කෝටි දෙකකට වැඩි ශ්‍රී ලංකාවාසී ක්‍රීඩා ලෝලීන්ගේ සිත් සතන් සනසමින් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය සඳහා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා වරම් දිනා ගත්තේය. අයි.සී.සී සාමාජිකත්වය ලබා නොමැති කණ්ඩායම් හමුවේ අසීරු තරග ජයග්‍රහණ දෙකකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි වටයට පැමිණීම කනගාටුදායක වුවද පසුව එය සතුටට හේතුවූ කරුණක් බවට පත්විණි.
ආසියානු ශූරතාවලියේදී ඇෆ්ගනිස්තානය හමුවේ ලද පරාජයකින් තරගාවලිය ඇරැඹි ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේදී ශූරයෝ බවට පත්වෙමින් තරගාවලිය සාර්ථකව නිම කළේය. ලෝක කුසලාන තරගාවලියද පරාජයකින් ආරම්භ කළ ශ්‍රී ලංකාව මේ වනවිට සාර්ථකත්වයට පත් වෙමින් සුපිරි දොළොස් දෙනාගේ වටයට පිවිස තිබේ. කරුණු එසේ වුවද ආසියානු කුසලාන තරගාවලියට වඩා ලෝක කුසලානය බර වැඩිය. ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකාවට තර්ජනයක් එල්ල වන කණ්ඩායම් ඇත්තේ දෙකක් පමණි. ඒ ඉන්දියාව සහ පාකිස්තානය පමණි. නමුත් ලෝක කුසලාන තරගාවලියේදී සුදුසුකම් ලැබීමේ වටයේ සිට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කාණ්ඩය යටතේ එංගලන්තය, සත්කාරක ඔස්ටේ්රලියාව, නවසීලන්තය හා තරග වැදීමට සිදුවේ. ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට කඩුලු 8ක පරාජයක් උරුම කරදුන් ඇෆ්ගනිස්තානයද එම කාණ්ඩයට එක්වී සිටී.
ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවෝ 9 දෙනකුම උඩ පන්දු ලබා දෙමින් නැමීබියානු පන්දු යවන්නන් හමුවේ දැවී ගියේය. ශ්‍රී ලංකාව පැත්තෙන් ගත් කල එය එතරම්ම සුබ ලකුණුක් නොවේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය පවා ලබා නොමැති නැමීබියානු කණ්ඩායමේ පන්දු යවන්නන් හමුවේ හයේ සීමාවට එපිටින් පන්දු පතිත කිරීමට නොහැකි ලෝක කුසලාන දෙකක් දිනූ ආසියානු කුසලාන 6ක් දිනූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට නොහැකි වීම ඇත්තෙන්ම කනගාටුදායක සිදුවීමකි.
පළමු තරග දෙක පරාජයට පත්වීමත් සමග සුපිරි වටයට යෑමේ බලාපොරොත්තුව වැට උඩ තැබූ ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍ය හමුවේ දැවැන්ත ජයක් වාර්තා කරමින් මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළ දැම්මේය. එහෙත් එම වටයේ දෙවැනි තරගයේදී නෙදර්ලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ජාම බේරා ගත්තේ නූලෙනි.
තරගාවලිය ඇරැඹීට සති දෙකකට ආසන්න කාලයකටත් කලින් ඔස්ටේ්රලියාවට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මේ වනවිට ඔස්ටේ්රලියාවේ දේශගුණ තත්ත්වය හුරුවී ඇතැයි අප විශ්වාස කරමු. එසේ නම් එම නැමීබියානු කණ්ඩායම හමුවේ ලජ්ජා සහගත පරාජයක් ලැබීමට හේතු වූ කරුණු මොනවාදැයි වෙනම සොයා බලා එය ඉදිරි තරගවලදී යළිත් සිදු නොවීමට වගබලාගත යුතුය.
තරගාවලිය පටන් ගැනීමට පෙර ඔස්ටේ්රලියාවේ වේග තණතීරුවලට හුරුවීමටත් එහි දේශගුණික තත්ත්වය යටතේ පුහුණුවීම් සිදුකිරීමටත් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම්වලට වඩා මෙල්බර්න් හි වෙසෙන හිත මිත්‍රාදීන්ගේ නිවෙස්වල භෝජන සංග්‍රහවල නිරත වූවා යැයිද රෑ එළිවෙනතුරු මදුවිත වලින් සප්පායම් වී විනෝද වූවා යැයි ඔස්ටේ්රලියාවේ වෙසෙන වාර්තා කරුවෙකු පසුගියදා ‘දිවයින’ට වාර්තා කර සිටියේය.
එහිදී වැඩිදුරටත් එම ලියුම්කරු සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා විශේෂඥ පුහුණුකරු මහේල ජයවර්ධන කණ්ඩායම ගැන බලනවාට වඩා ඔස්ටේ්රලියාවේ ඇති තමාගේ ව්‍යාපාර කෙරෙහි කටයුතු කරන බවය. ක්‍රීඩකයන්ට අසීමිත නිදහසක් ලබා දෙමින් ඔවුන්ට රිසි සේ කටයුතු කිරීමට කළමනාකරු මහින්ද හළංගොඩ මහාතද දෑස් පියා සිටින බවත් ක්‍රීඩකයන්ගේ සිත් දිනා ගනිමින් දිගින් දිගටම කළමනාකරු ධුරයේ රැඳී සිටීමට ඔහු එහිදී උත්සාහ කරන බවත් තවදුරටත් අදාළ ලියුම්කරු දන්වා තිබිණි. කෙසේ වෙතත් එම කරුණුවල සත්‍ය අසත්‍යභාවය පිළිබඳ අප නොදන්නා වුවත් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගි වූ ඩිනර් පාටි කිහිපයක ඡායාරූප එක් එක් වෙබ් අඩවි ඔස්සේ පළ වී තිබිණි.
කෙසේ වුවත් අදින් පසු ආරම්භ වන සුපිරි වටයෙන් අවසන් පූර්ව වටයට යෑමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මීට වඩා දක්ෂතා දැක්විය යුතුව තිබේ. ඒ වෙනුවෙන් යළි කැපවී පුහුණුවීම් නොකරමින් ආසියානු ශූරතාවලියේ කෝණයෙන් ලෝක කුසලානය දෙස බලා කටයුතු කළහොත් සිදුවන්නේ ආසියානු ශූරතාවලියේ නම්බුව නැතිකර ගැනීමට වන වග ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට අප මතක් කර සිටිමු.
කසුන් රණවීර