ආසියානු කුසලාන කනිෂ්ඨ හොකී තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

38

රටවල් 07 ක සහභාගිත්වයෙන් සිංගප්පූරුවේ සෙන්කෑන් කෘත්‍රිම ක්‍රීඩාංගණයේ දී ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරුණු “ආසියානු හොකී සම්මේලන” අවුරුදු 21 න් පහළ කනිෂ්ඨ කාන්තා හොකී තරග මාලාවේ 04 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට ශ්‍රී ලංකාවට සිදු විය.

මෙවර තරගාවලියේ දී රන්, රිදී හෝ ලෝකඩ පදක්කමකට පැමිණීමට නොහැකි වුව ද සිව් වැනි ස්ථානය තහවුරු කර ගනිමින් මීළඟ “ආසියානු කුසලාන” කනිෂ්ඨ හොකී තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ (23දා) සමත් වූහ.

ඉන්දුනීසියාව සමග පැවති තීරණාත්මක තරගයේ දී ගෝල් 02 – 01 ක් ලෙස පෙරමුණ ගනිමින් මෙවර තරගාවලියේ තෙවන ජයග්‍රහණය සටහන් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි. ඊට පෙරාතුව හොංකොං රාජ්‍ය ගෝල් 03 – 02 කින් ද සිංගප්පූරුව ගෝල් 02 – 01 කින් ද ශ්‍රී ලංකාව හමුවේ පරාජය ලැබීය.

මෙවර තරගාවලියේ දී චීන තායිපේ, බංග්ලාදේශය සහ තායිලන්තය හමුවේ පරාජය ලැබීම ශ්‍රී ලංකාවට සිදු විය. මුල් ස්ථානය හිමිකරගෙන සිටින චීන තායිපේ හමුවේ ගෝල් 12 – 00 ක් ලෙස ද බංග්ලාදේශය හමුවේ ගෝල් 07 – 02 ක් ලෙස ද තායිලන්තය හමුවේ ගෝල් 07 – 02 ක් ලෙස ද ශ්‍රී ලංකාවට හිමි වූයේ පරාජයකි.

මෙම තරගාවලිය ආශ්‍රිතව චීන තායිපේ, බංග්ලාදේශය, තායිලන්තය, හොංකොං දේශය සහ ශ්‍රී ලංකාව මීළඟ ආසියානු කුසලාන තරගාවලියට වරම් ලබා ගන්නා අතර වාරයේ දී ඉන්දියාව, කොරියාව, චීනය, ජපානය සහ මැලේසියාව ඒ සඳහා සුදුසුකම් ලබාගත් බව ආසියානු හොකී සම්මේලනය නිවේදනය කළේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment