ආසියානු සහාය දිවීමේ තරගාවලියේදී – ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

189

තායිලන්තයේ බැංකොක් අගනුවර දී දැන් ක්‍රියාත්මක ප්‍රථම ආසියානු සහාය දිවීමේ තරගාවලියේ ආරම්භක දිනය වූ ඊයේ (20දා) සවස රිදී පදක්කමක් දිනා ගනිමින් කැපී පෙනෙන්නට සයුරී මෙන්ඩිස්, නදීෂා රාමනායක, අරුණ දර්ශන සහ ලක්ෂාන් කොඩිකාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම සමත් විය.

මීටර් 400 ඥා 4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ දෙවන ස්ථානය හිමි කර ගැනීමත් සමගින් පළමු පදක්කම සටහන් කර ගැනීමට ඒ අනුව ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි. රිදී පදක්කම දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සටහන් කළ තරග නිමි කාලය මිනිත්තු 3.17.0 කි.

එකී ඉසව්ව මිනිත්තු 3.14.12 කින් නිමා කළ ඉන්දියාවට රන් පදක්කම හිමි වූ අතර ලෝකඩ පදක්කම වියට්නාමය සතු විය. වියට්නාමයට ගතවූ කාලය මිනිත්තු 3.18.48 කි.

පළමු ආසියානු මීටර් 400 ඥා 4 මිශ්‍ර සහාය දිවීමේ අවසාන තරගය කටාර් රාජ්‍යය, කසකස්ථානය, පිලිපීනය, වියට්නාමය, තායිලන්තය, ශ්‍රී ලංකාව, චීන තායිපේ සහ ඉන්දියාව අතර පැවැත්විණි.

මංතීරු අංක 06 යටතේ ශ්‍රී ලංකාව තරග වැදුනු අතර රන් පදක්කම් ලාභී ඉන්දියාව මංතීරු අංක 08න් ධාවනයට එක්විය. තරගය ආරම්භයේ සිටම පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්වීම කැපී පෙණුනු නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සටන්කාමී ධාවනය ප්‍රශස්ථ මට්ටමක පැවතීම ද අගය කළ යුතුය.

මෙවර තරගාවලියේ දෙවන හා අවසාන දිනය වන අද (21) සවස පිරිමි මීටර් 100 X 4, කාන්තා මීටර් 100 X 4, පිරිමි මීටර් 400 X 4, සහ කාන්තා මීටර් 400 X 4 සහාය දිවීමේ තරග ඉසව්වලට ශ්‍රී ලංකාව සහභාගී වෙති.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment