෂත්වයක් වේ. අනෙකුත් වියදම් ද සමග බැලීමේ දී රජයේ ආදායම සහ වියදම අතර පරතරය විශාල වේ. මෙසේ කාලයක් තිස්සේ අප වියදම් දරා ඇත්තේ අපගේ ආදායමට දැරිය හැකි අයුරින් නොවේ. මේ නිසා අයවැය හිඟය ඉහළ යන අතර එය පියවීමට ණය වීමට සිදුවේ. දේශීය සහ විදේශීය වශයෙන් රජය ගන්නා කවර ණයක් වුවත් අවසාන වශයෙන් ගෙවීමට සිදු වන්නේ බදු ගෙවන ජනයාටය. කිසිදු ඉල්ලීමක් පවා නොමැතිව 2019 වසර අගදී ගෝඨාභය රාජපක්ෂ රජය සිදු කළ අති විශාල බදු කප්පාදුව නිසා බදු ආදායම විශාල ලෙස අඩු වී අයවැය හිඟය තවත් වර්ධනය වීමට එය හේතුවක් විය. කොරෝනා වසංගතය නිසා ද ආර්ථික කටයුතු අඩපණ වීමෙන් බදු ආදායම් එකතුවීම අඩු වූ බව ද සත්‍යයකි. කෙසේ හෝ බදු ආදායම් අඩු වීම නිසාත් රාජ්‍ය වියදම් වැඩි වීම නිසාත් අපට එම අයවැය හිඟය පියවීමට වන්නේ ණය වීමෙනි. මුදල් අච්චු ගැසීමෙන් කරන්නේ ද මහ බැංකුවෙන් ණය ගැනීමයි.

● විදේශ මුදල් ඉපයීමේ හැකියාව
 

 විදේශ ණය ගත් විට ඒවා පියවීමට සිදු වන්නේ විදේශ මුදල් වලින්මය. අප විසින් දිගින් දිගටම විදේශ මුදලින් ණය ගත්ත ද අප විසින් විදේශ ආදායම් ඉපැයීමේ හැකියාව වර්ධනය කරගෙන නැත. එය බරපතළ ප්‍රශ්නයකි. එවිට අවසානයේ වන්නේ ගන්නා එම විදේශ ණය ගෙවීම සඳහා තව තවත් විදේශ ණය ගැනීමටම සිදු වීමයි. මෙය රජය විසින් දිගටම සිදු කළ දෙයකි. එහෙත් අපගේ ණය ශ්‍රේණිගත කිරීම් මට්ටම ද දිගටම පහත වැටීම නිසා අපගේ විදේශ ණය ගැනීමේ හැකියාව ද නැති වී තිබූ නිසා අපට ණය නොවන විදේශ විනිමය මූලාශ්‍ර වෙත වැඩි වශයෙන් යොමු වීමට සිදු විය. එහෙත් කොරෝනා වසංගතය නිසා මෙන්ම අපගේ ඇතැම් අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා රට

 රැකියා කරන අයගේ මුදල් නිල මාර්ගවලින් අපට ලැබීම විශාල වශයෙන් අඩු විය. විදේශ විනිමය මෙරටට එවීමේ හවාලා සහ උණ්ඩියල් ක්‍රම ප්‍රචලිත විය. සංචාරක ආදායම් ද හොඳටම අඩු වූ අතර පසුගිය කාලයේ අරගල ක්‍රියාමාර්ග ද මෙරටට සංචාරක පැමිණීම් විශාල ලෙස අඩු වීමට හේතුවක් විය. වෙනත් මහ බැංකුවලින් විදේශ විනිමය හුවමාරු පහසුකම් ගැනීමට ද

 පසුගිය කාලයේ අප උත්සාහ ගත්තේය. එහෙත් අයිඑම්එෆ් නොයා එම ක්‍රියාමාර්ගවලින් පමණක් විසඳුම් සෙවීම එතරම් ප්‍රතිපලදායි වූයේ නැත. මේ ගැන බොහෝ දෙනෙක් රජයට අනතුරු ඇඟවීම් කර තිබුණත් ආර්ථික බලධාරීන් ඒවාට ඇහුන්කම් දුන්නේ ඇත. ඒ නිසා දිනෙන් දින අප මුහුණ දී සිටි විදේශ විනිමය අර්බුදය උග්‍ර වී එදිනෙදා අත්‍යවශ්‍ය දේ පවා අපට ආනයනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය.

● දැන් කළ යුතු දේ

 තනි පුද්ගල මතය අනුව නොව අපගේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා වෘත්තීය සහ තිරසාර විසඳුම් අවශ්‍ය වේ. පුළුල් දේශපාලන සම්මුතියක් මෙන්ම විසඳුම් ක්‍රියාමාර්ග සඳහා සාමුහික ප්‍රයත්නයක් අවශ්‍ය වේ. හැම විටම ඇත්ත ප්‍රකාශ කර මහජන සහාය ද ඇතිව මේ ප්‍රතිසංස්කරණ දියත් කළ යුතු වේ. දැන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පතා ඒ ගමනේ යම් ආරම්භක කඩඉමක් පසුකර ඇත. ඒ ගමන් මගේ වේගයෙන් ගමන් කර අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉදිරියට යෑම හැර මේ මොහොතේ අපට වෙනත් විකල්පයක් නැත. කවුරු කුමක් කීවත් දැන් අපට ආපසු හැරීමට පුළුවන්කමක් නැත. අපගේ ආර්ථික අර්බුදයේ ස්වභාවය අනුව තිත්ත බෙහෙත් බීමටම සිදු වේ. මේ මොහොතේ පීඩාකාරී නොවන විසඳුමක් නොමැති බව අප කවුරුත් තේරුම්ගත යුතු අතර දිළිඳු සහ අඩු ආදායම්ලාභීන් වඩාත් පීඩාවට පත් වීම ද සිදු වේ. එම තත්ත්වයන් අවම කිරීමට සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද අවශ්‍ය වනු ඇත.


ආර්ථිකය ශක්තිමත් කිරීමට  ගත් තීන්දුවල ප්‍රතිඵල  ලැබෙමින් පවතිනවා

ආර්ථික අර්බුදයට  ‘තිත්ත බේත්’

මුදල් රාජ්‍ය අමාත්‍ය  – රංජිත් සියඹලාපිටිය කියයි

ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය ගත් තීන්දු තීරණවල ප්‍රතිඵල ක්‍රමයෙන් ලැබෙමින් පවතිනවා. භාණ්ඩ ආනයන සඳහා පැනවූ සීමාවන් හේතුවෙන් මේ වන විට ආනයන වියදම අඩු වීම ප්‍රතිශතාත්මකව ඉහළ යමින් පවතිනවා. 2021 වසරේ ජූලි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූලි මාසය වන විට ආයනයන වියදම සියයට 25 කින් අඩු කර ගැනීමට හැකි වී තිබෙනවා. මීට අමතරව අපනයන ද සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතිනවා. 2021 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේ දී අපනයන ආදායම සියයට 90 ක වර්ධනයක් පෙන්නුම් කරනවා. 2022 අගෝස්තු 31 වන විට රටේ සමස්ත ආදායම රුපියල් බිලියන 1232.4ක් වෙනවා. එම කාලය තුළ රටේ සමස්ත වියදම ලෙස සටහන් වූයේ රුපියල් බිලියන 3539 කි. මේ අනුව ගත් කල ආදායම ඉහළ නැංවිය යුතු යන ස්ථාවරය පක්ෂ විපක්ෂ සියලු දෙනා  පිළිගන්නා කරුණක්. දැනට සියයට 8 ක මට්ටමේ පවතින දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම සියයට 11 දක්වා ඉහළ නැංවිය යුතුයි. එහි දී රටේ අඩු ආදායම්ලාභී ජනතාවට කිසිදු අතිරේක පීඩනයක් එල්ල විය යුතු නැහැ. ඒ අනුව අවම වශයෙන් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 400කින් පමණ ඉහළ නංවා ගැනීමේ අභියෝගය රට හමුවේ පවතිනවා.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 [email protected] gmal.com

advertistmentadvertistment
advertistmentadvertistment