බිමන්දී, තනුෂී සහ සෙනුරගෙන් ඉහළ දස්කම්
ආසියානු ශූරතා කේවල මේස පන්දු තරග ඉතිහාසයේ පළමු ක‍්‍රීඩිකාවන් 16 අතරට සුදුසුකම් ලබා ගැනීමට මුතුමාලී ප‍්‍රියදර්ශනී සමත් වීම ඊයේ (03 දා) දිනයේ දී කැපී පෙනුණි. ආසියාවේ දක්ෂතම ක‍්‍රීඩිකාවන් 32 අතරේ පැවති සටනින් ජය ගනිමින් ඉතිහාසයට එක්වන්නට ප‍්‍රියදර්ශනී මුතුමාලීට ඒ අනුව හැකි විය.
එවන් දක්ෂතාවයක් මෙවර ප‍්‍රදර්ශනය කළ දකුණු ආසියාවේ එකම ක‍්‍රීඩිකාව බවට ද මුතුමාලි ප‍්‍රියදර්ශනී පත් වූවාය.
එහිදී ඉරාණ ජාතික ෆාරී මේරීයම්ට එරෙහිව තරග වට 03 – 01 ක ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට මුතුමාලී ප‍්‍රියදර්ශනීට හැකි විය. ආරම්භක වටයේදී 05 – 11 ක් ලෙස පරාජය ලැබීමෙන් අනතුරුව ලූහුබැඳ ගොස් 02 වටය 11 – 07 ක් ලෙස ද 03 වටය 11 – 09 ක් ලෙස ද 04 වටය 11 – 08 ක් ලෙස ද ජයග‍්‍රහණය කිරීම එහිදී කැපී පෙනුණි.
ආසියානු ටේබල් ටෙනිස් සම්මේලනයේ මෙහෙයවීමෙන් කටාර් දේශයේදී දැන් ක‍්‍රියාත්මක 25 වැනි ආසියානු ටේබල් ටෙනිස් කේවල තරගාවලියේ පළමු 32 අතරට සුදුසුකම් ලබා ගැනීමට ශ‍්‍රී ලංකාවේ මුතුමාලී ප‍්‍රියදර්ශනීට අමතරව බිමන්දී බණ්ඩාර, තනුෂී රුද්‍රිගෝ සහ සෙනුර සිල්වා යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමත් වීම ද කැපී පෙනුණි.
සෙනුර සිල්වා, බිමන්දී බණ්ඩාර සහ තනුෂී රුද්‍රිගෝ ආසියාවේ හොඳම 16 දෙනාගේ වටයට වරම් ලබා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.
ආසියානු මේස පන්දු තරග ඉතිහාසයෙහි හොඳම දක්ෂතාවය මෙවර ප‍්‍රදර්ශනය කිරීමට මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත් වී සිටීම ද ප‍්‍රශංසනීයය.
මෙවර කණ්ඩායම් තරගාවලියේ 12 වෙනි ස්ථානය ක‍්‍රීඞීකාවන් විසින් ද 18 වැනි ස්ථානය ක‍්‍රීඩකයන් විසින්ද හිමිකර ගන්නට සමත් වීම ද කැපී පෙනුණි.
මෙම තරගාවලියේ 07 වැනි දින තරග අද (04 දා) කටාර් දේශයේ දෝහා නගරයේ පිහිටි ‘‘සේල්’’ ක‍්‍රීඩාගාරයේදී ක‍්‍රියාත්මක කෙරේ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර