ඇත්තට ම අපි  නිදහස් ද?

531

අප රටක් වශයෙන් ඊයේ (04) සමරනු ලැබූයේ 74 වැනි ජාතික නිදහස් දින උළෙලයි. බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව තිබී ඉන් මිදීම යන අර්ථයෙන් ගත්විට එය තර්කානුකූලය. එහෙත් අද වනවිට අප මුහුණ දී ඇති ආර්ථික, සමාජික හා දේශපාලනික අර්බුද හමුවේ ඇත්තට ම අපි නිදහස් ජාතියක් ද යන්න ප‍්‍රශ්නාර්ථයකි.

සුද්දා මේ රට අපට භාර දෙනවිට අපි ණය නැති රටකි. ඉනික්බිතිව පුරා වසර 74ක් මේ රටේ තට්ටු මාරු ක‍්‍රමයට පාලනය කළ ප‍්‍රධාන පක්‍ෂ දෙක අපට ඉතිරි කර ඇත්තේ ණය බරින් හෙම්බත් වූ රාජ්‍යකි. මේ පක්‍ෂ දෙක තනි තනිව පාලනය කළ අවස්ථාවන් ද විවිධ සන්ධාන ගොඩනඟා ගනිමින් රට පාලනය කළ ද අප රට සංවර්ධිත රාජ්‍යක් බවට පත් කිරීමට මේ සියල්ලෝම අසමත් වී ඇති බව කටුක සත්‍යයි. සංවර්ධනය කිරීම සඳහා ණය ගැනීම, ගත් ණය පියවා ගැනීමට නොහැකි වීම නිසා ඒවා පියවීමට නැවත ණය ගැනීම යන විෂම චක‍්‍රයක අප රට සිර වී තිබේ. අද පවතින ඩොලර් සංචිත අර්බුදය අහම්බයක් නොවන අතර එය අප වැපුරූ බීජවල ප‍්‍රතිඵලයකි. ඒනිසා ම මේ මොහොතේ පක්‍ෂ විපක්‍ෂ සියලූදෙනා එක්ව මේ රට ගොඩගත හැකි ආර්ථික ක‍්‍රමවේදයන් සකස් කරගත යුතුව ඇත. උඹලා ඇන ගනිල්ලා ඊළඟ සැරේ අපි දෙන්නම් බැටේ යන කුහක ප‍්‍රතිපත්තිවලින් තොරව රට ගැන සිතා රටට ගැළපෙන ආර්ථික ප‍්‍රතිපත්තිය, ආර්ථික මොඩලය සොයා ගැනීමට මේ රටේ සියලූදෙනා එක්විය යුතුය. පාට වෙනස් වුණාට, දේශපාලන බලය වෙනස් වුණාට වෙනස් නොවන ආර්ථික ප‍්‍රතිපත්තියක් සකසා ගැනීමකින් තොරව අපට හෙටක් නොමැත. විශේෂයෙන් මේ රට හෙට දවසේ භාරගන්නා පරපුරට නිදහසේ ජීවත් වීමට අවැසි පරිසරය ගොඩනැඟීම පරම අභිලාෂය කරගෙන ලබන පෙබරවාරි 04 වැනිදාට පෙර කටයුතු කළහොත් යාන්තමින් හෝ හුස්ම ගන්නා රටක ඊළඟ නිදහස් දින උත්සවය සැමරීමට අපට අවස්ථාව හිමිවනු ඇත.

රටක ජාතික ආර්ථිකය ශක්තිමත් වීමේ එහි ප‍්‍රධාන පුරුකක් වන්නේ අධ්‍යාපනයයි. අධ්‍යාපනය විසින් නිර්මාණය කරනු ලබන නිර්මාණශීලී පරපුරකට අපේ රට නැවුම් මාවතකට හැරවීමේ අවකාශය තිබේ. එහෙත් සැබෑ අධ්‍යාපන නිදහසක් අප රටේ මේ මොහොතේ ද පවතී ද යන ප‍්‍රශ්නය අප හමුවේ ඇත. සැමට එක හා සමාන අධ්‍යාපනයක් ලැබේ නම් එකම රටක ජනපි‍්‍රය සහ ජනපි‍්‍රය නොවන කියා පාසල් දෙවර්ගයක් තිබිය නො හැක. එහෙත් අප රටේ එවැනි පාසල් වර්ග තිබේ. අපේ දෙමවුපියන් පහ වසර දරුවන්ව අතිශය දුෂ්කර අභ්‍යාශයක යොදවා ඉහළම ලකුණු ලබා නගරයේ ජනපි‍්‍රය පාසලට දමා ගැනීමට වලිකන්නේ මේ හේතුව නිසා ය. අනෙක් කාරණය වන්නේ මොනයම් බාධක හෝ බිඳගෙන ඉහළට එන දරුවන්ගේ හැකියාවන් අපේ රටේ ආර්ථිකයට අවශෝෂණය කර ගැනීමට වැඩපිළිවෙළක් අප සතුව ඇද්ද යන්නය. අපේ රටේ අලූත් පරපුරෙන් නැවුම් නිර්මාණ බිහිවුවද ඒවා නිෂ්පාදන කි‍්‍රයාවලිය දක්වා ගොඩනැඟීම, ඒ හරහා විදෙස් මුදල් අප රටට ගෙන්වා ගැනීම ශක්තිමත් කිරීම වැනි නව විකල්පවලට අප රට යොමු නොවීම අතිශය කනගාටුදායකය.

නිදහස යනු හැම අතින්ම මිනිසා නිදහස් වීමය. ඒ අර්ථයෙන් ගත්තත් අප රට තුළ අද සිදුවන සමාජ සංස්කෘත පිරිහීම තුළ අපට නිදහස් නොමැති බව පැහැදිලිය. අප රටේ කුඩා දරුවකු දැරියක දූෂණයට ලක්නොවනු දවසක් සොයා ගත නොහැක. සැබෑ නිදහස ගැන අප හඬනඟන මේ මොහොතේ කවුරුන් හෝ පාපතරයකු මල් කැකුළක් බිලිනොගන්නවා යැයි සහතික දිය හැක්කේ කාට ද? ස්තී‍්‍රන්ගේ අයිතිවාසිකම් ගැන කතා කළ ද තවමත් අප රටේ ගෘහස්ථව හෝ ඉන් මෙපිට පීඩාවට අතවරයට ලක්වන කතුන් කොතෙත් සිටී ද. ආර්ථික වශයෙන් ඇදවැටීම මෙන්ම කුණුවී ඕජස් ගලන අප සමාජ දේහය යළි සුවපත් කිරීමේ අත්හළ නොහැකි මහා වගකීම ඉටුකිරීම සඳහා සියලූදෙනා කැපවිය යුතුව ඇත. දේශපාලනය තම බලය තහවුරු කර ගැනීම සඳහා නොව, සමාජය සුවපත් කිරීම සඳහා මෙවලමක් කර ගන්නා සැබෑ මානවහිතවාදීන් අද රටට වුවමනා කර ඇත. එවන් සැබෑ ආදරණීය මානවහිතවාදීන්ට අපේ රටට අහිමි වී ඇති ආර්ථික, සමාජික සහ දේශපාලන නිදහස යළි ගොඩනැඟිය හැකිය. එවන් දිනයක් උදාවන තුරු අපි බලා සිටින්නෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment