ආර්ථික අර්බුදය දේශපාලන කුණාටුවක් වීමට පෙර!

198

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය ඉතා දරුණුය. මෙය ගෝඨාභය රාජපක්‍ෂ පාලන සමයේදී උච්චතම තැනට පත් වූවත් ඊට වගකිව යුත්තේ ඒ පාලනය පමණක්ම නොවන බව සහතිකය. නිදහස ලබා වසර හැත්තෑ හතක කාලයේ මේ රට පාලනය කළ සියලු දෙනා රටේ වත්මන් ආර්ථික අර්බුදයට අඩු වැඩි වශයෙන් වගවිය යුතුය. රට පාලනය කළ දේශපාලනඥයන් පමණක් නොව මේ රටේ රාජ්‍ය ආයතනවල ඉහළ පුටුවල වාඩිවී කටයුතු කළ නිලධාරීන්ද ඒ ඒ රාජ්‍ය ආයතනවල සෙසු රාජ්‍ය නිලධාරීන්ද මීට වගකිවයුතු පිරිස අතර වන බව කිව යුතුය.

නමුත් දැන් මේ කිසිවකුටත් පවතින අර්බුදයට විසඳුම් දිය නොහැකි තැනකට රට වැටී හමාරය. ඉකුත් අප්‍රේල් 9, මැයි 9, ජුනි 9 රට පුරා පැතිර ගියේ ජනතාව වැටී තියෙන වළේ තරම ලෝකයටම පෙන්වමිනි.

මේ වන විට රට තුළ තිබෙන බරපතළම ප්‍රශ්නය ඉන්ධන නොමැතිකමය. අනෙක් ප්‍රශ්නය ගෑස්ය. මේ වන විට ගෑස් යම් ප්‍රමාණයක් ලැබී තිබෙන නිසා ගෑස් පෝලීම් අඩුවී ගොසිනි. අනෙක් බරතළම ප්‍රශ්න අතර විදුලි කැපිල්ල හා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය තුන් හතර ගුණයකින් ඉහළ ගොස් තිබීමය. බස් ගාස්තුවල සිට කී නොකී සියලු දේ අහස උසට නැඟ හමාරය. තවත් මේවායේ මිල ඉහළ යනු මිස පහළ යන්නේ නැත. ඉදිරි සති දෙක ඇතුළත විදුලි ගාස්තුද ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම කැහැපොට ගසාගෙන බලා සිටී. කන බොන දේවල්වල සිට අන් සියලු දේකම මිල ගණන් ඉහළ ගොස් තිබෙන අල්ල පනැල්ලේ දී රාජ්‍ය හා පුද්ගලික අංශ සේවක වැටුප සත පහකින් ඉහළ දමා නැත. එදිනෙදා කුලියක් මලියක් කර ජීවිතේ ගැටගසා ගන්නා මිනිසුන්ගේ ජීවිත නනන්තාරවී ගොසිනි. රෝහල්වල ඖෂධ නැත. ගෙදර දරුවන්ට තුන්වේල කන්නට දී ගත නොහැකිව මව්වරු ඇස්වල කඳුළු පුරෝගෙන අහස දෙස බලා සිටිති. දරුවන් පාසලට යවා ගන්නට ක්‍රමයක් නැත. පාසල් විවෘතව ඇත්තේ දින දෙක තුනකි. පාසල් පැවැත්වෙන දිනවලදී දරුවා පාසල වෙත යවන්නට පාරේ බස් නැත. පාසල් වෑන් රථ නැත. බස් හා පාසල් වෑන් රථ තිබුණත් ගෙවීමට බැරි තරමට ගාස්තු ඉහළ ගොසිනි. දරුවන්ගේ හෙට අඳුරකය. ගැබිනි මව්වරුන්ට හොඳ පෝෂ්‍යදායි ආහාර ගැනීම අභියෝගයකි. ඒ කියන්නේ ඉපදී සිටින දරුවන් මෙන්ම නූපන් දරුවන්ද සිටින්නේ බරපතළ මන්දපෝෂණ තත්ත්වයකය. නමුත් දේශපාලකයන්ට මේ ජනතා අමාරුකම් පිළිබඳ වගේ වගක් නැත. ඔවුන් තාමත් දඟලන්නේ බලයේ සිටීමටය. බලයේ සිටිමින් ඔවුනට ලැබෙන සැප සම්පත් භුක්ති විඳීමටය. නමුත් මහ පොළවේ පවතින ආර්ථික අර්බුදය අතිශය දරුණුය. ‘අපි කන හැටි ලිපා දනී’ කියන්නාක් මෙන් ජනතාව සිටින්නේ පුදුමාකාර අපේක්‍ෂා භංගත්වයකය. රටේ මතුවූ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයකට හැරී ජනතාව මහ පාරට ආවේ දෙකින් එකක් වන්නට ඉඩ හරිමිනි. බලලෝභීන්ට ‘අරගලය’ පේන්නේ කැරැල්ලක් ලෙසිනි. අරගලකරුවන් පෙනෙන්නේ ත්‍රස්තවාදීන් ලෙසිනි. ‘ගෝ හෝම්’ සටන් පාඨය පේන්නේ මළ කෝළමක් ලෙසිනි. ජනතාවගේ පීඩනය පෙනෙන්නේ කොල්ලයක් ලෙසිනි. නමුත් මේ වන විටත් රටේ ඇතිවූ දේශපාලන අර්බුදය දිනෙන් දින දරුණු වෙමින් ඇත. ගෝ හෝම්… ගෝ හෝම් කියා කෑ ගසා දූෂිත කිහිප දෙනකු බලයෙන් පහකර දැමුවත් ඒ දූෂිතයන් තාමත් නිරුපද්‍රිතව සිටී. ඒ අල්ලපනැල්ලේ ‘ගෝ හෝම්’ කියා කෑ ගැසූ පිරිස දඩයම් කිරීමේ මෙහෙයුම්ද ඇරඹී ඇත.

දැන් ඒ කාරණා පසකට තබමු. එළඹෙන මාස කිහිපය තුළ මේ ආර්ථික අර්බුදය යම් පමණකට හෝ සමනය නොකළහොත් ‘ජනතා නැගිටීම’ පෙරට වඩා අතිශය දරුණු විය හැකි බවට විවිධ පාර්ශ්ව විශ්වාසය පළ කරති. ඒ අනාවැකි එසේ නැත්නම් අනතුර සුළුකොට නොතැකිය යුතුය.

ඉන්ධන හිඟය උග්‍රය. ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කෝඩ් ක්‍රමය වචන පමණකි. තෙල් නැතුව ටෝකන් බෙදාහැරි හැටි මතකය. දැන් QR කෝඩ් එකකි. ත්‍රිරෝද පොලිසියේ ලියාපදිංචි කළ යුතුය. වාහනවලට නිකුත් කරන්නේ ඉන්ධන ලීටර සීමා කරමිනි. රටේ තරුණ තරුණියන් තෙල් පෝලීම්වලය. රටේ ආර්ථික දියුණුවට වැඩ කළ යුතු කාලය පෝලීම්වල දියකර හරිති. හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ කීවේ මුදල් අච්චු ගැසුවාට උද්ධමනයට එය බලනොපාන බවකි. මහ බැංකු හිටපු අධිපති කීවේ රටේ ආර්ථික අර්බුදය මාසයකින් දෙකකින් අහවර වන බවකි. ඊට අදාළ සැලසුම්ද සකසා තිබිණි. හිටපු තෙල් ඇමැති උදය ගම්මන්පිල කීවේ සපුගස්කන්ද පිරිපහදුව වසා දමා පිරිපහදු කළ ඉන්ධන මෙරටට ගෙන එන එක ලාභ බවකි. එක්තරා පිරිසක් බොරු බේගල් ඇද බාමින් තෙල් නැතැයි කියා ප්‍රචාර ගෙන යන බවට එකල චෝදනා කළේය. දැන් ඒ කට්ටියම නැත. ඒ කට්ටිය වෙනුවට අලුත් කට්ටියකි. මේ කට්ටියත් මොනවා මොනවා හෝ කියමින් කල්ගත කරති. නමුත් රටත් රටේ ජනතාවත්, රටේ ආර්ථිකයත් ඊගහක වේගයෙන් ප්‍රපාතයට ඇද වැටෙමින් තිබේ. ලබන අගෝස්තු මස මෙරටට ඉන්ධන ගෙන එන්නට සැලසුමක් නැත. වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහම කියන්නේ ඉන්ධන ආනයනයට රටේ ඩොලර් නොමැති බවකි. තෙල් බලේ ආර්ථිකයට තදින්ම බලපාන සාධකයකි. අද රැකියාවකට යන්නට බස් නැත. යතුරුපැදියට පෙට්‍රල් නැත. ඉඳහිට එන බස් රථයක පොල් පටවලා සෙනඟය. ගාස්තු ගෙවූ පසු අත ලෙව කනවා හැර වෙන යමක් කිරීමට මුදල් අතමිට නැතිව ගොසිනි.

මේ දිනවල ඉඳහිට ඉන්ධනහල් වෙත එන්නේ පසුගියදා ගෙනා මෙටි්‍රක් ටොන් 70,000 ක පෙට්‍රල් ටිකය. ඩීසල් මෙටි්‍රක් ටොන් 120,000 අඩංගු නෞකා තුන නොවන්නට ගමනාගමනය නතර වී හමාරය. මෙහි ඊළඟ ප්‍රශ්නය විදුලි සැපයුමය. මේ වන විට නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් (මෙගා වොට් 300) නඩත්තු කටයුත්තකට නවතා ඇත. නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සංචිත හිඟ වෙමින් ඇත. ලබන නොවැම්බර් වනතෙක් ගල් අඟුරු නෞකා ගෙනැවිත් ඒවා ගොඩබෑම කළ නොහැකිය. හේතුව වාරකන් කාලයය. සපුගස්කන්ද පිරිපහදුව මගින් බොර තෙල් පිරිපහදු කරන සමයේදී මෙරට මාසික ඉන්ධන අවශ්‍යතාව සපුරාලීමට නම් පෙට්‍රල් හා ඩීසල් නෞකා අටක්වත් මෙරටට ගෙනා යුතුය. ලබන මාසයේ දී ූඍ වේවා වෙන මොන ක්‍රමයකට හෝ තෙල් නොඅඩුව ලබාදීමට නම් තෙල් නෞකා දොළහක්වත් මිලදී ගෙන ගොඩබා බෙදාහැරිය යුතුය. ගල් අඟුරු මිලදී ගන්නට ඩොලර් නැත. මේ දිනවල අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය රටට ගෙන එනු ලබන්නේ අදාළ විදෙස් සමාගම්වලින් මාස තුනක කාලයකට ලබාගත් ණය සහන කාලයකට එකඟවීමෙනි. ඒ කියන්නේ මෙරටට ගෙන එන අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය විකුණා පසුව මුදල් පියවීමේ ක්‍රමයකි. මේ සියල්ලට හරස් වී ඇත්තේ රට තුළ ඇමරිකානු ඩොලර් නොමැතිකමය.

මේ අතර ලෝක බැංකුව ඊයේ (29 දා) ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්ද කර ඇත. ප්‍රමාණවත් සාර්ව ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කරන තුරු මෙරටට මූල්‍ය පහසුකම් ලබාදීමට කටයුතු නොකරන බව ඒ අනතුරු ඇඟවීමය.

ඩොලර් කම්බස් කළ පාලකයින් හා ආර්ථික ඔස්තාර්ලා මොන තර්ක විතර්ක කළත් රටේ හෙට දිනය අඳුරුය. ඩොලර් හරස් වීම නිසා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනය, ඉන්ධන, ගල්අඟුරු, ඖෂධ, පොහොර ආදිය ආනයනය ඇතුළු සියලු ආනයන කොට උඩ ගොස් ඇත. ලෝක බැංකුව මෙරටට මූල්‍ය පහසුකම් නොදෙනවා යනු ‘ඩොලර්’ හිඟය තවත් නරක අතට හැරී යාමකි. මෙරටට ඩොලර් ලැබෙන සංචාරක කර්මාන්තය විනාශවී ගොසිනි. ඇඟලුම් කම්හල් ටික නොවන්නට අපේ අපනයන ආදායම බිංදුවට වැටෙන බව පැහැදිලිය.

එහෙව් තත්ත්වයක් හමුවේ තාමත් දේශපාලන බල අරගලය නිමවී නැත. හිසරදයට කොට්ටය මාරු කර ඵලක් නැත. මේ පවතින ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් දිය යුතුමය. නැතිනම් ජනතාව ඊළඟ පාර නැගිටින්නේ දෙකින් එකකට බව තේරුම්ගත යුතුය. රට කම්බස් කළේ ජනතාවද පාලකයන්ද යන්න ජනතාව තෝරමින් සිටින බව අපගේ වැටහීමය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment