ඇත්තටම අපට වැරදුනාද?

292

IMF කඹ ඇදිල්ල දැන් ඉවරද?

ජනපතිගේ විශේෂ ප‍්‍රකාශය

ඉකුත් මාර්තු 16 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කළේය. ජනාධිපතිවරයා එම ප‍්‍රකාශය ආරම්භ කළේ ‘‘අද මා ඔබ අමතන්නේ ඉතාම අභියෝගාත්මක අවස්ථාවකයි’’ යනුවෙනි. මේ අභියෝගාත්මක තත්ත්වය උදා වී ඇත්තේ මේ රජයේම පමණක් වරදින් නොවුණත්, මේ අර්බුදය දැන් තිබෙන තත්ත්වයට වර්ධනය වීම සම්බන්ධයෙන් නම් වත්මන් ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජයටත් ලොකු වගකීමක් ඇති බව සඳහන් කළ යුතුමය. මෙතෙක් කලක් අපට රජය පැත්තෙන් අසන්නට ලැබුණේ ‘‘කිසිදු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් නෑ’’, ‘‘අපිට විදේශ ණය ගෙවන්න පුළුවන්’’, ‘‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නෙ නෑ’’ සහ ‘‘විදේශ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අවශ්‍යතාවක් නෑ’’ වැනි ඉතා අධිතක්සේරුවෙන් කළ සර්ව ශුභවාදී කතාය. එහෙත් එවැනි කතා තවදුරටත් කියමින් සිටීමෙන් වන්නේ රට තවදුරටත් විශාල අමාරුවක වැටීම බව බොහෝ ප‍්‍රමාද වී හෝ ජනාධිපතිතුමාට වැටහී තිබීම සතුටට කරුණකි.

  • ඩොලර් ප‍්‍රශ්නයේ ජන දුක

ජනාධිපතිවරයා සිය කතාවේදී මෙසේ පවසයි. ‘‘ඔබගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් සහ මිල වැඩිවීම් ගැන මට හොඳින් වැටහෙනවා. ගෑස් හිඟකම, ඒ වගේම ඉන්ධන හිඟකම, විදුලිය ඇනහිටීමේ තත්ත්වය වැනි ගැටලූ ගැනත් මා හොඳින් දන්නවා.

පසුගිය මාස දෙක තුළ මහජනතාව විඳි අනේකවිධ දුක් කම්කටොළු ගැනක් මා ඉතා සංවේදීයි.’’

මේ වනවිට මහජනතාවගේ ජනජීවිතය දෛනිකවම ඉතා දුක්ඛිත තත්ත්වයට පත්ව ඇති බව රහසක් නොවේ. පෝලිම්වල සිටින ජනතාව කියන්නේ ‘‘රෑට කළුවරේ දවල්ට පෝලිමේ’’ කියාය. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් සහ භූමිතෙල් පෝලිම් ඇතුළු මේ පෝලිම්වල පැය ගණන් රස්තියාදු වෙමින් තම වටිනා කාලය කා දැමීමට ජනතාවට සිදු වී ඇත. ඒ මදිවට ගෙදර ගිය විට පැය ගණනක් කළුවරේ සිටීමට ද ජනයාට සිදුව ඇත. මේ විදුලි කප්පාදුව සංචාරක කර්මාන්තයට මෙන්ම අපේ නිෂ්පාදන කි‍්‍රයාකාරීත්වයට ද ඉතා අහිතකර බලපෑම් එල්ල කරමින් තිබේ. මේ සියලූ දේ උග‍්‍ර වී දෛනික ජන ජීවිතය ඉතා දුක්ඛිත තත්ත්වයට පත් වූ පසු මේවා ගැන ‘මා සංවේදියි’ කීවාට වැඩක් නැත. අවශ්‍ය කරන්නේ මේ අර්බුදය සමනය කර ගැනීම සඳහා වන නිසි ප‍්‍රතිපත්තිමය කි‍්‍රයාමාර්ග අප‍්‍රමාදව නිසි වෙලාවේදී ගැනීමයි. ඒ දෙය සිදු නොකිරීම නිසා අප මුහුණ දෙන ‘විනිමය අර්බුදය’ මේ වනවිට නාහෙට උඩින් වතුර යන තත්ත්වයට පත්ව තිබේ. මේ අර්බුදය මුළුමනින්ම වත්මන් රජය කාලයේ නිර්මාණය වූවක් නොවන බව සත්‍යයක් වුව ද මේ අර්බුදය දැන් තිබෙන ‘නාහෙට උඩින් වතුර යන’ තත්ත්වයට වර්ධනය කරගෙන රටත් ජනතාවත් ඉතාම දුෂ්කර තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් නම් වත්මන් රජයට ද වගකීමට සිදු වේ. එහෙත් ජනාධිපතිතුමා සිය කතාවේ කියන්නේ අර්බුදය සම්බන්ධයෙන් කළ හැකි උපරිම දේ කළත් ඔවුන්ගේ පාලනයෙන් බැහැර හේතුන් නිසා එම තත්ත්වය තවදුරටත් පවතින බව තමා දන්නා බවයි.

  • අප‍්‍රමාදව නිවැරදි තීන්දු නොගැනීම
ඇත්තටම අපට වැරදුනාද?

මේ ප‍්‍රකාශය ගැන නම් අපට කිසිසේත් මුළුමනින්ම එකඟ විය නොහැකිය. රජයේ පාලනයෙන් බැහැර ඇතැම් හේතු ද අපගේ විදේශ විනිමය අර්බුදය තවත් අමාරු තත්ත්වයට පත් වීමට හේතු වූවා විය හැකිය. කොවිඞ් වසංගතය සහ මෑතදී ඇති වූ රුසියානු – යුක්රේන යුද ගැටුම් යනාදිය අපට පාලනය කළ හැකි සාධක නොවූවත් එවැනි සාධකවලින් ඇති වන අහිතකර බලපෑම් සමනය කර ගැනීම සඳහා නිසි වෙලාවේ නිසි ප‍්‍රතිපත්තිමය කි‍්‍රයාමාර්ග අප‍්‍රමාදව ගැනීම ද අත්‍යවශ්‍ය වේ. එසේ නොවීමෙන් වන්නේ කුමක්ද? විනිමය අර්බුදය තවත් වර්ධනය වී විදේශ ණය පියවීම වඩාත්ම අභියෝගාත්මක තත්ත්වයට පත් වීමයි. මේ විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීමට හුදෙක් රජයේ සහ ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ප‍්‍රතිපත්ති කි‍්‍රයාමාර්ග මගින් පමණක් පුළුවන් නම් එය ඉතාමත් හොඳය. ඒ සඳහා අනුගමනය කළ කි‍්‍රයාමාර්ග සාර්ථක වූවා නම් ‘‘?ට කළුවරේ සහ දවල්ට පෝලිමේ’’ සිටීමට වන තත්ත්වයක් උදා වන්නේ නැත. මෙවැනි අත්‍යවශ්‍ය දේවල් මිලදී ගැනීම සඳහා විදේශ විනිමය නොමැති වීමට අමතරව අපට විශාල විදේශ ණය වගකීම් පියවීමට තිබේ. එහෙත් විදේශ සංචිතය අඩියටම හිඳී ගොස් ඇත. එසේ නම් ඉදිරියට අප අපගේ විදේශ ණය කලට වේලාවට පියවන්නේ කෙසේද? ණය ගෙවීමට විදේශ සංචිතත් ප‍්‍රමාණවත් ලෙස නැත්නම් ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව රට විදේශ ණය පැහැර හැරීමකට ද ලක් නොවී ඉදිරියට ගෙන යන්නේ කෙසේද? ඒ නිසා නැව ගිලෙන තෙක් බෑන්චූන් ගසමින් සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් වන්නේ අපට නොදැනීම නැව ගිලී යන තත්ත්වයක් උදා වීමයි.

දැන් නාහෙට උඩින් වතුර ගලා යෑමට ආසන්නය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් මේ විශේෂ ප‍්‍රකාශය කරන්නේ එවැනි ඉතා තීරණාත්මක සහ අභියෝගාත්මක මොහොතක ය. ගත යුතු නිසි තීන්දු – තීරණ නිසි වේලාවේදී ගන්නේ නැතුව ඒ නිසාම ජනතාව විඳින දුක ගැන ජනාධිපතිවරයා සංවේදී වීමෙන් පමණක් පලක් නැත.

  • මූල්‍ය අරමුදලේ සහාය ගැනීම

මෙතෙක් කලක් ශී‍්‍ර ලංකා මහ බැංකුව පැත්තෙන් මෙන්ම රජය පැත්තෙන් ද අපට දිගටම ස්ථිරසාර ලෙස අසන්නට ලැබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයන බවයි. ඒ සඳහා අවශ්‍යතාවක් නැති බවයි. විදේශ විනිමය ප‍්‍රශ්නය අපට තනියම විසඳා ගත හැකි බවත් සියලූ විදේශ ණය වාරික ගෙවා දමන බවත් ය. මෙවැනි කතා දිගටම අපට අසන්නට ලැබුණත් දැන් ජනාධිපතිවරයා කියන්නේ කුමක්ද? දැන් කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව කටයුතු කිරීමට තමා තීරණය කළ බවයි. ඒ බව ජනාධිපතිවරයා සිය කතාවේදී ප‍්‍රකාශ කළේ මෙසේය.

‘‘මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත‍්‍ර රටවල් සමඟ අපගේ ණය වාරික ගෙවීම ගැන අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අප රටට හිතකර ආකාරයට නව ක‍්‍රමවේදයක් තුළ මෙය කි‍්‍රයාත්මක කිරීමට රජය නොයෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඊයේ (15 දා) පැවැත්වූ සාකච්ඡා වත් මේ අරමුණින් කළ එකක්.

ඒ සාකච්ඡා තුළින් අප බලාපොරොත්තු වන්නේ වසරකට අප ගෙවිය යුතු ණය වාරික, ස්වෛරී බැඳුම්කර ආදිය ගෙවීම සඳහා ක‍්‍රමවේදයක් සලසා ගැනීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මා කළ සාකච්ඡා වට පසුව වාසි අවාසි අධ්‍යයනය කොට ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට මා තීරණය කළා.”

  • අපගේ කි‍්‍රයාමාර්ග අසාර්ථක වීම

ජනාධිපතිවරයාගේ මේ සඳහනින් පැහැදිලි වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයා අප විසින්ම මේ විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීමට ගනු ලැබූ කි‍්‍රයාමාර්ග එතරම් සාර්ථක වී නොමැති බවයි. ණය ප‍්‍රතිව්‍යුහගතකරණයට අප සාකච්ඡා ආරම්භ කර ඇති බව ද ජනාධිපතිවරයා සිය කතාවෙන් පැහැදිලිවම කියයි. එසේ කියන්නේ අපට විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි හෝ අපහසු තත්ත්වයකට මේ වනවිට අප මුහුණ දී ඇති නිසාය. අප මෙතෙක් ඉතිහාසයේ කිසිදිනෙක ණය ගෙවීම් පැහැර නොහැරි රටක් වුවත් මේ වනවිට අපට විදේශ ණය ගෙවීමට අපහසු වීමේ අවදානමක් ඇති වී ඇති බව ද පැහැදිලි වේ. ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ මිත‍්‍ර රටවල් සමඟ අපගේ ණය වාරික ගෙවීම ගැන අප සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජනාධිපතිවරයා පවසන්නේ මේ නිසාය. අප ඉලක්ක කළ සහ අපේක්ෂිත විදේශ විනිමය ප‍්‍රවාහයන් රටට ලැබුණා නම් මෙලෙස ණය ප‍්‍රතිව්‍යුහකරණයකට යෑමට අවශ්‍ය නොවේ. එහෙත් ජනාධිපතිවරයා කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන සාකච්ඡා තුළින් වසරකට අප ගෙවිය යුතු ණය වාරික, ස්වෛරී බැඳුම්කර ආදිය ගෙවීම සඳහා ක‍්‍රමවේදයක් සලසා ගැනීමට අපේක්ෂා කරන බවයි. මේ තුළ ඇති වන ඉඟියක් වන්නේ 2022 ජුලි මාසයේ කල්පිරෙන ඇමරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයේ මුදල් ගෙවීමට ද අපට අපහසු තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

  • කලකට පෙර ගත යුතුව තිබූ තීන්දු

දැන් කවුරු කුමක් කීවත් අපගේ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව කටයුතු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර අවසන් ය. එහෙත් මේ තීරණය ගෙන අපට කි‍්‍රයාත්මක වීමට තිබුණේ මීට බොහෝ කලකට පෙර බව බොහෝ දෙනාගේ වැටහීමයි. අප මේ තීරණය ගෙන ඇත්තේ බොහෝ ප‍්‍රමාද වී අපේ නහය උඩින් වතුර යෑමට ආසන්න මොහොතක ය. අපේ රුපියල පා කිරීමට මහ බැංකුව ගත් තීරණය ගැන කීමට ඇත්තේ ද ඒ දෙයම ය. එයත් මීට බොහෝ පෙර ගැනීමට තිබූ තීරණයකි. අපට අවංකව හැෙඟන්නේ රජය හෝ මහ බැංකුව හෝ නිසි වෙලාවේ නිසි තීන්දු තීරණ නොගත් බවකි. ඒ නිසා ප‍්‍රශ්නය තවත් උග‍්‍ර වී නාහෙන් උඩට වතුර යෑමට ආසන්න මට්ටමකට අපි පත් වී සිටිමු. ඒ නිසාම ජනයා දෛනිකව විඳින දුක්ගැහැට ගැන නැවත නැවත කීමට අවශ්‍ය නැත. විදේශ විනිමය ප‍්‍රශ්නය විසඳා ගැනීමට නිසි තීන්දු තීරණ ගෙන කි‍්‍රයාත්මක නොවීමේ විපාක අද දිනයේ අතිමහත් බහුතර ජනයාට විඳීමට සිදුවී ඇති අතර ඒ නිසා ජනයා වත්මන් රජය කෙරෙහි ඇත්තේ හුදෙක් අප‍්‍රසාදයකට එහා ගිය කෝපයකි.

  • අසතුටට පත් විදෙස්ගත ශ‍්‍රමිකයින්

අපේ රටේ ජනයා පමණක් නොව විදේශගත ශ‍්‍රමිකයින් පවා සිටින්නේ කෝපයෙනි. අප ඔවුන් එවන විදේශ මුදල් සම්බන්ධයෙන් අනුගමනය කළ කි‍්‍රයාමාර්ග නිසා ඔවුන් කෝපයට සහ අසතුටට පත්ව ඔවුන්ගෙන් ඇතැමෙක් ශී‍්‍ර ලංකාවට විදේශ මුදල් එවීම අත්හැර දමා තිබේ. දැන් රුපියල පා කිරීමෙන් පසු බැංකු ක‍්‍රමයෙන් විදෙස් පේ‍්‍රෂණවලට ඉහළ අගයක් ලැබෙන මුත් විදේශගත ශ‍්‍රමිකයන් නැවත බැංකු ක‍්‍රමයට යොමු කර ගැනීම ද පහසු නැත. ඒ සඳහා විශේෂ පරිශ‍්‍රමයක් දැරීමට ද අපට සිදුවනු ඇත. ඒ සම්බන්ධයෙන් තවමත් බලධාරීන් පරිශ‍්‍රමයක් දරන බවක් පෙනෙන්නට නැත. කෙසේ හෝ අප මේ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන්ට කියා සිටින්නේ අපේ රට විදේශ මුදල් හිඟයෙන් දැඩි අසීරුවට පත් වී ඇති මේ අවස්ථාවේ නිල මාර්ග හරහා හැකිතාක් අපේ රටට විදේශ මුදල් එවමින් රට මේ අමාරු තත්ත්වයෙන් ගොඩනැඟීමට උදව් කරන ලෙසයි. අසතුටට සහ අතෘප්තියට පත්ව සිටින ඔවුන්ගේ සිත් හැදිය යුතු වේ. මේ විදෙස්ගත ශ‍්‍රමිකයන් එවන සෑම විදේශ මුදල් ඒකකයටම නිසි අගය ලබාදිය යුතුය යන මතයේ අප දිගටම සිටියේය. එහෙත් එය ලබා නොදීමට කටයුතු කළ නිසා ඔවුන් හවාලා සහ උන්ඩියල් වැනි ක‍්‍රමවලට තල්ලූ වූයේත්, විදේශ විනිමය කළුකඩ වෙළෙඳාම ශක්තිමත් හා ප‍්‍රවර්ධනය වූයේත් අප නිසාම ය. මේ නිසා නිසි වේලාවට නිසි තීරණ නොගත්තා පමණක් නොව, ඇතැම් වැරදි ප‍්‍රතිපත්ති තීරණ ගත් බව ද ජනාධිපතිවරයාට සිහිපත් කළ යුතුව තිබේ.

  • අර්බුදය කාගේ නිර්මාණයක්ද?

මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නොවන බව ජනාධිපතිවරයා කියන දේ සත්‍යයක් වුව ද මේ අර්බුදය අද පවතින තත්ත්වයට වර්ධනය වූයේ නම් මේ රජය යටතේ බව කීමට සිදු වේ. ජනතාව දෛනිකව පැය ගණන් පෝලිම්වල පීඩා විඳින තත්ත්වයට මෙන්ම ජනතාවට විදුලිය නැතිව කළුවරේ සිටීමට සිදු වූයේ ද කලට වේලාවට අප‍්‍රමාදව නිසි තීන්දු තීරණ නොගත් නිසාය. ජනයා එවැනි දුක්ඛිත තත්ත්වයට පත් වූ පසු ‘සංවේදී’ වනවාට වඩා අවශ්‍ය වන්නේ කුමක්ද? එවැනි තත්ත්වයකට රටත්, ජනතාවත් පත් නොවීමට නිසි වෙලාවේ නිවැරදි තීන්දු ගැනීමයි. එය හරිහැටි සිදුව නැති බව කනගාටුවෙන් වුවත් කීමට සිදු වේ. මේ විනිමය අර්බුදයට මේ රජය පත්වීමට පෙර සිටම හේතු කාරණා තිබෙන බව අප පිළිගනිමු. එහෙත් මේ රජය පත් වීමෙන් පසු මේ දක්වා ගත වූ කාලයේදී එය සමනය කරගෙන, එය විසඳා ගැනීමේ දිශානතියට අප ප‍්‍රමාණවත් පරිදි යොමු වූයේ නැත. අඩු තරමේ මේ සම්බන්ධයෙන් රජය හා මහ බැංකුව පවා එක්ව කටයුතු කරන බවක් අපට පෙනුණේ නැත. මේ විනිමය අර්බුදය වඩාත් උත්සන්න වීමෙන් පසුව ජනාධිපතිවරයා ආර්ථික සභාවක් හා ඊට සහාය වීමට උපදේශක මණ්ඩලයක් ද පත් කර ඇත. ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් රජයට දෙන උපදේශ පමණක් ප‍්‍රමාණවත් බව ජනාධිපතිවරයා කල්පනා කරනවා නම් කිසිසේත්ම මෙවැනි ආර්ථික සභාවක් සහ වෙනම ආර්ථික උපදෙස් ලබා ගැනීමට වෙනම උපදේශක මණ්ඩලයක් අවශ්‍ය වන්නේ නැත. කෙසේ වෙතත් මහ බැංකු- අධිපතිවරයා සහ නියෝජ්‍ය අධිපතිවරයෙක් ද මේ අලූත් ආර්ථික සභාවට පත් කර තිබේ. නිවැරදි තීන්දු තීරණ නිසි වෙලාවේ අප‍්‍රමාදව ගනිමින් දැන්වත් මේ විදේශ විනිමය ප‍්‍රශ්නය විසඳා ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළකට යොමු වන ලෙස මහජනයා වෙනුවෙන් රජයෙන් අපි ඉල්ලා සිටිමු. දිනපතා පෝලිම්වල දුක් විඳින ජනයාට අති විශාල මිල පීඩනයකට ද මුහුණ දීමට සිදුව ඇත. ඒ නිසා ජනයාගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන තත්ත්වයට දැන් ප‍්‍රශ්න උග‍්‍ර වී ඇති බව ද ඒවා හැමවිටම පසුගිය රජය පිටපැටවීමෙන් පලක් නැති බව ද අපි රජයට සිහිපත් කර සිටිමු.

  • විදේශ සංචිත අඩියටම වැටේ

මේ වන විට අපේ නිල විදේශ සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක් පමණ වුවත් භාවිතා කළ හැකි විදේශ මුදල් සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 400 කටත් වඩා අඩු මට්ටමකට පහත වැටී ඇතැයි වාර්තා වේ. අපට ගෙවීමට තිබෙන ඉදිරි ණය වගකීම් දෙස බලන විට අප පත්ව ඇත්තේ විදේශ ණය තවදුරටත් ගෙවා ගැනීමට අපහසු තත්ත්වයකටය. ඒ බව ජනාධිපතිවරයාගේ කතාවේ අන්තර්ගතයෙන් ද තහවුරු වේ. ණය ගෙවීමේ අපහසුවට අමතරව තෙල්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා ගෙවීමට ද විදේශ විනිමය හිඟ වීමෙන් වර්තමානයේ අප මුහුණ දෙන බොහෝ ප‍්‍රශ්න නිර්මාණය වී ඇත. ජනතාව පත්ව ඇත්තේ දැඩි අසහනයකටය. මේ ආණ්ඩුවට මේ රටේ අතිමහත් බහුතර ජනයා ඉතිහාසයේ නොවූ විරූ අතිවිශාල ජනවරමක් දුන්නේ පසුගිය ආණ්ඩුවේ වැරදි කිය කියා සිටීමට නොවේ. ඒ නිසා වහාම මේ විදේශ විනිමය හිඟය සමනය කර ගැනීමට කඩිනම් පියවර ගත යුතුවේ.

  • රුපියලේ අගය

දැන් රුපියල පාවෙමින් තිබේ. එනම් මහ බැංකුව විසින් ශ‍්‍රී ලංකා රුපියල වෙළෙඳපොළ බලවේග අනුව තීරණය වීමට (බොහෝ දුරට) ඉඩ හැර තිබේ. මේ තීරණය මහ බැංකුව ගත්තේ පසුගිය මාර්තු 07 වැනිදාය. මේ අනුව මුලින් ඇමෙරිකානු ඩොලරයක අගය රු. 230 ක් දක්වා ද ඊට පසුව එම අගය රු. 260 දක්වා සහ ඉකුත් අඟහරුවදා (15) එම අගය රු. 270 දක්වා සහ ඊට පසුව එම අගය රු. 275 ක් දක්වා ද ඉහළ ගියේය.මේ අනුව රුපියල පාවී ගොස් කවර අගයක නතරවේද යන්න තවමත් සිතාගත නොහැකිය. එය අපට මුහුණ දීමට සිදුවන උග‍්‍ර මිල පීඩනයට ද සෘජුවම බලපා ඇති අතර දිනෙන් දිනම භාණ්ඩ මිල ගණන් ඉහළ යමින් තිබේ.

  • ව්‍යාපාරික ප‍්‍රජාවේ යෝජනා
ඇත්තටම අපට වැරදුනාද?

බොහෝ අර්ථ ශාස්ත‍්‍රඥයින්, වාණිජ මණ්ඩල මෙන්ම ව්‍යාපාරික ප‍්‍රජාවේ සාමාජිකයන්ද මීට බොහෝ කලක සිටම රුපියල අවප‍්‍රමාණය වීමට ඉඩ සලසන ලෙස මහ බැංකුවට සහ රජයට යෝජනා කළේය. රජය හෝ මහ බැංකුව ඒ සඳහා කිසිදු පියවරක් ගත්තේ නැත. විනිමය අනුපාතය දිගටම කෘතී‍්‍රම ලෙස ස්ථාවර අගයක පවත්වාගෙන ගියේය. එනම් ඇමෙරිකානු ඩොලරයක අගය රු. 203 ක අගයේ දිගටම තබා ගත්තේය. මෙසේ රුපියල් එකම ස්ථාවර අගයක පවත්වාගෙන යෑමට ද අපට විදේශ වත්කම්වල ශක්තිය අවශ්‍ය වේ. එහෙත් අපේ විදේශ සංචිත මට්ටම දිගින් දිගටම පිරිහීම නිසා අපට රුපියල එසේ එකම අගයක අල්ලාගෙන සිටීම අසීරුය. මහ බැංකුවට රුපියල පාවීමට ඉඩ දීමට සිදු වූයේ ඒ සඳහා අපට තවදුරටත් හැකියාවක් නොමැති නිසාය. ඒ නිසා නින්දෙන් ඇහැරෙන්නාක් මෙන් වහාම රුපියල පාවීමට හදිසියේම පියවර ගෙන ඇත. දැන් කෙටිකාලීනව එහි විශාල කම්පනයකට මුහුණ දීමට වෙළෙඳපොළට සිදුව ඇත. එහෙත් මීට බොහෝ කලකට පෙර ක‍්‍රමයෙන් රුපියල අවප‍්‍රමාණය වීමට ඉඩ දුන්නා නම් මෙතරම් අහිතකර බලපෑම්වලට සහ අතිවිශාල මිල වැඩිවීම්වලට මුහුණ දීමට අපට සිදු නොවනු ඇත.

පසුගියදා තෙල් සංස්ථාව මෙන්ම ලංකා ඉන්දියානු තෙල් සමාගම ද කළේ ලංකා ඉතිහාසයේ වැඩිම තෙල් මිල වැඩි කිරීමයි. එතරම් දැවැන්ත මිල වැඩි කිරීමක් කළත් තවමත් ෂෙඞ්වල පෝලිම් අවසන්ව නැත. තෙල් මිල වැඩි කිරීමෙන් තෙල් සංස්ථාවේ අලාභය අඩු වන බව ඇත්තය. එහෙත් ඒ නිසා අලූතින් ‘‘ඩොලර්’’ ලැබෙන්නේ නැත. තෙල් ආනයනය කිරීමට අපට අවශ්‍ය වන්නේ ඩොලර්ය. ඒ නිසා මේ ඩොලර් ප‍්‍රශ්නය සමනය කර ගන්නා තෙක් අපට දිගටම විටින් විට මේ විදුලිය සහ තෙල් ප‍්‍රශ්නවලට මුහුණ දීමට ඉඩ තිබේ. මේ සියලූ අපහසුතාවලට දිනපතාම පාහේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ප‍්‍රධාන හේතුව ඩොලර් ප‍්‍රශ්නයයි. අනිත් ප‍්‍රශ්න ඒ නිසා ඇති වූ ඒවාය.

  • රුපියලේ තීන්දුව ප‍්‍රමාද වීමේ විපාක

රුපියල අවප‍්‍රමාණය වීමට මීට පෙර ඉඩ සැලසුවා නම් මෙතරම් විනිමය ප‍්‍රශ්නය උග‍්‍ර නොවීමට ඉඩ තිබුණි. රුපියල ක‍්‍රමානුකූලව අවප‍්‍රමාණය වූවා නම් විශාල විදේශ විනිමය කළු කඩයක් ද ඇති නොවේ. සුපුරුදු පරිදි රටේ බැංකු ක‍්‍රමයට නිල මාර්ගවලින් බොහෝ විදේශ විනිමය ගලා ඒමට ඉඩකඩ තිබුණි. අපේම වැරදි නිසා එය වැළකුණි. මේ තුළ හවාලා සහ උන්ඩියල් ක‍්‍රම මගින් මෙරටට මුදල් එවීම විශාල වශයෙන් වර්ධනය විය. විදේශ විනිමය කළුකඩ වෙළෙඳාම කිසියම් මට්ටමකින් දිගටම තිබුණත් නිල විනිමය අනුපාත අගය සහ කළුකඩ මිල අතර පරතරය මෙතරම් විශාල වන්නට පටන් ගත්තේ මෙසේ රුපියල එකම අගයක අප දිගටම අල්ලාගෙන සිටීම නිසාය. මුලින්්ම නිසි ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග ගත්තා නම් මේ වනවිට අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන පහකට අධික අගයක් වීමට ද ඉඩ තිබුණි. එසේම රුපියල කිසියම් දුරකට පිරිහීම නිසා ඇතැම්විට ඇමෙරිකානු ඩොලරයක අගය රු. 230 ක පමණ මට්ටමකට ඉහළ යෑමට ද ඉඩ තිබුණි. එහෙත් මේ වන විට නිර්මාණ වී ඇති බලවත් අර්බුදකාරී තත්ත්වය කිසිසේත් මේ මට්ටමට උග‍්‍ර නොවන බව නම් කිව හැකිය.

  • නිදහසට කරුණු

මේ අනුව අපට පැහැදිලි වන්නේ අප විසින් වැරදි ප‍්‍රතිපත්ති කි‍්‍රයාමාර්ග ගැනීම නිසා සහ ගත යුතු නිසි ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ග නිසිවෙලාවේදී නොගැනීම නිසා මේ විදේශ මුදල් ප‍්‍රශ්නය සමනය කර ගන්නවා වෙනුවට සිදුව ඇත්තේ එම ප‍්‍රශ්නය තවත් වැඩි වීම බවයි. මේ තත්ත්වය ඒ නිසා කොරෝනා වසංගතයට හෝ රුසියානු – යුක්රේන යුද ගැටුම්වලට පමණක් බැර කළ නොහැකිය. ඒ සඳහා රජයේත් මහ බැංකුවේත් වගකීමක් ඇත.

දිනපතා පෝලිම්වල දුක්විඳින මහජනයා ආණ්ඩුවට දෙස් දෙවොල් තියමින් සිටී. තවත් කරුණක් මෙහිදී සඳහන් කළ යුතුය. එනම් රුසියානු යුක්රේන යුද ගැටුම් නිසා වාර්තාගත ලෙස ඉහළ ගිය බොරතෙල් මිල මේ වන විට නැවත සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි. මේ සහනය ජනයාට ද ලැබිය යුතුය. ඒ ගැනද රජයේ අවධානය වහාම යොමු වන්නේ නම් ඉතා මැනවි. බෙහෙවින් දුකට පත් ජන දිවියට යම් සහනයක් අවශ්‍යම ය. ජනයා දැන් සිටින්නේ පාන් කියා ගැනීමටවත් බැරි අන්ත අසරණ තත්ත්වයක ය. ඔවුන්ට නිදහසට කරුණු වැඩක් නැත. ජනතාවගේ දුක ගැන ඇත්ත වශයෙන්ම සංවේදී නම් කළ යුත්තේ හරි තීන්දු නොපමාව ගනිමින් මේ ප‍්‍රශ්නය විසඳීමයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment