සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකළ තිදෙනා අත්අඩංගුවට
දඹගල්ල පොලිස් වසමට අයත් දැලිවපාර, පිටතලාව පදිංචි සයදරු මවක් ඇයගේ 30 හැවිරිදි පුතා විසින් නිවස තුළ දී ගෙල මිරිකා අතින් පයින් උදැල්ලකින් සහ මිටියකින් පහර දී සිරුරේ පහළ කොටස පුළුස්සා සිරුර සෝදා ඇතැයි දඹගල්ල පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයකර ඇත්තේ කේ.එම්. පුංචිමැණිකා (55) නමැති මවකි.
මියගිය අයගේ දියණියක් විවාහ වී සිටින මීගහපිටියේ පදිංචි අයකු මේ පිළිබඳව පොලිසියට දැනුම් දී ඇත. ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට ගිය දඹගල්ල පොලිසියේ නිලධාරීන් මියගොස් සිටි කාන්තාවගේ සිරුර ඇඳක් මත තිබෙන අයුරු දැක ඇත.
ඒ අවස්ථාවේ ඇයගේ බාල පුතා ආරුඪ වෙසින් හැසිරී ඇති අතර ඔහුගේ තවත් මස්සිනා කෙනකු විසින් සිද්ධිය පිළිබඳව පොලිසියට ප්‍රකාශයක් කරමින් සැකකරුගේ පියා මීට පෙර මියගොස් ඇති බවත් ඔහුට පියා ආරූඪ වන බවත් පවසා ඇත.
ආරූඪ වූ තම සැකකරු වන බාල මස්සිනා මවගේ ගෙල මිරිකා අතින් පයින්, උදැල්ලකින් සහ මිටියකින් පහර දී සිරුරේ පහළ කොටස පුළුස්සා දමා සිරුර සෝදා දැමූ බවත් වැඩිදුරටත් පොලිසියට පවසා තිබේ.
මෙම මරණය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණය මොනරාගල වැඩබලන මහෙස්ත්‍රාත් කමලා රත්නායක මහත්මිය විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබිණි. මියගිය කාන්තාවගේ දියණියක් ඇතුළු තිදෙනකු සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම නිසා දඹගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ගුණවර්ධන මහතාගේ උපදෙස් පිට දඹගල්ල වැඩබලන පොලිස් ස්ථානාධිපති ජේ.එම්.එස්. ජවුසි මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක