ආර්ථික පසුබෑම හමුවේ – කොටස් වෙළෙඳපොළේ පිබිදීම

173

පසුගිය වර්ෂය (2021) අපේ කොටස් වෙළෙඳපොළට ඉතා සුවිශේෂී වාර්තාගත වර්ෂයකි. ඒ අනුව අපේ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ කොටස් වෙළෙඳපොළේ වැඩිම වටිනාකම (වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණය) ගිය වසරේ දී වාර්තා කළේය.

පසුගිය දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප‍්‍රනාන්දු මහතා මේ බව සහ කොටස් වෙළෙඳපොළේ ලබා ඇති ප‍්‍රගතියට අදාළව 2021 වසරේ තවත් වාර්තාගත කරුණු රැුසක් ඉදිරිපත් කළේය. මෙසේ කොටස් වෙළෙඳපොළ ක‍්‍රියාකාරීත්වය වර්ධනය වී තිබෙන නමුත් ආර්ථිකයේ ඇත්තේ පසුබෑමකි. 2020 වසරේ දී ආර්ථිකය සියයට 3.6කින් පසුබෑමට ලක් විය. 2021 වසරේ ආර්ථික වර්ධනය පිළිබඳ දත්ත තවමත් නිල වශයෙන් නිකුත් වී නැත. කෙසේ හෝ කොරෝනා වසංගතයේ බලපෑම් නිසා මුලින් අපේක්ෂා කළ අගයට වඩා අඩු ආර්ථික වර්ධනයක් 2021 වසර සඳහා වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මෙසේ ආර්ථික පසුබෑම හමුවේ කොටස් වෙළෙඳපොළේ පිබිදීමක් සිදු වන්නේ කෙසේ ද? එය ඇතැම් අය අසන ප‍්‍රශ්නයකි. මේ ගැනත් එසේම කොටස් වෙළෙඳපොළේ ප‍්‍රධාන මිල දර්ශකයක්වන සියලූ කොටස් මිල දර්ශකය ගණනය කිරීමේ ක‍්‍රමවේදය වෙනස් කිරීම ගැනත් අපි මේ ලිපියෙන් සාකච්ඡුා කරමු.

ආර්ථික පසුබෑම හමුවේ - කොටස් වෙළෙඳපොළේ පිබිදීම


2021 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ මුළු වටිනාකම (වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණය) රු.බිලියන 5489ක් දක්වා සැලකිය යුතු ලෙස වර්ධනය විය. එම වටිනාකම මෙතෙක් කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තා වූ වැඩිම වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණ අගය යි. 2020 වසරේ කොළඹ කොටස් වෙළෙඳපොළේ මුළු වටිනාකම රු.බිලියන 2960ක් පමණක් විය. මේ අනුව 2021 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ මුළු වටිනාකම විශාල ලෙස වර්ධනය වී තිබේ. 2019 වසරේ දී මෙම අගය රු. බිලියන 2,851ක් විය. එසේම කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වැඩිම සාමාන්‍ය දෛනික පිරිවැටුම ගිය ( 2021) වසරේ දී වාර්තා කළ බව ද කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප‍්‍රනාන්දු මහතා

පසුගිය සතියේ පැවැති මාධ්‍ය හමුවේ දී කියා සිටියේය. ඒ අනුව 2020 වසරේ වාර්තා වූ රු. බිලියන 1,899ක් වූ සාමාන්‍ය දෛනික පිරිවැටුම 2021 වසරේදී රු. මිලියන 4,888 දක්වා වර්ධනය වූ බව ද කොළඹ කොටස් හුවමාරුවේ සභාපතිවරයා සඳහන් කළේය. කොළඹ කොටස් වෙළෙඳපොළේ සාමාන්‍ය දෛනික පිරිවැටුම 2019 වසරේ දී රු. මිලියන 711ක් පමණක් විය.

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලූ කොටස් මිල දර්ශකය 2021 වසරේ දී සියයට 80.5කින් වර්ධනය විය. 2021 වසරේ දී සියලූ කොටස් මිල දර්ශකය 2020 වසරේ වාර්තා කළ ඒකක 6,774 සිට ඒකක 12,226ක් දක්වා විශාල වශයෙන් වර්ධනය වී තිබේ. මේ අනුව 2020 වසරේ සියලූ කොටස් මිල දර්ශකයේ වර්ධනය සියයට 10.5කි. එසේම කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලූ කොටස් මිල දර්ශකය 2019 වසරේ දී ඒකක 6,129ක් වූ අතර ඒ අනුව එම වසරේ සියලූ කොටස් මිල දර්ශකයේ වර්ධනය සියයට 1.3ක් පමණක් විය. කොළඹ කොටස් වෙළෙඳපොළේ එස්.ඇන්ඞ්.පී ශ‍්‍රී ලංකා 20 දර්ශකය 2021 දී ඒකක 4,233 දක්වා සියයට 60.5කින් ද සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත. එම දර්ශකය 2020 වසරේ වාර්තා කළේ ඒකක 2,638ක් වන අතර 2019 වසරේ දී එය ඒකක 2,937ක් විය. මේ අනුව 2019 සහ 2020 වසර දෙකේම එම දර්ශකයේ පැවැතියේ ඍන වර්ධනයකි. එසේම 2021 වසරේ දී සමාගම්වල මූලික කොටස් නිකුත් කිරීම් 13ක් සිදුව තිබේ. කොටස් වෙළෙඳපොළේ වර්ධනයක් තිබෙනවිට සමාගම් කොටස් වැඩි අගයකට නිකුත් කළ හැකි නිසා මෙසේ සමාගම් මූලික කොටස් නිකුත් කිරීම්  (IPO) වැඩි වශයෙන් සිදුවීමේ ප‍්‍රවණතාවක් ද තිබේ.

මෙලෙස 2021 වසරේ කොටස් වෙළෙඳපොළ ක‍්‍රියාකාරීත්වයට අදාළ තවත් කරුණු රැුසක් සඳහන් කළ හැකිය. එහෙත් කොරෝනා වසංගතයේ විවිධ රැුලි හමුවේ ආර්ථික කටයුතුවලට අහිතකර බලපෑම් ඇති වුවත් මෙසේ කොටස් වෙළෙඳපොළ පිබිදීමට ලක් වී ඇත්තේ කෙසේ ද? මේ දිනවල කොටස් සඳහා වැඩි ඉල්ලූමක් තිබේ. මෙයට ප‍්‍රධාන හේතුවක් ලෙස අපට පෙනෙන්නේ රටේ බැංකු පොලී අනුපාත අඩු මට්ටමක තිබියදී උද්ධමනය විශාල ලෙස වර්ධනය වීමයි. ඒ අනුව මේ වනවිට උද්ධමනය ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් බවට පත්ව තවත් වර්ධනය වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. එනම්

පසුගිය දෙසැම්බර් මාසයේ දී උද්ධමනය සියයට 12ක් ඉක්මවා ගියේය. එහෙත් බැංකු පොලී අනුපාත ඊට සාපේක්ෂව තිබෙන්නේ සියයට 4ක් 5ක් වැනි සාපේක්ෂව අඩු අගයකය. ස්ථාවර තැන්පතුවල පොලී අනුපාත ගත්තත් ඊට වඩා ලැබෙන්නේ සුළු ඉහළ අගයක් පමණි. මෙසේ මහජනයා බැංකුවල සිදුකරන තැන්පතුවලට ලැබෙන්නේ රටේ පවතින උද්ධමනය අගයට වඩා බොහෝ අඩු අගයක් නම් එහි දී අවසානයේ සිදු වන්නේ තැන්පතුකරුවන්ගේ මුදලේ අගය අඩු වීමකි. මේ නිසා මේ අවස්ථාවේ බැංකුවල මුදල් තැන්පත් කිරීමට වඩා කොටස් වෙළෙඳපොළ ආයෝජනය වඩා ආකර්ෂණීය වී තිබේ. එසේම වෙන කුමන දෙයකට මුදල් ආයෝජනය කළත් ඉන් පාඩුවක් සිදු නොවීමට නම් රටේ තිබෙන උද්ධමනයට වඩා වැඩි ප‍්‍රතිලාභයක් ලැබිය යුතු වේ. එසේ නොවන්නේ නම් මූර්ත ප‍්‍රතිලාභය පවතින්නේ ඍන අගයකය. මේ නිසා මෙවැනි කාලයක උද්ධමනය අභිභවා තම මුදලට ප‍්‍රතිලාභ ගැනීමට හැකියාව ඇති හොඳම ආයෝජන මාර්ගයක් ලෙස කොටස් වෙළෙඳපොළ ආයෝජනය කෙරෙහි බොහෝ දෙනෙක් යොමු වී සිටී. මේ තත්ත්වය පසුගිය කාලයේ කොටස් වෙළෙඳපොළ වර්ධනයට ප‍්‍රධාන හේතුවක් වී ඇත.

සියලූ කොටස් මිල දර්ශකය ගණනය කිරීමේ ක‍්‍රමවේදයේ සිදුවෙන වෙනස වන්නේ සියලූ කොටස් මිල දර්ශකය ගණනය කිරීමේ දී මුළු වෙළෙඳපොළ

ප‍්‍රාග්ධනය වෙනුවට චලිත වෙළෙඳපොළ ප‍්‍රාග්ධනය පදනම් කර ගැනීමයි. මේ මිල දර්ශකය හඳුන්වා දුන්නේ වර්ෂ 1985 ජනවාරි 02 වැනිදායි. මේ දර්ශකය ගණනය කිරීමේ සිදුවෙන වෙනස ගැන කොළඹ කොටස් හුවමාරුවේ පර්යේෂණ සහ ක‍්‍රමෝපාය ප‍්‍රධානී නිශාන්ත හේවාවිතාන මහතා සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් ද මේ ලිපිය සමග පළ වේ. අපේ අසල්වැසි රටවල් සියල්ල දැනටමත් මේ ක‍්‍රමයට පරිවර්තය වී අවසන්ය. එනම් මෙවර සිදු වන්නේ දර්ශකය බර තැබීමේ ක‍්‍රමයෙහි වෙනසක් සිදු කිරීමයි. සම්පූර්ණ වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණය මත බර තබා වෙළෙඳපොළ ප‍්‍රතිලාභය ගණනය කළවිට ලැබෙන අගය එතරම් යථාර්ථවාදී නොවන නිසා මෙම වෙනස සිදු කරනු ලබයි. x

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]


සියලූ කොටස් මිල දර්ශකය ගණනය කරන ක‍්‍රමය වෙනස් වෙනවා

ආර්ථික පසුබෑම හමුවේ - කොටස් වෙළෙඳපොළේ පිබිදීම

නිශාන්ත හේවාවිතාන – ප‍්‍රධානී – පර්යේෂණ සහ ක‍්‍රමෝපාය කොළඹ කොටස් හුවමාරුව

කොටස් වෙළෙඳපොළ දර්ශක ගණනය කිරීමේ දී බර තබන ක‍්‍රමවේද දෙකක් තියෙනවා. ප‍්‍රධාන වශයෙන්ම මුළු වෙළෙඳපොළ  ප‍්‍රාග්ධනය මත බර තැබීම සහ චලිත වෙළෙඳපොළ ප‍්‍රාග්ධනය මත බර තැබීම වශයෙන් ගණනය කරන්නේ. දැනට තියෙන සියලූ කොටස් මිල දර්ශකය (ASPI) මෙසේ සම්පූර්ණ වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණය මත බර තැබූ දර්ශකයක් ලෙස ගණනය කර තිබෙන්නේ. මෙහි ගැටලූව කුමක්ද කියල අපි බලමු. එහි තිබෙන ප‍්‍රශ්නය තමයි ගනුදෙනු වීමට ලක් නොවන යම් කොටස් ප‍්‍රමාණයක් සහිත ඇතැම් සමාගම් මගින් දර්ශකය විකෘති වීමක් වෙන්න පුළුවන්. සමාගමක් කොටස් නිකුත් කළ පසු එම කොටස් වලින් යම් කොටසක් තියා ගන්නවා එහි ප‍්‍රාරම්භකයන්. තව එහි සභාපති සහ අධ්‍යක්ෂවරු ඇතුළු යම් පිරිසක් කොටස් ප‍්‍රමාණයක් තියාගෙන සිටිනවා වෙන්න පුළුවන්. ඒ අය එම කොටස් එදිනෙදා වෙළෙදාම් කරන්නේ නැහැ. ඒ නිසා ඒ කොටස් ප‍්‍රමාණය ගනුදෙනු වෙන්නේ නැහැ. සමහර විට රජයේ කොටස් තියෙන්න පුළුවන්. සේවක අර්ථසාධක අරමුදල සතු කොටස් තියෙන්න පුළුවන්. මේ අනුව සමාගමක නිකුත් කළ කොටස් ප‍්‍රමාණයේ එදිනෙදා ගනුදෙනු නොවන කොටස් ප‍්‍රමාණයක් තියෙනවා. එසේම එදිනෙදා ගනුදෙනු වෙන කොටස් ප‍්‍රමාණයකුත් තියෙනවා. එම මහජනයා අතර සංසරණය වන එදිනෙදා ගනුදෙනු වීමට ලක්වෙන හෝ සූදානම් (public holding) කොටස් ප‍්‍රමාණය ප‍්‍රතිශතයක් ලෙස ප‍්‍රකාශ කරන්න පුළුවන්. මේ අනුව දර්ශකය ගණනය කිරීමේ දී කිසියම් සමාගමක සියලූ කොටස් ප‍්‍රමාණය මත බර තැබීම එතරම් සාර්ථක නැහැ. හේතුව ඉන් යම් කොටස් ප‍්‍රමාණයක් එදිනෙදා ගනුදෙනු නොවන නිසා. මේ නිසා බර තැබීමට ගන්න ඕන හරි නම් මහජනයා අත හුවමාරු වෙන කොටස් ප‍්‍රමාණයයි. ඒ විදියට බර තැබුවොත් තමයි වඩාත් සාර්ථක.

සම්පූර්ණ ප‍්‍රාග්ධනය මත බර තබනවාට වඩා මේ ගනුදෙනු වෙන කොටස් ප‍්‍රමාණය මත බර තැබීම වඩා හොඳයි කියලා. ඒ අනුව සමාගමක මුළු කොටස්  ප‍්‍රාග්ධනයේ ප‍්‍රතිශතයක් ලෙස මේ ගනුදෙනු වෙන කොටස් ප‍්‍රමාණය ගණනය කරනවා. එසේ ගණනය කර බර තැබීම චලිත වෙළෙඳපොළ ප‍්‍රාග්ධනය මත බර තැබීම කියන්න පුළුවන්. දැනට දර්ශකය ගණනය කිරීමට බර තබන්නේ සම්පූර්ණ වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණය මතයි. අපි මේ දර්ශක භාවිතා කරන්නේ වෙළෙඳපොළ ප‍්‍රතිලාභය ගණනය කරන්නෙ. දැන් අපි 2021 වර්ෂයේ මාකට් එකේ රිටර්න් එක බලන්න ඕන නම් අපි කරන්නේ එම වසරේ පටන් ගත් දර්ශක අගය සහ අවසන් වූ දර්ශක අගය අතර ප‍්‍රතිශතික වෙනස බලනවා. එය ගිය වසරේ (2021) සියයට 80.5 ක්. මෙසේ සම්පූර්ණ වෙළෙඳපොළ ප‍්‍රාග්ධනීකරණය මත බර තබා වෙළෙඳපොළ ප‍්‍රතිලාභය ගණනය කළ විට ලැබෙන අගය එතරම් යථාර්ථවාදී නෑ.

උදාහරණයක් ලෙස යම් සමාගමක ගනුදෙනු වෙන කොටස් ප‍්‍රමාණය ඉතාම අඩුයි නම් මහජනයා වෙත හුවමාරු වෙන්නේ ඉතාම අඩු කොටස් ප‍්‍රමාණයක්. මෙවැනි සමාගමක ළ`ග ළඟ කොටස් මිල වැඩි වෙලා හොඳට රිටර්න් පෙන්වනවා කියල සිතමු. ඒ අනුව ඒ කොටස් සඳහා වැඩි ඉල්ලූමක් නිර්මාණය වුණත් ප‍්‍රශ්නය තිබෙන්නේ ගනුදෙනු වෙන කොටස් ප‍්‍රමාණය අඩු නිසා සැපයුමක් නෑ. කොටස් ඉල්ලූම වැඩි වුණත් සැපයුම අඩු නිසා කොටස් මිල තවත් වැඩි වෙනවා. රිටර්න් එක වැඩි නිසා තවත් කොටස් ඉල්ලූම වැඩි වීමෙන් ඒ කොටස් මිල තවත් වැඩි වෙනවා. දැන් තත්ත්වය අනුව මෙය සියයට සියයක්ම සියලූ කොටස් මිල දර්ශකයට ගන්නවා. හේතුව මුළු වෙළෙඳපොළ ප‍්‍රාග්ධනය මත පදනම්ව දර්ශකය ගණනය කරන නිසා. මේ නිසා වෙළෙඳපොළ ප‍්‍රතිලාභය අධිතක්සේරු වීමක් වෙනවා. දැනට ගණනය කරන ක‍්‍රමවේදයේ තියෙන ප‍්‍රශ්නය මේකයි. දැනට විශාල රිටර්න් එකක් පෙන්වන සමහර සමාගම් තියෙනවා.එහෙත් ඒවායේ මහජනයා අත ගනුදෙනු වෙන (public holding) කොටස් ප‍්‍රමාණය ඉතාම අඩුයි.

මේ චලිත ප‍්‍රාග්ධනය කියන ප‍්‍රතිශතය ගන්නේ කොහෙන් ද ? එනම් ඒ අයගේ කාර්තුමය වාර්තා මගින් සමාගම අනාවරණය කරනවා ඒ අයගේ ගනුදෙනු වන කොටස් ප‍්‍රමාණය කොපමණ ද කියලා. එම අගය වරින් වර වෙනස් විය හැකියි. ඒ සමගම ප‍්‍රකාශයට පත් කරන අගය කොටස් හුවමාරුවෙන් ද පරීක්ෂා කිරීමක් කරනවා. එතකොට මේ ප‍්‍රතිශතය කාර්තුවෙන් කාර්තුවට වෙනස් වෙන නිසා අප දර්ශකයේ බර තැබීමේ වෙනසක් කරනවා කාර්තුමය වශයෙන්. එතකොට මේකත් එක්ක කරුණු තුනක් සිදු වෙනවා. එක තමයි බර තැබීමේ ක‍්‍රමය චලිත ප‍්‍රාග්ධන පදනමට වෙනස් කිරීම. දෙවෙනි වෙනස වන්නේ මාස තුනෙන් තුනට චලිත ප‍්‍රාග්ධනයේ ඇතිවෙන වෙනස නිරූපණය වෙන පරිදි කාර්තුමය වශයෙන් බර නැවත සැකසීමයි. තුන්වැනි වෙනස වන්නේ සමාගම් සඳහා බර තැබීමේ දී එම කොටස් සඳහා උපරිම බර සීමාවක් හඳුන්වා දීමයි. මෙහිදී උපරිම බර හඳුන්වා දී තියෙන්නේ සියයට 5ක්. මෙය දිගටම ඒ අගයේම පවත්වාගෙන යන්නේ නැහැ. නැවත සකසන වෙලාවේදී තමයි එය සියයට 5 ට අඩු කරන්නේ.

මේ චලිත ප‍්‍රාග්ධනය මත බර තැබීමේ සංකල්පය ආවේ වර්ෂ 2001 දි විතර. මේක වඩා යථාර්ථවාදී ගණනය කිරීම නිසා ගොඩක් කොටස් වෙළෙඳපොළ මේ ක‍්‍රමයට මාරු වුණා. දැන් මේක තමයි පිළිගත්ත සම්ප‍්‍රදාය. මෙහිදී අලූත් දර්ශයක් හදන්නේ නැහැ. තියෙන දර්ශකයම තමයි. ගණනය කරන ක‍්‍රමවේදයයි වෙනස් වෙන්නේ. ඒ නව ක‍්‍රමවේදයට අදාළ ලේඛනය දැන් අපේ වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් කරලා තියෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment