ආසියානු අභිමානයේ රුසිරු ළඳුන්

202

ආසියානු කාලපයේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙසෙන රට ශ්‍රී ලංකාව යනුවෙන් ලොවට පසක් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ශූරතා කුසලාන දෙකම පසුගියදා දෝතට ගත්තේ ඓතිහාසික ජයග්‍රාහී දිනයක් ශ්‍රී ලංකා මාතාවට උදාකරලමිනි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හය වැනි වතාවටත් ආසියානු ශූරයෝ බවට පත් වෙමින් සහ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම හය වැනි වතාවටත් ආසියානු ශූරියෝ බවට පත් වෙමිනි. ඒ අනුව ක්‍රිකට් තරම්ම රටේ දැල් පන්දු ජනප්‍රිය නොවුනද ඔවුන් දිනුවේද ආසියානු ශූරතාවක් බව මෙහිලා පළමුවෙන් ලියා තැබිය යුතු කරුණකි.

1985 ඇරැඹී ආසියානු දැල් පන්දු තරගාවලිය 2022 දක්වා පැමිණෙද්දී ඒ අතරවාරයේ තරගාවලි 12 පවත්වා තිබේ. එහිදී ශූරතා කුසලාන 6ක පහස අත්විඳීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වී සිටින අතර සිව් වතාවක් අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ. ඒ අනුව ඔවුන් සැබවින්ම ආසිවේ දැල් පන්දු ශූරියෝය.

පසුගිය ශූරියන් ලෙස මෙවර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේදී පිළිවෙලින් ඉන්දියාව ලකුණු 104-14ක් ලෙසද පිලිපීනය ලකුණු 99 – 37ක් ලෙසද පරාජයට පත් කරමින් අපරාජිතව දෙවැනි වටයට පිවිසියේය. අනතුරුව දෙවැනි වටයේදී හොංකොං කණ්ඩායම ලකුණු 67-22ක් ලෙස සහ සත්කාරක සිංගප්පූරු කණ්ඩායම ලකුණු 63-53ක් ලෙස පරාජයට පත් කරමින් අවසන් පූර්ව වරම් දිනා ගැනීමට සමත් වූවාය. අනතුරුව අවසන් පූර්ව වටයේදී නැවතත් හොංකොං කණ්ඩායම ලකුණු 67-43ක් ලෙස පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූවාය. අවසන් මහා තරගයේදී සත්කාරක සිංගප්පූරුව සමගින් ගැටුණු ශ්‍රී ලංකා පිල එහිදී සුපිරි හඹා යෑමකින් අනතුරුව 2022 ආසියානු දැල්පන්දු කුසලානය දෝතට ගැනීමට සමත් වූයේ සත්කරකයන් අනුශූරියන් බවට පත්කරමිනි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් හරි හැටි පුහුණුවීම් කිරීමට පවා නොහැකි වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට 2019 වසරෙන් පසු කිසිදු ජාත්‍යන්තර තලයේ තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොලැබිණි. එවන් වකවානුවක් තුළ ක්‍රීඩිකාවන් සහ පුහුණුකාරිණියගේ සම්පූර්ණ කැපවීම සහ උත්සාහය මත පමණක් හිමි වූ ජයග්‍රණය සැබවින්ම ජයග්‍රහණයකි.

මේ අතර ජයග්‍රාහී ආසියානු කුසලානය අතැතිව පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම පිළිගැනීම සඳහා මැති ඇමැතිවරු ඇතුළු නිලධාරීන් රැසක් එක්වී සිටින අයුරු දක්නට ලැබිණි. කෙසේ වෙතත් එහිදී ගුවන්තොටුපළින් එළියට පැමිණි දැල් පන්දු කණ්ඩායම සහ අදාළ නිලධාරිනියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිය ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූහ. පුහුණකාරිනි හයිසින්ත් විජේසිංහ දැක්වූ අදහස් පිළිබඳ ක්‍රීඩා ඇමැතිවරයා මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් ද අවධානය යොමු කළ යුතුව ඇත. 2005 වසරෙන් පසුව මට හමුවූ හොඳම සහ කීකරුම කණ්ඩායම තමයි මේ. මේ කණ්ඩායම වේගය අතින් ඉතාම උසස් මට්ටමක ඉන්නවා. තේරීම් කමිටුව අවස්ථා කීපයක දී කණ්ඩායම් කිහිපයක් මා වෙත යොමු කළා. අන්තිමට ලැබුණු කණ්ඩායම සමග මට වැඩ කරන්න හම්බ වුණේ බොහොම අඩු කාලයක්. නමුත් එයාල කැපවෙමින් ක්‍රීඩා කළා.

තර්ජනී කණ්ඩායමෙන් ඉවත් වුවහොත් අඩුපාඩුව මකන්න කාට පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ වෙනුවෙන් තවමත් අපිට පසු පෙළක් නිර්මාණය වී නැහැ. මේ පිළිබඳ දැල් පන්දු සම්මේලනය සභාපතිනිය සමගින් තමා කතා කළා යැයි එහිදී පුහුණුකාරිනි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියාය. ඒ අනුව තරගාවලි ජයග්‍රහණයකින් කණ්ඩායමේ අනාගතය පිළිබඳ සිතීමට කාලය එළැඹ තිබේ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සමුගනිද්දී එම අඩුව පිරවීමට දෙවැනි පෙළක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනයේ වගකීමකි. ඒ අනුව පාසල් මට්ටමින් දැල් පන්දුව නඟාසිටුවීම ඉක්මනින් ඇරඹිය යුතුව තිබේ.

වසර කිහිපයක් තිස්සේම අප දැල් පන්දු පාලනයේ දී අහන්නේ දකින්නේ කණ්ඩායම් පොරයක්. ඒ අනුව දැන් කළ යුත්තේ එකිනෙකා හා පවතින මත ගැටුම් ඉවතදා දැල් පන්දු හරි මාවතට ගැනීමටය. ක්‍රීඩා ඇමැතිවරයාටද මෙහිදී ඒ සම්බන්ධයෙන් වැඩි වගකීමක් පැවරී තිබේ. මාධ්‍ය වෙත අදහස් දැක්වූ දැල් පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා ක්‍රීඩා ඇමැතිවරයාට ස්තුති කරමින් කියා සිටියේ දක්ෂතාවයට වඩා ඇමැතිවරයාගේ උපදෙස් මත තරග ජයග්‍රහණය කළ බවයි. එම ප්‍රකාශයේ පදනම කුමක් වුවද සභාපතිනිය සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලීන්ගේ අප්‍රසාදය යොමු වී තිබේ.

දැල් පන්දු පරිපාලනය ඇතුළතද පසුගිය කාලයේ නොයෙක් නොයෙක් හැල හැප්පීම් තිබුණද ආසියානු තරගාවලියට සහභාගි වූ ක්‍රීඩිකාවන් සිය දක්ෂතා දක්වමින් අපරාජිතව ශූරතාව දිනා ගැනීමට සමත් වූවාය. ජයග්‍රහණයෙන් අනතුරුව ලකුණු දමා ගැනීමට බොහෝ දෙනෙක් මේ වන විට ජයග්‍රහණයට හිමිකම් කීමට ඉදිරිපත් වී සිටිය ද මෙම ජයග්‍රහණයේ සම්පූර්ණ ගෞරවය ක්‍රීඩිකාවන්ට මෙන්ම පුහුණුකාරිනියට හිමි විය යුතුය. යම් හෙයකින් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක වූවා නම් උපදෙස් දුන්න ඇමැතිවරු ද උපදෙස් පිළිපැදි නිලධාරීන්ද එම වගකීම භාරගන්නවා දැයි මෙහිදී අසා සිටීමට කැමැත්තෙමු.

කෙසේ වෙතත් ලැබූ ජයග්‍රහණය සලකා බලා හෝ ශ්‍රී ලංකාවේ දැල් පන්දුවට ඇති තැන රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති තැන දක්වා ඔසවා තැබීම බලධාරීන්ගේ වගකීමකි. එවැනි පහසුකම් ලබා දුනහොත් ආසියානු කලාපය පමණක් නොව මතු දිනක ලෝක ශූරතාවයම ජය ගැනීමට ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ශක්තිමත් කණ්ඩායමක් ලෙසින් නැඟීසිටින බවට අවිවාදයෙන් යුතුව සඳහන් කළ හැකිය.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment