ආසියානු හොකී සම්මේලන කුසලාන පිරිමි හොකී තරගාවලිය

145

ශ‍්‍රී ලංකාව අද ඕමානය සමග අවසන් පූර්ව සටනේ

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර දී දැන් ක‍්‍රියාත්මක 06 වැනි ආසියානු හොකී සම්මේලන කුසලාන පිරිමි හොකී තරගාවලියේ ප‍්‍රථම අවසන් පූර්ව තරගය අද (19) පස්වරු 4.00 ට ආරම්භ කෙරෙන අතර එහිදී ප‍්‍රතිවාදී ඕමානයට එරෙහිව ශ‍්‍රී ලංකා පිල සටන් වදියි.

ලීග් ක‍්‍රමයට ක‍්‍රියාත්මක කෙරුණු මූලික වටයේ දී ‘‘ඒ’’ කාණ්ඩයේ ඉහළම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියමින් ශ‍්‍රී ලංකාව ද ‘‘බී’’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය තහවුරු කර ගනිමින් ඕමානය ද මෙම අවසන් පූර්ව තරගය සඳහා වරම් ලබා ගෙන තිබේ.

‘‘ඒ’’ කාණ්ඩයට අයත් වූ උස්බෙකිස්තානය ගෝල් 05 – 00 කින් ද, තායිලන්තය ගෝල් 06 – 02 කින් ද කසකස්තානය ගෝල් 04 – 00 කින් ද ලෙස පහසුවෙන් පරාජය කිරීමට

ශ‍්‍රී ලංකා පිලට හැකි විය. එම කාණ්ඩයේ දෙවන ස්ථානය කසකස්තානය සතු විය.

2016 වසරේ හොංකොං දේශයේ දී පවත්වන ලද අවසන් තරගාවලියේ රිදී පදක්කම දිනා ගන්නට නිලන්ත ද සිල්වාගේ නායකත්වයෙන් සමන්විත වූ ශ‍්‍රී ලංකා පිල ට හැකි විය. 1997 සිට ලෝකඩ පදක්කම් ත‍්‍රිත්වයකට ද හිමිකම් කියා ඇති ශ‍්‍රී ලංකා පිල අද තරගයේ දී තම උපරිම දක්ෂතාව ප‍්‍රදර්ශනය කරනු ඇතැයි අනුමාන කෙරේ.

ජාත්‍යන්තර තරග අත්දැකීම් ලාභී ක‍්‍රීඩකයන් මෙන්ම ජවයෙන් පිරි තරුණ ක‍්‍රීඩකයන් බොහෝ දෙනකු සිටීම

ශ‍්‍රී ලංකා පිලට අමතර වාසියකි. මධුරංග විජේසිංහ ගේ නායකත්වයෙන් හා තරංග ගුණවර්ධනගේ උප නායකත්වයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම අද තරගයට අවතීර්ණ වන අතර ඒ අතරට ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමට මීට පෙර නායකත්වය දී ඇති ඉෂංක ජයසුන්දර, ලහිරු වීරසූරිය, නලන්ත ද සිල්වා සහ එස්. ප‍්‍රියලංකා ඇතුළත්ව සිටීම ද ශක්තිය කි.

මෙවර තරගාවලියේ මූලික වටය සඳහා බංග්ලාදේශය, ඕමානය, ශ‍්‍රී ලංකාව, කසකස්ථානය, ඉන්දුනීසියාව, ඉරානය, උස්බෙකිස්ථානය සහ තායිලන්තය එක් වූ අතර එහි තීරණාත්මක අවසාන තරගය හෙට (20) සවස පැවැත්වීමට ආසියානු හොකී සම්මේලනය පියවර ගෙන තිබේ.

සුපුරුදු පරිදි මෙවර අවසාන මහා තරගයට වරම් ලබන දෙපිල මීළඟ ආසියානු කුසලාන තරගාවලිය සඳහා වරම් ලබති.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment