ඇගේ සිරුර සහ ඇගේ අයිතිය – 1

1638

කිසියම් කෙනකුගේ සිරුර අයිති ඔහුට හෝ ඇයටද නොඑසේ නම් ආණ්ඩුවට ද යන ප‍්‍රශ්නය දිගු කාලයක් තිස්සේ මතභේදයට තුඩු දී ඇත. මුදලට ඇඟ විකුණන කාන්තාවක් අධිකරණයකදී මේ ගැන ප‍්‍රශ්න කළ බවද නූතන ජනප‍්‍රවාදවල එයි. මුදලට ඇඟ විකුණූ ගැහැනියක් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත්කොට දඩයකට යටත් කරන ලද අවස්ථාවේදී, එම කාන්තාව කියා ඇත්තේ තමාගේ ඇඟ තමාට අයිති බව තමා මෙතෙක් කල් සිතා සිටි බවත් එහෙත් තම ඇඟ අයිති තමාට නොව ආණ්ඩුවට බව තමා මේ මොහොතේදී දැනගත් බවත්ය. මෙය පරණ කතාවකි. පසුගියදා ජනප‍්‍රිය රූපවාහිනි නාලිකාවක පැවති සංවාදයකදී මේ රටේ මන්ත‍්‍රීවරියන් තිදෙනෙක් ස්වකීය හෘද සාක්ෂිය හෙළි කළහ. ඩයනා ගමගේ, කෝකිලා ගුණවර්ධන, ආචාර්ය හරිනි අමරසූරිය යන මේ තිදෙනාගේ මතය වූයේ ගණිකා වෘත්තීය නීතිගත කිරීම ගැන තමන් තුළ විරෝධයක් නැති බවය. ශ‍්‍රී ලංකාව වැනි රටක තිබෙන ආගමික කම්බි වැට සහ සංස්කෘතික පොලිසිය (මෙය පරිසර පොලිසිය වැනි පවතින පොලිසියක් නොව සංකල්පික පොලිසියකි) ගණිකා වෘත්තිය නීතිගත කිරීමට කිසිලෙසකින්වත් ඉඩ නොදේ. එසේම ගණිකා වෘත්තිය නීතිගත කිරීමට කිසිදු අමුතු අමාරුවක් මේ පුවත්පතටද නැත. එහෙත් ගණිකාව යන සංකල්පය සහ ඒ තුළ එම වෘත්තියේ නිරත වන කාන්තාවන් විඳවන කුණු විඳවිල්ල පිළිබඳ සාකච්ඡා කිරීම අපගේ අරමුණය.

 ගැහැණිය සහ ළමයා යන ඒකක දෙක සූරාකෑමට ඉතා පහසුය. මේ රටේ ළමයි දහස් ගණනක් ලිංගික අපහරණයට ලක් වෙති. ඇතැම් ගැහැණු ළමයකුගේ පියා ද සහෝදරයා ද මාමා ද සීයා ද මෙවැනි ලිංගික අපහරණවල කොටස්කරුවෝ වෙති. පිටස්තරයන් විසින් කුඩා දරුවන් අපහරණය කිරීම වැළැක්වීම සඳහා No Touching” No Kissing නමැති රීතියක් දියුණු රටවල හඳුන්වාදී තිබේ. කිසියම් පිටස්තරයකුට දරුවකු සිප ගැනීමට හෝ ස්පර්ෂ කිරීමට ඉඩ නොදිය යුතු බව කුඩා දරුවන්ට ඉගැන්වීම මේ රීතියේ අරමුණය. එහෙත් පියා, සහෝදරයා, මාමා, සීයා යන අය පිටස්තරයෝ නොවෙති. මේ අය වෙතින් කෙලෙසුණු කුඩා දැරියන් ගැන නිතර පුවත්පත්වල පළවේ. මෙය ගණිකා වෘත්තියට සම්බන්ධ වන්නේ කෙසේදැයි ඔබ කල්පනා කරනු ඇත. ළමා වියේදී ලිංගික අපහරණ අත්දැකීමට මුහුණ දෙන දැරියකට එතැන් සිට කොයිකත් එකය. ලිංගික අපහරණය ජීවන අත්දැකීමක් පමණක් වූ විට මතුයම් දවසක ගණිකා වෘත්තිය කරා ගමන් කිරීමට ඔවුන්ට ඉතා පහසුය.

 ශුද්ධ වූ ගණිකා වෘත්තීය හෙවත්  Sacred Prostitution Temple Prostitution” Cult Prostitution” Religious Prostitution යනුවෙන් හැඳින්වෙන දුෂ්ට ආගමික වැඩපිළිවෙළක් අතීතයේදී තිබිණ. මෙය වැඩියෙන්ම පැවතියේ නැගෙනහිර ආසියානු රටවලය. මෙහිදී සුන්දර කන්‍යාවන් දේවාලවලට පුදනු ලැබේ. ඒ දෙවියන්ගේ ලිංගික පරිහරණය සඳහාය. එහෙත් ඒ දෙවිවරු දේවාල තුළ නැත. දෙවිවරුන්ගේ නියෝජිතයන් ලෙස පෙනී සිටි හොර කපුවෝ සහ කපටි පූජකයෝ දෙවියන්ගේ නාමයෙන් එම කන්‍යාවන් දූෂණය කළහ. මෙය නිතරම සිදුවූයේ දෙවියන්ට පුදන කන්‍යාවගේ පවුලේ කැමැත්ත මතය. සිය දියණිය දෙවියන් හෝ උන්වහන්සේගේ නියෝජිතයා වූ හොර කපුවා සමග යහන්ගත වීම එම කන්‍යාවන්ගේ පවුල්වල සිටි මව්පියන් සහ වැඩිහිටියන් නමැති හරක් රැළ සලකන ලද්දේ අතිමහත් ගෞරවයක් ලෙසය. දේවාලවලට තරුණ කාන්තාවන් කැප කිරීමේ සම්ප‍්‍රදායක් අතීත ඉන්දියාවෙහි තිබිණ. මේ යුවතියන් දේව දාසියන් ලෙස හඳුන්වන ලදී. පූජකයන් මේ දේවදාසීන් දෙස බලා සිටියේ කෙළ හලමිනි. කිසියම් දවසකදී දේවාලය තුළදීම එම දැරියන්ගේ කන්‍යාභාවය කපුවෝ පැහැර ගත්හ. ඉන්දියාවේ සහ ශ‍්‍රී ලංකාවේ අතීත රාජකීයත්වය තුළ තිබූ අන්තඃපුරද ගණිකා නිවාස ලෙස හැඳින්විය හැකිය. මේවාට තරුණියන් ගෙනෙන ලද්දේ බලහත්කාරයෙනි. සාමාන්‍යයෙන් ගණිකා නිවාසවලට කස්ටර්මර්ලා බොහෝ එති. අන්තඃපුරයට එන සහ ඒමට බලපත‍්‍ර තිබූ එකම කස්ටර්මර් රජතුමාය. මේ අන්තඃපුර, ලිංගික සූරාකෑම, අපහරණය යනාදිය විවිධ ස්වරූපවලින් අදටත් සමාජය තුළ පවතී. ගණිකාවක් යනු මවක් හෝ සහෝදරියක් විය හැකි බව කිසිවකුට කල්පනා වන්නේ නැත. වැඬේ අහවර වූ පසු ඇය කුණු මාළු කැබැල්ලකි.

 ගණිකාව යන වචනය බෙහෙවින් කුණු වූ යෙදුමකි. වෛශ්‍යාව නමැති සංස්කෘත වචනයේ සිංහල ස්වරූපය යොදා කාන්තාවන්ට බැන වැදීම චාරිත‍්‍රයකි. මේ නිසා ගණිකාව යන වචනය ඉවත්කර ලිංගික ශ‍්‍රමික යන යෙදුම යෙදීම වඩාත් මානුෂිකය. වල් අලියා යන වචනය වනචර නොඑසේ නම් වලත්ත යන හැඟීම ඇති කරන බැවින් එම වචනය, වන අලියා ලෙස මාරු කළ යුතු බව මේ රටේ ඇතැම් විද්වතකුගේ මතය විය. ඒ අනුව වල් අලියා ජංගි නොඇඳම වන අලියා බවට පත්විය. ගණිකාව කීවත් ලිංගික ශ‍්‍රමික කීවත් කෙරෙන්නේ සහ කරන්නේ එකම වැඬේ නොවේදැයි කෙනෙක් මෙහිදී අපෙන් ප‍්‍රශ්න කරනවා ඇත. වැඬේ එක බවට අපද එකඟ වෙමු. එහෙත් ගණිකාව යන වචනය දිගින් දිගටම කුණු කිරීමට සමාජය දායක වී ඇති නිසා ලිංගික ශ‍්‍රමික හෙවත් Sex Worker යන වචනය යෙදිය යුතු බව නූතන අදහසකි. මිනිස්සු නිතරම නූතන අදහස් වෙත යති. නූතන අදහස් සහිත Globalization හෙවත් ගෝලීයකරණය ඉමහත් උජාරුවෙන් පිළිගනිති. එහෙත් ඒ මිනිස්සුම කාන්තාවකට අපහාස කරන්නට අවශ්‍ය වුණු විට ශතවර්ෂ ගණන් පැරණි වචනවලට යති. ඔන්න අපේ අයියලාගේ හැටි.

 (අපේ අයියලාගේ හැටි හෙට කතු වැකියෙන් තව දුරටත් සාකච්ඡා කරමු)

advertistmentadvertistment
advertistmentadvertistment