මේ දරුවාට වයස අවුරුදු හතකි. පදිංචිය හඟුරන්කෙත ප‍්‍රදේශයේ ගමක ය. ඔහු කුඩා කල සිට හැදුණේ වැඩුණේ නරක මිනිසුන් මැද ය. පියාගේ රක්‍ෂාව කසිප්පු විකිණීම ය. කසිප්පු බොන්නට ගමේ හා අහල පහළ අය එන්නේ මේ දරුවාගේ නිවසට ය. ඒ එන අය කියන කරන සියල්ල අසා සිටි දරුවා වයසට වඩා මුහුකුරා ගියේ හැමවිට ම නරක වචන කන වැකීම නිසාම ය.
මේ දරුවා පාසල් ගියේ ද ඉඳහිට ය. කොටින්ම ඉස්කෝලේ යන්නේ වැස්සට ය.
මේ දරුවා මව සමග බෙහෙත් ගැනීමට නගරයේ පිහිටි ආරෝග්‍ය ශාලාවට ගියේ ඊයේ පෙරේදා දිනක ය.
‘‘අම්මේ……. මට බඩගිනියි…. අයිස්ක‍්‍රීම් එකක් අරන් දෙන්නකෝ.’’
‘‘මගේ අතේ සල්ලි නෑ පුතේ… බඩගිනි නම් අපි බනිස් හරි මොනව හරි කමු…’’ මව කීවේ බඩගිනි වී ඇති දරුවාට අයිස්කී‍්‍රම් අරන් දී පලක් නැති නිසා ය.
එතැන් පටන් මේ මුරණ්ඩු හිතුවක්කාර දරුවා කෙදිරිගාන්නට ගත්තේ ඉඳහිට අඬන ගමන් ය.
මේ අතර දරුවා ඉඳහිට පාසල් යන පාසලේ හිටපු විදුහල්පතිවරයෙක් ඒ අසලින් ගියේ ය.
‘‘මොකද… අම්මේ දරුවා අඬන්නේ…’’ ඒ විශ‍්‍රාමික ගුරු පියා ඇසුවේ මිනිස්කමට ය.
‘‘පලයන් යකෝ යන්න… තොට මොකද මම ඇඬුවට… කේන්තියෙන් සිටි දරුවා ඉතිරි වචන ටික කීවේ අමුතිත්ත කුණුහරුපයෙනි.
විශ‍්‍රාමික ගුරු පියාට තරු පෙනිනි.
මගේ අම්මෝ මම අවුරුදු තිහක් ඉගැන්වුවා. මේ වගේ යක්ෂයෙක් මගේ ජීවිතේට හමුවුණේ නැහැයි කියමින් ඒ ගුරු පියා එතැනින් මාරු වුණේ තව මොන මොනවදෝ දොඩමිනි.
පේ‍්‍රමා