ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී

137

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කරන බව ආසියානු ක්‍රිකට් කවුන්සලය නිල වශයෙන් නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, දීර්ඝ ලෙස සිදු කෙරුණු සාකච්ඡාවලින් අනතුරුව ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබියේ දී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය ඒකමතිකව තීරණය කළ බව ඒ පිළිබඳව ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව 2022 ආසියානු කුසලාන තරගාවලිය අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

“ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකි සෑම උත්සාහයක්ම ගත්තා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තරගාවලිය ගෙන යෑමට තීරණය කළේ බොහෝ සාකච්ඡාවලින් පසුවයි.” යනුවෙන් ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේ ශාහ් සඳහන් කර තිබේ.

“තරගාවලිය පැවැත්වෙන නව රට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වන අතර, ශ්‍රී ලංකාව සත්කාරක අයිතිය තවදුරටත් රඳවා ගන්නවා යැයි ද එම නිවේදනයේ දැක්වෙයි.

ආසියානු කුසලාන තරගාවලියට පෙර ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ද අගෝස්තු 20 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා හොංකොං, කුවේට්, සිංගප්පූරුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් තරග කිරීමට නියමිතව ඇති අතර, එම තරගාවලියේ පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබයි.

ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාව යන රටවල් නිතරගයෙන්ම ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment