පොලී අනුපාත තවදුරටත් පහළට

රටක ඕනෑම කාලයකදී ආර්ථිකයේ අර්බුදයක් ඇතැයි සඳහන් කළ හැකිය. එහෙත් අප මේ අවස්ථාවේ මුහුණ දෙමින් සිටින සුවිශේෂී ආර්ථික අර්බුය කුමක් ද ? එය වූ කලී අනෙකක් නොව ගිය වසරේ (2022) විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට රට පත් කිරීම ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවීමෙන් උද්ගත වූ තත්ත්වයයි. ඒ අනුව අප මුහුණ දුන්නේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික හා විනිමය අර්බුදයට බව ද අප මීට පෙර සඳහන් කර ඇත. දැන් අප සිටින්නේ එම දරුණුතම අර්බුදයෙන් ගොඩ ඒමට වෙර දරමින් වන අතර ඒ සඳහා ගන්නා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවල පීඩාවන්ට මහජනයාට අඩු වැඩි වශයෙන් මුහුණ දීමට සිදුව තිබේ. එහෙත් එම ආර්ථික අර්බුදයට වගකිව යුත්තන්ට සුවසේ සිටිද්දී එහි වේදනාව (ආර්ථික පීඩාව) විඳීමට සිදුව ඇත්තේ ඊට වගකිව යුතු නැති අතිමහත් බහුතර සාමාන්‍ය ජනයාටය. එසේ නම් එම අර්බුදය ඇති කළ සහ ඊට වගකිව යුතු පිරිස් එහි පීඩාවෙන් කොටසක් හෝ විඳිය යුතු නොවේද යන ප්‍රශ්නය බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නයකි. එහෙත් එය සිදුවිය යුතු නම් එය සිදුවිය යුතු වන්නේ නීති ප්‍රකාරවය.

ආර්ථික අර්බුදයට දුන් නඩු තීන්දුවෙන් පසු මොකද වෙන්නේ?

වෙනදා අප කොතෙක් ආර්ථිකය අර්බුදයට පත්ව ඇති බව කීවත් කිසි විටෙකත් රට බංකොලොත් වූ බවක් සඳහන් කර නැත. එහෙත් ගිය වසරේ (2022) අපේ විදේශ ණය ගෙවාගත නොහැකිව ප්‍රථම වතාවට රට බංකොලොත් විය. රටක් පමණක් නොව පුද්ගලයෙකු වුවත් තියෙන සල්ලි සියල්ල අවසන් වී අනුන්ට ණය වී ඒ ණය ද තවදුරටත් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වන්නේ නම් ඒ පුද්ගලයා ද බංකොලොත් වෙලා යැයි අපට කිව හැකිය. එසේ පෙර ගත් ණය පවා ගෙවා ගත නොහැකි බංකොළොත් තත්ත්වයකට පත් වූ අයෙකුට අලුතින් කිසිවෙක් ණය දෙන්නේ ද නැත. අපේ රට පත් වූයේ (පත් කළේ) ද එවැනි තත්ත්වයකටය. ඒ නිසා මේ බලවත් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ප්‍රමාද වී හෝ අයිඑම්එෆ් සහාය පැතීමට රජය යොමු වූ අතර දැන් අප සිටින්නේ එම අරමුදලේ පළමු ණය වාරිකය ලබා එහි දෙවන ණය වාරිකය ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. අර්බුදයෙන් මිදීමට එම අරමුදල සමග එක්ව ක්‍රියාත්මක කරන ආර්ථික ගැලපුම් වැඩසටහන නිසා වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ දුප්පත්, අඩු ආදායම් ලබන ජනයා සහ මධ්‍යම පාන්තික බහුතර ජනයාය. දුප්පත් සහ අඩු ආදායම් ලබන ජනයාට අස්වැසුම සහනාධාර ලැබෙන නමුත් මාසික වැටුප් ලබන අනෙකුත් මධ්‍යම පාන්තික ජනයාට නම් දෙවියන්ගේම පිහිටය. ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ පෙර නොවූ විරූ අහිතකර බලපෑම්වලට ආර්ථිකයට මුහුණ දීමට සිදු වූ අතරම මහජනයාට ද අන් කවරදාකටත් වඩා බලවත් පීඩාවකට මුහුණ දීමට සිදුවිය. තවමත් මහජනයා එම ආර්ථික පීඩාවන්ට මුහුණ දෙමින් ජීවන බරින් මිරිකී සිටින බව රහසක් නොවේ. මේ ගැන මෙතෙක් විවිධ අය විවිධ දේශපාලන කතා කියමින් සිටියේය. මේ අතරේ ආර්ථිකමය වශයෙන් පිළිගත හැකි අදහස් ද ඉදිරිපත් විය. මේ ගැන විවිධ අයට කුමන දේශපාලන අදහස් ඉදිරිපත් කළ හැකි වුවත් රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මේ වන විට රටේ ඉහළම උසාවියෙන් තීන්දුවක් ලැබී තිබේ. එය බොහෝ දෙනකුගේ කතාබහට ලක්ව ඇති අතර පාර්ලිමේන්තුවේ ද ඒ ගැන විවාධ සිදුවෙමින් තිබේ. මේ ලියුම්කරුගේ අර්ථකථනයට අනුව මේ ආර්ථික අර්බුදය යනු කලින් සඳහන් කළ පරිදිම රට බංකොලොත් කිරීම ලෙස ද අපට හැඳින්විය හැකිය. එසේම මෙය ආර්ථික ඝාතනයක් ලෙසත් මෙයට වගකිව යුත්තන් ආර්ථික ඝාතකයන් ලෙසත් අවශ්‍ය නම් හැඳින්විය හැකිය. මේ කතා දැනටමත් අපට පාර්ලිමේන්තුවෙන් අසන්නට ලැබේ. මේ සම්බන්ධයෙන් විවිධ අයට විවිධ අදහස් තිබිය හැකි නමුත් උසාවිය රට මුහුණ දුන් මේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දැන් තීන්දුවක් දී ඇත. අදාළ තීන්දුවේ 118 සහ 119 පිටුවල මෙසේ සඳහන් වේ.

‘We are of the view that by the actions” omissions” decisions and conduct hereinbefore identified to have demonstrably contributed to the economic crisis and we are of the view that the Mahinda Rajapaksa” Basil Rajapaksa”Monetary Board”Nivard Cabraal” W.D.Lakshman” S.R.Attygalle” Samantha Kumarasinghe” Gotabaya Rajapaksa” P.B.Jayasundra respondents had violated the Public Trust reposed in them and we hold that they were in breach of the fundamental right to equal protection of the law ordained by Article 12^1& of the Constitution’

නඩු තීන්දුවේ මේ සඳහන් වන පරිදි මෙන්ම මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජික සමන්ත කුමාරසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර යන අය ඊට වගකිවයුතු බවටත් එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීරණය ප්‍රකාශයට පත් කළේ පසුගිය නොවැම්බර් මස 14 වැනිදාය. ඒ අනුව මේ සම්බන්ධයෙන් ගොනු කොට ඇති පෙත්සම්වල පෙත්සම්කරුවන් වන මහාචාර්ය මහීම් මෙන්ඩිස් සහ වාණිජ මණ්ඩල හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න යන මහත්වරුන්ට නඩු ගාස්තු වශයෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහස බැගින් ගෙවන ලෙස ද වගඋත්තරකරුවන්ට අධිකරණයෙන් නියෝග කර ඇත. මේ විනිසුරු මණ්ඩලයේ එක විනිසුරුවරයෙකු මීට වෙනස් තීන්දුවක් දී ඇතත් විනිසුරුවරු 04 දෙනෙක් එනම් බහුතර විනිසුරුවරු දී ඇත්තේ අප ඉහතින් සටහන් කළ තීරණයයි. එම තීන්දුවට අනුව මේ කාරණය සම්බන්ධයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. එය මේ වන විට මාධ්‍ය හරහා රටටම ප්‍රසිද්ධ වී ඇත. මේ තීන්දුව ගැන තම තමන්ගේ දේශපාලන මතයන් අනුව විවිධ අයට විවිධ අදහස් තිබිය හැකි වූවත් මෙය නඩුවට සම්බන්ධ වූ සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා කරුණු දැක්වීම්වලට සවන් දීමෙන් පසු නඩුව විභාග කළ බහුතර විනිසුරුවරු ලබා දී ඇති තීන්දුවකි. එනම් මෙය අවසානාත්මක අධිකරණ තීන්දුවකි.

දැන් රටේ ආර්ථික අර්බුදය ගැන මේ උසාවි තීරණය ලබා දීමෙන් පසුව සිදු වන්නේ කුමක් ද ? පාර්ලිමේන්තුවේ නම් මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ප්‍රශ්නයක් අසන්නට ගොස් ගිය සතියේ විශාල ගාලගෝට්ටියක් ද ඇති විය. පසුගිය නොවැම්බර් 21 වැනිදා සිදු වූ එම සිදු වීමේ දී කථානායකවරයා බලා සිටියදීම මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට කළු පැල්ලමක් ඇති විය. එනම් රට බංකොලොත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ රාජපක්ෂ පාලකයන් සහ අදාළ නිලධාරීන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නේදැයි සහ එසේ කරන දින කවදාදැයි මෙන්ම ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට ද යෝජනා කරමින් 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අසන ලද ප්‍රශ්නයක් නිසා එදින පාර්ලිමේන්තුවේ ඇති වූ දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත විසින් විපක්ෂ නායක සජිත්ගේ ලිපිගොනුව උදුරාගෙන යෑමයි. විපක්ෂ නායකවරයා එම ප්‍රශ්නය කියවමින් සිටියදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගැබ හරහා ඔහු ඉදිරියට පැමිණ විරෝධය දැක්වූ අතර එහිදී රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත විපක්ෂ නායකවරයාගේ එම ප්‍රකාශය සහිත ලිපිගොනුව උදුරාගෙන ගියේය. රටේ ආර්ථිකය බංකොලොත් කළ පිරිස වත්මන් රාජ්‍ය අනුග්‍රහය යටතේ තවමත් සුඛෝපභෝගී ජීවිත ගත කරමින් සිටින අතර එම පිරිස සිදු කළ ආර්ථික විනාශයේ පාඩුව ඔවුන්ගෙන් අය කර ගන්නවාදැයි විපක්ෂ නායකවරයා විමසීය. එලෙස අයකර ගත යුතු බවත් එලෙස අයකර ගන්නා දින වකවානු ප්‍රකාශ කරන ලෙසත් විපක්ෂ නායකවරයා විමසා සිටියේය. පොහොට්ටුවේ අය කළ යුතුව තිබුණේ එම ප්‍රශ්නයට පිළිතුරක් දීම මිස මෙසේ විනය විරෝධී ලෙස හැසිරීම නොවේ. කෙසේ හෝ මේ සම්බන්ධයෙන් කථානායකවරයා එම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට තහනම් කිරීමට පියවර ගෙන ඇත. එහෙත් මෙවැනි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂය ගන්නේ කවර ක්‍රියාමාර්ගයක් ද ?

මේ අධිකරණ තීන්දුවත් සමග මේ ලියුම්කරු සිතන විදියට මෙන්ම පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් දක්වා තිබූ අදහස් අනුවත් උසාවි තීන්දුව ලබා දී ඇති මේ කාරණය ගැනම පොහොට්ටු මහ ලේකම් සාගර කාරියවසම්ගේ සභාපතිත්වයෙන් පත් කර තිබෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තවදුරටත් ඵලක් තිබේ ද යන ප්‍රශ්නය අපට මතුවේ. මේ ගැන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වා තිබුණි. ඉහළම උසාවියෙන් තීන්දුවක් දුන් පසු ඒ සඳහා තවදුරටත් වියදම් කරමින් ඔවැනි කාරක සභා තවදුරටත් නඩත්තු කිරීමේ තේරුමක් තිබේද? බංකොලොත් වී ඇති රටේ එහි බර පැනත් අවසානයේ පැටවෙන්නේ මහජනයා පිටම නොවේ ද? රට බංකොලොත් වීම නිසා රජයට ගිය වසරේ (2022) අප්‍රේල් 12 වැනිදා විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය. එහෙත් ඇතැම් අය නගන අපූරු තර්කයක් වන්නේ මේ තීරණය රට බංකොලොත් වීමට හේතු වූ බවයි. එහෙත් මේ අධිකරණ තීන්දුව නිසා, 2022 අප්‍රේල් 12 වැනිදා විදේශ ණය පියවීම තාවකාලිකව අත්හිටුවීම ප්‍රකාශයට පත් කළ නිසා රට බංකොලොත් වූ බවට කරන බොරු ප්‍රචාරයට ද තවදුරටත් වලංගුභාවයක් නොලැබෙන බව අපගේ අදහසයි.

එසේම මෙය කිසිසේත්ම ස්වභාවිකව ඇති වූ ආර්ථික අර්බුදයක් නොවේ. කොරෝනා වසංගතයේ සහ යුක්‍රේන් රුසියා අර්බුදයේ බලපෑම් ද මේ සඳහා නැතුව නොවේ. එසේම අපේ ආර්ථික කළමනාකරණයේ වැරදි ද මේ සඳහා හේතු වී ඇත. උසාවි තීන්දුවෙන් ද අපට පැහැදිලි වන්නේ මෙයයි. මෙය ඉබේ ඇති වූ ස්වභාවික අර්බුදයක් නම් රටේ උත්තරීතර අධිකරණය ආර්ථික අර්බුදය සඳහා ඉහත සඳහන් කළ පිරිස වගකිවයුතු බවටත් එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවටත් තීන්දු කරන්නේ නැත. එහෙත් අධිකරණයට ලැබුණු කරුණු විභාග කර ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ වගකිව යුත්තන් නම් කර ඇත. මේ අයගෙන් සමන්ත කුමාරසිංහ නමැත්තා හැර අනිත් සියලු දෙනාම අප ඉතා හොඳින් දන්නා අයයි. යුද්ධය දිනවා මේ රට තිස් වසරක රුදුරු කොටි ත්‍රස්තවාදයෙන් බේරා ගැනීම ගැන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනා සම්බන්ධයෙන් රටවැසියාට ගරුත්වයක් ඇත. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට ඔවුන් කළ මෙහෙය ගැන අපට තිබුණේ ද ගරුත්වයකි. මේ නිසා උසාවිය නම් කර ඇති ඒ කිසිවෙක් සම්බන්ධයෙන් අපට පුද්ගලික ප්‍රශ්නයක් ද නැත. එහෙත් මෙය රට සහ රටේ ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නයකි. රට බංකොළොත් වීම නිසා ඉන් විඳවන්නේ කවුද? එහි වේදනාව විඳින්නේ කවුද ? ඊට වගකිව යුතු නැති මේ රටේ මහජනයාය. මේ නිසා රට බංකොළොත් කළ ආර්ථික කළමනාකරණයේ වැරදි සම්බන්ධයෙන් අපට එකඟ වීමට හැකියාවක් නැත. එසේ කළ යුතු ද නොවේ. මේ අනුව මේ ආර්ථික අර්බුදය නිසා ජනතාව විඳින වේදනාව උසාවිය නම් කර ඇති එහි වගකිව යුත්තන්ගෙන් සමනය කර ගැනීමට ක්‍රමයක් නැද්ද ? මෙය මේ සම්බන්ධයෙන් දැනට ප්‍රශ්න කෙරෙමින් තිබෙන්නකි. මේ නඩු තීන්දුවේ නීතිමය බලපෑම් ගැන සාමාන්‍ය මහජනයාට ලොකු අවබෝධයක් නැත. මේ නිසා නීති විශාරදයන් මේ තීන්දුව ගැන තවදුරටත් මහජනයා දැනුවත් කළ යුතුව ද තිබේ.

පොලී අනුපාත තවත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාත තවත් සියයට 1.0 කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත. ඒ බව මහා බැංකුව පෙරේදා (24) නිවේදනය කළේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ඉකුත් නොවැම්බර් 23 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 9.00 දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 10.00 දක්වා පදනම් අංක 100 බැගින් අඩු කර තිබේ. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹ ඇත්තේ දේශීය හා ගෝලීය ආර්ථිකයේ කාලීන සහ අපේක්ෂිත වර්ධනයන් ගැන සියුම් විශ්ලේෂණයකින් පසුවය. එසේම ආර්ථිකය විභව මට්ටම කරා ළඟා වීමට සහ ස්ථාවර කිරීම සඳහා මධ්‍යකාලීනව සියයට 5 ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගැනීමේ අරමුණින් යුතුවය. මේ තීරණය අනුව දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල අපේක්ෂිත ප්‍රකෘතිය සඳහා සහාය වෙමින් ඉදිරි කාලයේ දී පොලී අනුපාත තවදුරටත් අඩුවනු ඇතැයි ද පෞද්ගලික අංශයට බැංකුවලින් ලැබෙන ණය තවදුරටත් ඉහළ යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. මේ තුළ රටේ ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ ගොස් දැනට පවතින ඍණ ආර්ථික තත්ත්වය ධන අගයකට පරිවර්තනය වනු ඇතැයි සිතිය හැකිය. මහ බැංකුව කලින් පවසා තිබුණේ මේ වසරේ (2023) අවසන් කාර්තුව වන විට ආර්ථිකය ධන වර්ධනයකට පත්වෙනු ඇති බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]


advertistmentadvertistment