කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා තිබෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයට අත්‍යඅවශ්‍ය අංගයක් වන මං තීරු අටකින් සමන්විත නවීන පිහිනුම් තටාකය පෙරේදා (22දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩක අයිතියට පත්කිරීමට පියවර ගනු ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරන ශම්මි සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ ආරාධනයකට අනුව, එම ස්ථානයට පැමිණි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් මෙම නව පහසුකම නිල වශයෙන් විවෘත කළේය. එම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනුරාධා ඉලේපෙරුම යන මහත්මිය ද සහභාගිව සිටියහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි සභාපති ශම්මි සිල්වා මහතාට අමතරව උප සභාපතිවරුන් වන ආචාර්ය ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, උප භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ යන මහත්වරුද ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජිකයන් සහභාගිව සිටියහ.
මෙම සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ජෙරොම් ජයරත්න සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක යන මහත්වරුද එක්ව සිටියහ. ඊට අමතරව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇතුළු ජාතික කාන්තා කණ්ඩායමද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ක්‍රිකට් සංවර්ධන ගමන් මඟ වැඩසටහනේ කොටසක් ලෙසින් ඉදිකරන ලද මෙම අති නවීන පහසුකම්වලින් සමන්විත පිහිණුම් තටාකය දිගින් මීටර 25 ක් සහ පළලින් මීටර 21 කින් සමන්විත වන අතර මීටර 1.2 සිට මීටර 1.8 ක ගැඹුරින් යුක්ත වනු ඇත මෙම පහසුකම ඉදිරියේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට මෙන්ම ජාතික වේග පන්දු සහ දඟ පන්දු සංචිතවල පුහුණුවීම් සිදුකරනු ලබන ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය යහපත් පරිදි පවත්වා ගැනීමට සහායවීම, තරගයෙන් පසු ක්‍රීඩකයන් ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වීම මෙන්ම ආබාධවලට ගොදුරුවන ක්‍රීඩකයන්ව පුනරුත්ථාපනය කිරීම වෙනුවෙන් යොදා ගැනෙනු ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාවේ තරග සංචාරවල නියැළෙන ජාත්‍යන්තර කණ්ඩායම් සඳහා ද මෙම පහසුකම ලබා ගැනීමේ හැකියාව පවතිනු ඇත.
වෘත්තීය පරිසරයක් සහතික කිරීම වෙනුවෙන් මෙම පිහිනුම් තටාක සංකීර්ණයෙහි කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම ඇඳුම් මාරු කිරීම වෙනුවෙන් වන කාමරවලට අමතරව ප්‍රථමාධාර පහසුකම් මෙන්ම තවත් අත්‍යාවශ්‍ය පහසුකම්වලින් සමන්විතය.
මෙම පහසුකම එක්වීමත් සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙහි ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයෙහි අංග සම්පූර්ණ ව්‍යායාම ශාලාවක්, විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පුහුණුවීමේ පහසුකම, භෞත චිකිත්සක ඒකකය සහ කාර්යය සාධන විශ්ලෙෂණය කිරීම වෙනුවෙන් වන බුද්ධි කේන්ද්‍රයකින්ද සමන්විත වනු ඇත.
දෙවැනි අදියර යටතේ ජල චිකිත්සක පහසුකම් (ජකුසි), අයිස් භාවිතයෙන් සිදුකෙරෙන නාන තටාකයක්, මෙන්ම ගෘහස්ථ දැල් පුහුණු පහසුකමද ඇතුළත් වේ. මේ සියලු පහසුකම් ජාත්‍යන්තර මට්ටමට සරිලන පරිදි පුළුල් වූ පුහුණු මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරගෙන යනු ලබන වැඩසටහනෙහි කොටසක් වනු ඇත.