ආහාර හිඟයක් ඇතිවීම යථාර්ථයක් නොවීමට නම්…

1021

දැන්වත් හැඟීම්වලට වහල් නොවෙමු. මුරණ්ඩු දේශපාලනය, අත්තනෝමතික තීරණ, සාවද්‍ය දත්ත විශ්ලේෂණ, දවල් නොව රාත්‍රියේදීවත් නොදැකිය යුතු සිහින මත පදනම්වූ තීරණ, සහ දුර්වල ආර්ථික කළමනාකරණය වැනි තවත් බොහෝ කාරණා හේතුවෙන් ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයට මෙන්ම ආහාර සුරක්ෂිතතාවට සිදුවී ඇති හානිය පිළිබඳ කරුණු පහදා දීමට අමුතුවෙන් අවශ්‍ය නැත. රජය, විපක්ෂය සහ සමස්ත ජනතාව ඒ පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කරනු දක්නට ලැබේ. අර්බුදයේ දිග, පළල, සහ ගැඹුර පිළිබඳව දැනුවත් වී ඇතුවාක් මෙන්ම මෙම අර්බුදයෙන් ගොඩ යෑමට අවශ්‍ය ශක්තිමත් අඩිතාලමක් දැමෙමින් පැවතීම සහ යහපත් ක්‍රියාමාර්ග ගනුදැකීම, ආහාර අර්බුදය ගැන තිබූ බිය සහ අවිනිශ්චිතතාව ටිකෙන් ටික ඈතට ගෙන යමින් පවතී. ඒ හා සම්බන්ධ ක්‍රියාකරන සහ ක්‍රියාකළ සැමට ප්‍රණාමය පුද කරමි. එහෙත් අනතුර පහව ගොස් නොමැත. අර්බුදයෙන් ගොඩයෑමට වර්තමානයේදී  ගනිමින් පවතින ක්‍රියාමාර්ග කිසිලෙසකින්වත් අඩපන කළයුතු නැත. යම් හෙයකින් මෙම ක්‍රියාමාර්ග යම් තරමකින් හෝ පසුබැස්මක් වුවහොත්, නැවත ගොඩ ඒමකට ඉඩක් නොතබාම, අප කෘෂි ආර්ථික අර්බුදයේ පතුලෙහි ගිලී නොපෙනී යනු ඇත.

 මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට නියත වශයෙන් සහල් හිඟ වනු ඇතැයි කරනු ලැබූ විද්‍යාත්මක පුරෝකථනයන්, එවන් තත්ත්වයක් ඇතිවනවා දැයි අත පය හකුලා බලා සිටීමට නොව එයින් වැළකීම සඳහා අවශ්‍ය ඉක්මන් පියවර ගැනීමට කරන ලද අනතුරු ඇඟවීමක් සහ ආරාධනයකි. මෙම දැනුවත්වීමේ ක්‍රියාවලිය තුළ මෙවන් තත්ත්වයක් ඇතිවීමට තුඩුදුන් තීරණ ගත් අවාසනාවන්ත සහ අවිධිමත් ක්‍රමෝපායන් පිළිබඳව මතක් කිරීමක්ද සෑම විටකදීම අප විසින් කර ඇත. මක්නිසාද යත්, නැවතත් එවැනි තත්ත්වයකට ශ්‍රී ලංකාව පත්නොකිරීමට වග බලාගනු සඳහාය. එම අමිහිරි අතීතය ඉදිරි වසර ගණනාවකදීත් ආවර්ජනය කළ යුතුව ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, තේ පර්යේෂණායතනය වැනි අදාළ රේඛීය රාජ්‍ය ආයතනත්, විශ්වවිද්‍යාලවල කෘෂිකර්ම පීඨ ඇතුළු අනෙකුත් විශ්වවිද්‍යාල ප්‍රජාව, පුද්ගලික අංශය සහ විශේයෙන් වී, බඩඉරිඟු, තේ සහ අනෙකුත් බෝග මෙන්ම සත්ත්ව පාලනයේ යෙදෙන්නාවූ ගොවි ප්‍රජාව විසින් දශක හතක් පුරාවට ගොඩනඟාගත් ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තය නැවතත් වළ පල්ලට ඇද දැමීමට කිසිසේත් ඉඩ දිය යුතු නැත. ආහාර සුරක්ෂිතතාව යනු ජාතික ආරක්ෂාවයි. එයට හානිකිරීමට කිසිවකුට ඉඩ නොදිය යුතුය.

 කෘත්‍රිම (රසායනික) පොහොර සහ පලිබෝධනාශක ගෙන්වීම තහනම් කිරීමට මීට වසරකට පෙර ගත් තීරණය මෙම කෘෂි ආර්ථික අර්බුදයට අප ඇද දැමීමට මූලික වූ බව අමුතුවෙන් නොකිවමනාය. අපගේ ප්‍රධාන වගා කන්නය වන මහ කන්නයට එයින් වූ අනිසි බලපෑම් ඉතා දරුණුය. 2021 ඔක්තෝබර් මාසයේ අරඹා 2022 පෙබරවාරි සහ මාර්තු මාසවල අස්වැන්න නෙලූ අපේ ප්‍රධාන ආහාර බෝගය වන වී වගාවේ අස්වැන්න 50% කින් සහ ප්‍රධාන සත්ත්ව ආහාර බෝගය වන බඩඉරිඟු වගාවේ අස්වැන්න 65-70% කින්, මෙන්ම ප්‍රධාන අපනයන බෝගයේ 2022 මුල් කාර්තුවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 52 කින් (2021 මුල් කාර්තුවට සාපේක්ෂව) පහත වැටීම එම අවාසනාවන්ත කඩිනම් තීරණය කෘෂි ආර්ථිකය කෙරෙහි වසරක් වැනි කෙටි කලක් තුළ ඇතිකළ අගතියේ බරපතළ බව හිත සසලවන අයුරින් පැහැදිලි කරයි.

 2022 වසරේ මාර්තු මාසයේ සිට දැනට පවතින යල කන්නයේ ගොවිතැන ආරම්භ කළද, ගොවි ප්‍රජාව මුහුණ දුන්නේ පසුගිය 2021/2022 මහ කන්නයට වඩා දරුණු තත්ත්වයකටය. වගාව ආරම්භක අවස්ථාවේ පැල ගොයමට අවශ්‍යවන පොහොර ප්‍රමාණයවත් අප සතුව නොතිබිණ. රෝග පලිබෝධ හානිවලට පිළියම් යෙදීමට නිර්දේශිත පලිබෝධනාශක නොමැති වුවත් හොර රහසේ ශ්‍රී ලංකාව ගෙන්වන ලද මිට දශක දෙකකට පමණ පෙර අප විසින් ආනයනය කිරීමට සහ භාවිතයට තහනම් කරන ලද පලිබෝධනාශක සමග වගා කටයුතු කිරීමට ඔවුන්ට සිදුවූ බව නොරහසකි. කෘෂිකර්මාන්තයට අවශ්‍ය ප්‍රදාන යෙදවුම් කාණ්ඩ දෙකක ආනයනය තහනම් කරන ලද අවස්ථාවේ (2021 අප්‍රේල් 27, සහ ඊට අනුරූපව අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කළ 2021 මැයි 6) අප රට විදේශ විනිමය අර්බුදයක පවතී යැයි කිසිදු නිල දැනුම් දීමක් ශ්‍රී ලාංකීය ජනතාව වෙත ලබා නොදුන්නද, එම තීරණ ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය 2021 නොවැම්බර් 30 නිකුත් කරන විට අප රට බරපතළ විදේශ විනිමය අර්බුදයක සිටින බව සැමදෙනාටම පසක් වී තිබුණි. ගෝලීය වශයෙන් විවිධ හේතු නිසා මිල ඉහළ යමින් තිබුණ රසායනික පොහොර සහ පලිබෝධනාශක, ඒවා සඳහාවූ ආනයන තහනම ඉවත් කිරීමෙන් පසුව හෝ අප රටට අවශ්‍ය ප්‍රමාණයට ආනයනය කිරීමට නොහැකි වූයේ ඒ හේතුවෙනි.

 යම් පමණකට හෝ නයිට්‍රජන් පෝෂකය අඩංගු යූරියා පොහොර ගෙන ඒමට පුද්ගලික අංශය 2022 මුල් භාගය වනවිට කටයුතු කර තිබුණි. (මෙ.ටො. 13,000 ක් පමණ). එහෙත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවුන අතර එම  ගෙන්වන ලද සුළු ප්‍රමාණය හෝ ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය හමුවේ රුපියලේ අගය දරුණු ලෙස කඩා වැටීම, පුද්ගලික අංශයට පසුගිය වකවානුවේ පොහොර සහනාධාරය වෙනුවෙන් රජය විසින් ගෙවිය යුතුව තිබූ රුපියල් බිලියන 23 ක හිඟ මුදල හා බැඳුනු පොලී අනුපාතික වැනි හේතු නිසා, අධික මිල ගණන් යටතේ අලෙවි කරනු දක්නට ලැබිණ. සීමිතව සැපයුණු එම යූරියා ප්‍රමාණය මිලදී ගැනීමට ඉඩ ලැබුණේද සීමිත පිරිසකට පමණි. කෘත්‍රිම පොහොරවලට අමතරව, යල කන්නයේ වී වගාවට වැඩියෙන්ම අවශ්‍ය වන වල් නාශක ආනයනය ද නැවතී තිබුණි. හොඳින් යාන්ත්‍රීකරණය වී තිබූ වී වගාවේ බිම සැකැස්ම සහ අස්වනු නෙළීමට අවශ්‍ය වන ඉන්ධන නොමැති වීම මහ කන්නයේ අස්වනු මෙම වසර මුල් භාගයේ නෙළන විටදීත් ඇතිවෙමින් පැවති ගැටලුවකි. ඉන්ධන නොමැති වීම ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සීමා වීම හේතුවෙන් සිදුවූවාක් නොව ඒවා මිලදී ගැනීමට රටක් ලෙස අපට තිබූ ආර්ථික ශක්තිය අපේ පාලකයන් විසින්ම නැති කර දැමීම නිසා ඇති වූවකි.

 පසුගිය මහ කන්නයේ දී ගොවි බිමට බසිනු වෙනුවට තාර පාරට පිවිසි ගොවි ජනතාව ඉල්ලා සිටියේ පොහොර ලබා දෙන ලෙසය. එම කන්නයේ බැට කෑ ගොවි ජනතාව, මෙවර යල කන්නය ආරම්භ කිරීමට පෙර නැවතත් තාර පාරට පිවිසුනේ වල් නාශක, පොහොර සහ ඉන්ධන ලබා දෙන ලෙස ය. පසුගිය මහ කන්නයේ වී ගොවීන් විසින් බෝගයේ මූලික වර්ධනයට අවශ්‍ය නයිට්‍රජන් පොහොර, විශේෂයෙන් යූරියා, ලබා දෙන ලෙස ඉල්ලූ විට ලැබුණේ බෝගයේ පසු අවස්ථාවක අවශ්‍ය වන පොටෑසියම් අඩංගු බන්ඩි පොහොර ය. මෙවර වගා කටයුතු කරන කාලයේදී බන්ඩි පොහොර ද නොමැත. ගොවි බිමේ වැඩ ගැන හොඳින්ම දන්නා ඔවුන්ගේ එම අවශ්‍යතාව නොසලකා හැරීම නිසා මේ වනවිට මුළු රටට දරන්නට සිදුවී ඇති වියදම සහ ගෙවීමට ඇති වන්දිය මෙතෙකැයි ගණන් බැලීම පහසු නොවේ. මෙම වියදම දැනටමත් නන්දෙසින් බැටකන මහජනතාව විසින් දැරිය හැක්කක් නොවේ. එවන් තීරණ ගත් සහ ඒ සඳහා උපදෙස් දුන් අයගෙන් මෙම වියදම අය කරගන්නේ නැත්නම්, එම වියදම ද දරන්නට වන්නේ සමස්ත මහ ජනතාවටය, රටේ භාණ්ඩාගාරයට ය.

 උගත් පාඩම් බොහොමයකි. දැන් සිදුව ඇත්තේ වහා එම අර්බුදය අවම කිරීමට හෝ කටයුතු කිරීමය. අපේ රටේ සාමාන්‍ය සහල් අවශ්‍යතාව වසරකට මෙ.ටො. ලක්ෂ 23-24ක් පමණ වේ. අපේ සහල් පරිභෝජනය කරන ප්‍රමාණය අඩු කරන්නේ නැත්නම්, මෙම අර්බුදය හමුවේ පසුගිය මහ සහ වර්තමාන යල කන්න දෙකෙහි අස්වැන්න 50% කින් අඩුවීම තුළින්, මේ වසරේ අවසන් මාස දෙක වනවිට අපේ රටේ වී ගොවිතැන මගින් සැපයෙන සහල් වලින් අපේ සම්පූර්ණ අවශ්‍යතාව සපුරාලීමට නොහැකිවනු ඇත. වසර ගණනාවකට පසු ඇතිවන මෙම තත්ත්වය ලබන මහ කන්නයේ (2022/2023) වී අස්වැන්න කොටා වෙළෙඳපොළට නිකුත් කරන තුරුම බලපානු ඇත. විගසින් කළ යුතුව ඇත්තේ සහල් ආනයනය කර හෝ ජනතාවගේ අවශ්‍යතාවන් සැපයීමය.

 2021 අප්‍රේල් මස දී පාලකයන් විසින් ගත් මෙම අත්තනෝමතික තීරණය නිසා 2022 වසරේ දී සහල් මෙ.ටො. ලක්ෂ 8-10 අතර ප්‍රමාණයක් අප රටට ආනයනය කරනු ඇති බව පසුගිය වසරේ සිට බොහෝ විද්‍යාඥයන් විසින් පුරෝකථනය කරන ලදී. ආහාර හිඟය යනු මෙයයි. විද්‍යාත්මක විශ්ලේෂණ මත පදනම් වූ මෙම පුරෝකථන දේශපාලකයන් විසින් සහ ඔවුන්ගේ කේවට්ට උපදේශකයන් විසින් සිනහවට ලක්කළ අවස්ථා බොහොම ය. එහෙත් එය සත්‍යයක් බවට පත්වීමට වැඩි කලක් ගොස් නැත. මේ වසර මුල් මාස 6 වනවිට අපේ රටට සහල් මෙ.ටො. 365,000 ක් පමණ ආනයනය කර ඇත. අවම වශයෙන් තවත් මෙ.ටො. ලක්ෂ 4 ක් පමණ අපේ වාර්ෂික සහල් අවශ්‍යතාව සැපිරීමට ඉදිරි මාස කිහිපය තුළ ආනයනය කිරීමට සිදුවනු ඇත. ලෝක සහල් නිෂ්පාදනයෙන් වෙනත් රටකට මිලදී ගැනීමට ඇත්තේ 4% ක පමන ප්‍රමාණයක් බැවින්, ගෝලීය ආහාර අර්බුදයක් පෙනෙනතෙක් මානයේ නිර්මාණය වෙමින් පවතින මොහොතක, මෙම සහල් ආනයනය මනාව සැලසුම් කළ යුතුව ඇත. මෙමගින් මෙම වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඇතිවීමට නියමිත සහල් අර්බුදය සැලකිය යුතු මට්ටමකින් විසඳාලීමට හැකිවනු ඇත. ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය සපුරා ගැනීමට ද ප්‍රමුඛතාවක් දී කටයුතු කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුතු කාර්යයකි.

 ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 180ක් වටිනා සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දැනටමත් ආනයනය කර ඇති අතර, තවත් ඇමෙරිකානු ඩොලර් 70 ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේ සැලසුමක් පවතී. මීට අමතරව, 2022 ජුලි 1 සිට සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ක් විවෘත ගිණුම් ක්‍රමය ඔස්සේ ආනයනය කිරීමට ගෙන ඇති තීරණයද මෙම අර්බුදය ලිහිල් කිරීමට උපකාරී වනු ඇත.

 යූරියා වැනි කෘත්‍රිම පොහොර අවශ්‍යතාවට අනුව සැපයීමට නොහැකිවීම මෙම ආහාර අර්බුදයේ එක් ප්‍රධාන සාධකයකි. මෙම යල කන්නයේ නයිට්‍රජන් පොහොර අවශ්‍යතාව සපුරාලීමට නොහැකි වුවද, කෙසේ හෝ පොහොර අවශ්‍යතාවෙන් යම් පමණක් හෝ ලබාදීමට රජය උත්සාහ දරමින් සිටීම පැසසිය යුතු කරුණකි. කෘෂිකර්ම අමාත්‍යාංශය සහ රජය එක්ව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 55 ක් වටිනා යූරියා පොහොර මෙ.ටො. 65,000 ක් ඕමානයෙන් ආනයනය කිරීමට කටයුතු යොදා ඇත. මෙම පොහොර තොගය ලබන ජුලි මස 6 වැනි දා පමණ වනවිට අප රටට ළඟා වනු ඇත. යල කන්නයේ අවසන් භාගය ළඟාවී තිබුණද, එම පොහොර ප්‍රමාණය කඩිනමින් ගොවි ජනතාව වෙත ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතනවල කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ නිවාඩු ජුලි 6 සිට 15 දක්වා අවලංගු කර ඇත. කැපවීම පැහැදිලිය. මීට අමතරව එකසත් ජාතීන්ගේ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මගින්ද යූරියා මෙ.ටො. 18,000 ක් වී වගාව සඳහාම නුදුරු අනාගතයේදී ආනයනය කිරීමට නියමිත ය. පමා වී හෝ ලැබෙන යූරියා පොහොර දැනට වගා වෙමින් පවතින වී ගොවිතැනට එක මුරයක් හෝ ලබා දුනහොත්, අසාධ්‍ය රෝගියකුට සේලයින් ලබා දුන්නාක් මෙන්, යම් අස්වනු වැඩිවීමක් හෝ ලැබෙනු ඇත. එමගින් ද, ආහාර අර්බුදයේ දරුණු බව යම් පමණකට හෝ අඩු කරගත හැක.

 සීමාකාරී සැපයුමක් ඇතිවිටදී, පොහොර හෝ වෙනත් යෙදවුමක් ලබාදීම සඳහා බෝග ප්‍රමුඛතා ගත කිරීම කළ යුතුවේ. මෙහිදී ප්‍රධාන ආහාර බෝගය වන වී, ප්‍රධාන සත්ත්ව ආහාර බෝගය වන බඩඉරිඟු සහ ප්‍රධාන අපනයන බෝගය වන තේ වගාව සඳහා ප්‍රමුඛතාව ලබා දීම ඉතා උචිත බව හැඟේ. අන් සියලුම බෝග වගා සඳහා ඉන් අනතුරුව එම සම්පත් පැතිරීයන සැලැස්මක් ක්‍රියාත්මක කළයුතු වේ. සහල් මෙන්ම අනෙකුත් ආහාර නිෂ්පාදන බෙදාහැරීම සඳහා ගොවි ප්‍රජාවට මෙන්ම සමස්ත ආහාර පද්ධතියේ සේවා සපයන්නන් හට යම් ප්‍රමුඛතාවක් දෙමින් ඉන්ධන ලබාදීමටද වහාම පියවර ගත යුතුව ඇත. දැනටමත් ගොවි ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන ලබාදීම සඳහා ඉන්ධන පිරවුම්හල් නම්කර තිබීම පැසසිය යුතුය. එය තවදුරටත් ක්‍රියාන්විත තත්ත්වයට පත්කළ යුතුය. මෙවන් කටයුතුවලින් ආහාර අර්බුදයක් ඇතිවන කාලය පසුපසට තල්ලු කර දමනු ඇත. අපේ බලාපොරොත්තුව ද ව්‍යයාමයද එයයි.

 2022 ජුනි 24 සිට ක්‍රියාත්මක වන පරිදි සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා දේශීය මෙන්ම ආනයනය කරනු ලබන සහල් හෝ වී, විකිණීම හෝ භාවිත කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. රටේ සහල් අවශ්‍යතාවය සපුරා ගැනීමට යම් මෙහෙයක් මෙයින් සිදුවනු ඇත. නමුත් සත්ත්ව ආහාර නිෂ්පාදනය (විශේෂයෙන් කුකුළු ආහාර) සඳහා අත්‍යවශ්‍ය ශක්ති ප්‍රභවය බඩඉරිඟු වන අතර, මින් පෙර මෙයට ආදේශකයක් ලෙස බොහෝවිට යොදා ගත්තේ සුනු සහල් ය. මින් පෙර සඳහන් කළ පරිදි බඩඉරිඟු අස්වනු ද පසුගිය මහ කන්නයේදී දැඩි අස්වනු අඩුවීමකට ලක්වී ඇත. සාන්ද්‍ර සත්ත්ව ආහාර නිපදවීමේදී ශක්ති ප්‍රභවයක් ලෙස 60% ක් භාවිත කෙරෙන්නේ බඩඉරිඟු වන අතර සත්ත්ව ආහාර නිෂ්පාදනයට මාසිකව බඩඉරිඟු මෙ.ටො. 45,000 – 50,000 පමණ අවශ්‍ය වේ. මෙයින් මෙ.ටො. 125,000 ක් ගෙන්වීමට 2022 වසරේ දී මේ වනවිට අවසර ලබාදී ඇතිමුත් විදේශ විනිමය ගැටලු ඇතුළු කරුණු හේතුවෙන් තවමත් ආනයනය කර ඇත්තේ මෙ.ටො. 20,000ක් පමණි. අපේ ප්‍රධාන ආහාරය වන බත සපයන වී වගාව ආරක්ෂා කරගත යුතු බව සත්‍යයකි. එහෙත් ප්‍රධාන සත්ත්ව ආහාරය වන සහ ප්‍රධාන ප්‍රෝටීන සපයන ප්‍රභවයක් වන සත්ත්ව මාංශ සැපයීම සඳහා වැදගත් වන බඩඉරිඟු සැපයීම පිළිබඳවද දැඩි අවධානයක් යොමු කළ යුතුය. මක්නිසාද යත්, ආහාර සුරක්ෂිතතාව මෙන්ම ප්‍රෝටීන මන්දපෝෂණය වළක්වා ගැනීමද මෙවන් අවස්ථාවක අතිශයින්ම වැදගත්වන බැවිනි.

 වගා කළ හැකි සෑම බිම් අඟලක්ම වගා කරමින් ආහාර අර්බුදයෙන් ගොඩ ඒමට සහාය වන්න යැයි රජය විසින් මහා ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙය වැදගත් ඉල්ලීමකි. මෙම පණිවුඩය සෑම දෙනාටම වැදගත් වන්නේ සහ වටහාගත යුතු වන්නේ වගා කළ හැකිව තිබූ නමුත් දැනට වගා නොකරන ලද ඉඩම් වගාවකට ලක් කරන ඉල්ලීමක් ලෙස ය. වනාන්තර වැනි ස්වාභාවික පරිසර පද්ධති වගාවකට යොමු කිරීම මෙයින් අදහස් වන්නේ නැත. දැනටමත් දුමිරිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත ඉඩම් සමහරක් වසරක කාලයකට ගොවිතැන සඳහා මුදාහැරීමට කැබිනට් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. මෙම කටයුත්ත පැහැදිලි අධීක්ෂණයකින් යුතුව කරතැයි විශ්වාස කරමි. රටට අවශ්‍ය ආහාර ප්‍රමාණය සහ ඒ සඳහා බෝග වගා කළයුතු වපසරිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගණනය කර ඇත. අපට අවශ්‍ය වන්නේ එක කන්නයකින් හෝ දෙකකින් ආහාර අතිරික්තයක් ඇති කර පුරසාරම් බාමින් වෙළෙඳපොළ බිඳ වැට්ටවීම සහ වාණිජ මට්ටමෙන් වගා කරන ගොවි ප්‍රජාවගේ ආර්ථිකය බිඳ වැට්ටවීමට නොව, සමස්ත ආහාර පද්ධතිය පිළිබඳ හොඳ විවරණයකින් සහ අවබෝධයකින් යුතුව තිරසාර කළමනාකරණයකින් යුතුව ක්‍රියා කිරීමය. ගෙවතු වගා කිරීමේදී ද මෙම තත්ත්වය වටහා ගැනීම වඩා වැදගත් වේ. ගෙවතු හෝ මහල් නිවාසවල සීමිත ඉඩක වගා කිරීමේදී ආහාර නිපදවන ප්‍රමාණය වෙනුවට බත් පතෙහි පෝෂණීය ගුණය වැඩි කරන කෙටිකාලීනව අස්වනු දෙන බෝගවලට අවධානය යොමු කිරීම වඩා වැදගත් වේ.

 රටක ආහාර අර්බුධයක් ඇතිවන සෑම අවස්ථාවකදීම එහි ප්‍රධාන බලපෑම් මුලින්ම ඇතිවන්නේ නාගරික ජනතාවට ය. ඒ ආහාර පද්ධතිය තුළ ග්‍රාමීය සහ නාගරික සම්බන්ධතාව බිඳ වැටීම තුළිනි. ගොවි ප්‍රජාව සැමවිටම තම නිවැසියන්ගේ අනාගත ආහාර අවශ්‍යතාව සිය නිෂ්පාදනය තුළින්ම ගබඩා කරනු ඇත. වෙළෙඳපොළට එන ආහාර ප්‍රමාණය මෙයින් සීමා වන නමුදු මෙවන් අවස්ථාවක ඔවුනට කිසිදු වරදක් කීමට නොහැක. අනාගත කෘෂිකාර්මික ක්‍රියාවලිය තුළ තවමත් පවතින අවිනිශ්චිතතාව, මෙවර යල කන්නයේ වගාවන් අසාර්ථක වීමට ඇති ඉඩකඩ, වැනි බොහෝ දේ මෙයට බලපානු ඇත. එහෙත් ගැටලුව වන්නේ වෙළෙඳපොළට ලැබෙන සීමිත ආහාර ප්‍රමාණය පාරිභෝගිකයන් විසින් ඉවක් බවක් නැතිව මිලදී ගැනීමෙන් සහ මිලදී ගැනීමේ හැකියාව ඇත්තවුන් අනවශ්‍ය පරිදි එම ආහාර ගබඩා කිරීමෙන් වෙළෙඳපොළ තුළ ඇතිකරන කෘත්‍රිම ආහාර හිඟය ය. මෙය කෙසේ හෝ නවතාලිය යුතුය. වෙළෙඳපොළ ක්‍රියාකාරීන් විසින් ආහාර මිල ඉහළ නංවාලමින් ලාභ ලැබීම, වැටලීම් මගින් යම් පමණකට හෝ වළක්වාලිය හැකි නමුත්, ගෘහාශ්‍රිතව ඇතිවන මෙවන් තත්ත්වයක් නීතිමය පදනම් තුළින් තහනම් කිරීම අපහසු කාර්යයක් වනු ඇත. එබැවින් කළයුතුව තිබෙන්නේ මේ අවස්ථාවේ පටන් එවන් ආහාර එක්රැස් කිරීමකට උල්පන්දන් නොදීම සහ එහි ආදීනව පිළිබඳ කැරුණු පැහැදිලි කරදීම ය. මෙය රජය සහ අප සියලු දෙනාගේම වගකීමක් වනු ඇත. අවසානයේ බැට කනුයේ නැති බැරි මිනිසාමය.

 අපේ ආහාර පිඟානෙන් ඉවත ලන ආහාර ප්‍රමාණය පිළිබඳ දැඩි විමසිල්ලකින් පසුවිය යුතු කාලය එළඹ ඇත. මෙවන් ආහාර අර්බුදයකදී මෙන්ම ඉන් මතුවටත් මෙම ආහාර අපතේ යෑම හැකි පමණ අඩු කරගත යුතුය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න මහතාට අනුව ගෘහාශ්‍රිත කෑම පිඟානෙන් අපතේ යන ආහාර ප්‍රමාණය සාමාන්‍යයෙන් 10% ක් පමණ වේ. එම අපතේ යෑම ආපන ශාලා සහ හෝටල් ආශ්‍රිතව 15-30% ක් වන අතර බුෆේ ක්‍රමයට උත්සවවලදී ආහාර සැපයීමේදී 50% ක් පමණ අගයකට ඉහළ යා හැක. ප්‍රධාන හෝටල්වලදී ඉවතලන ආහාර බොහෝවිට ගොවිපළවල සත්ත්ව ආහාර ලෙසද උපයෝගි කරගන්නා නමුදු ගෘහාශ්‍රිතව එවන් භාවිත අවමය. එබැවින් දැන් සිටම අපට හැකි ආකාරයෙන් ආහාර අපතේ යෑම අඩුකර හෝ වළක්වාගත හොත්, එයින් රටට සිදුවන වාසිය අතිමහත් ය. එමගින් අපට ආහාර සැපයීමට ඇති පීඩනයත්, මෙවන් දුෂ්කර අවස්ථාවකදී ආහාර ආනයන සඳහා අවශ්‍ය විදේශ විනිමය සොයා ගැනීමේ පීඩනයත් අඩු වනු ඇත.

 අප අතින් ගිලිහී ගොස් තිබෙන ආහාර සුරක්ෂිතතාව රැකගැනීම සඳහා ලබන මහ කන්නය අති සාර්ථක කරගැනීම අනිවාර්ය වනු ඇත. ඇසුරු සැනින් විනාශ කළ කෘෂිකර්මාන්තය එක කන්නයකින් ගොඩනැඟිය නොහැක. නමුත්, ලබන මහ කන්නය සාර්ථක කරගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙන්ම අදාළ රේඛිය ආයතන දරන උත්සාහය පැසසිය යුතුය. ලබන මහ කන්නය සඳහා අවශ්‍යවන බිත්තර වී මෙ.ටො. 80,000 ක ප්‍රමාණය මෙම යල කන්නය තුළින් සපයා ගැනීමට දැනටමත් කටයුතු කර ඇත. ලබන මහ කන්නය සඳහා පොහොර අවශ්‍යතාවෙන් යූරියා මෙ.ටො. 150,000 ක් සපයා ගැනීමට ලෝක බැංකුව මගින් ඇමෙරිකානු ඩොලර් 110,000 ක්ද, මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙ.ටො. 36,000 ක් ලබා ගැනීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් 40,000 ක් ද ලබා ගැනීමට රජය සමත්වී ඇත. සත්‍ය වශයෙන්ම රජය, පුහු තර්ක සහ මිථ්‍යාවන් පසුපස නොගොස්, “වැඩේ කරට ගෙන ඇත”.

 අපේ කෘෂිකර්මාන්තය ලබන මහ කන්නයෙන් නිම වන්නේ නැත. 2023 යල කන්නයෙන් එය නැවත පටන් ගත යුතුව ඇත. මෙහිදී රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයට ශක්තිය සැපයීමට රාජ්‍ය විශ්වවිද්‍යාලවල කෘෂිකර්ම පීඨ ඇතුළු බොහොමයක් ආයතන පෙළ ගැසී පවතී. අවශ්‍ය වන්නේ නිවැරිදි දැක්මකින් සහ අධීක්ෂණයකින් යුතුව එම ආයතනවලට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සකස්කර දීම ය. විද්‍යාත්මක පදනමකින් වග කිවයුතු තීරණ ගැනීමය. ඒවා ක්‍රියාත්මක කිරීමට සැම දෙනාගේම සහය ලබා ගැනීමය. මෙමගින් සිදුවන්නේ ආහාර හිඟය ඇතිවීම 2022 ඔක්තෝබර් මාසයෙන් ඔබ්බට නොව නැවත කිසිදිනෙක ඇති නොවන අයුරින් එයට ඉවහල් විය හැකි සාධක ද සමගින් ඉවතට තල්ලු කර දැමීමය.

ආහාර හිඟයක් ඇතිවීම යථාර්ථයක් නොවීමට නම්...

මහාචාර්ය බුද්ධි මාරඹේ
 කෘෂිකර්ම පීඨය,
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment