ඇත්ත සාහිත්‍යයක් තුළින් සමාජ වෙනසක් ඇති කරන්න පුළුවන්…..

117

● ප්‍රවීණ ලේඛක – සුගතපාල මෙන්දිස්

ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙක් මෙන්ම ලේඛකයෙක් ලෙසද ප්‍රසිද්ධියට පත් සුගතපාල මෙන්දිස් විසින් රචිත සිව්වැනි නව කතාව “නිර්මලී” මීට මාස කීපයකට පෙර මුද්‍රණයෙන් නිකුත් විය. මෙරට එක්තරා කාලයක පැවති භීම දේශපාලන වටපිටාවක් තුළ එහි ගොදුරක් බවට පත් වූ තරුණියක පිළිබඳ අනුවේදනීය කතා පුවතක් රැගත් එම නවකතාව පිළිබඳව සුගතපාල මැන්දිස් මහතා සමග සිදුකළ කතාබහක් පහත පළවේ.

● මෑතකදී එළිදක්වන ලද “නිර්මලී” ඔබේ කීවෙනි නව කතාවද ?

මා විසින් රචනා කරන ලද හතර වෙනි නව කතාව ලෙස මීට මාස කීපයකට පෙර “නිර්මලී” පාඨකයන් අතට පත් කරන්න මට අවස්ථාව ලැබුණා. එය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස එළිදැක්වූ කෘතියක්. ඊට අමතරව මගේ නිර්මාණ ජීවිතය පිළිබඳව යමක් සඳහන් කරනවා නම් මේ වන විට නවකතා හතරක් ඒ වගේම කෙටි කතා සංග්‍රහයන් හතරක්, ගවේෂණ කෘතීන් හතරක් සහ පරිවර්තන කෘතියක් මා විසින් කරන ලද නිර්මාණ ගොන්නට අයත් වෙනවා.

● ඉහත සඳහන් කරන ලද සාහිත්‍යාංග අතරින් ඔබ වඩාත් සාර්ථක වන්නේ නව කතාව තුළ ද?

නිර්මාණකරුවෙක් වශයෙන් නව කතාව කෙටි කතාව එහෙමත් නැත්නම් ගවේෂණාත්මක කෘතියක් රචනා කිරීම ගමුකෝ. ඒ අතරින් මෙන්න මෙතනදි මම සාර්ථකයි කියලා විශේෂයෙන් සඳහන් කරන්න තැනක් මට නැහැ. ඒ හැම තැනකදිම සාර්ථක නිර්මාණයක් පාඨකයා අතට පත් කරන්න මම උත්සාහ අරන් තිබෙනවා. නව කතාවක් කියන්නේ ජීවිත විවරණයක්. ඒ සඳහා ලොකු කාලයක් වැය වෙනවා. කෙටි කතාවේදී ඒ තත්ත්වය මුළුමනින්ම වෙනස් වෙනවා. එහෙම තත්ත්වයක් තුළ මේ සාහිත්‍ය ශානරයන්ගේ වෙනස හඳුනා ගනිමින් මම මගේ නිර්මාණ කටයුතු කරගෙන යනවා මිසක් මම වඩාත් සාර්ථක කොතැනද කියල හොයන්න උත්සාහ කරන්නෙ නෑ.

● ඔබ සාහිත්‍ය නිර්මාණ පිණිස අත්පොත් තබන්නට පෙර පුවත්පත් කලාවේදියෙක්. ඒ අතීතය සිහිපත් කරනවා නම්.

ඔව්.. මම පුවත් පත් කලාවට පිවිසෙන්නේ 1976 අවුරුද්දේ. රත්ගම ප්‍රාදේශීය වාර්තාකරු වශයෙන් තමයි ඒ ගමන ආරම්භ කරන්නේ. ඉන් අනතුරුව දශක කිහිපයක් පුරා පුවත්පත් කලාවේදියෙක් වශයෙන් ලොකු වැඩ කොටසක් කරන්න මට පුළුවන්කම ලැබුණා. මම පුවත්පත් කලාවට ප්‍රවිෂ්ට වෙච්ච මුල් අවධිය තුළ පුවත්පත් කලාව අදට වඩා වෙනස් තැනක පැවතුණේ. එදා පුවත්පත් වාර්තාකරුවෝ විදිහට අපි නිතරම සැඟවුණු ප්‍රවෘත්ති සොයා යන්න උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් විදිහට මරණ තර්ජන වලට පවා ලක් වූ අවස්ථා කොතෙකුත් පවතිනවා.

● ඔබේ සාහිත්‍ය නිර්මාණ රස විඳීමේදී හැඟී යන දෙයක් තමයි ඔබේ ජීවන අත්දැකීම් අඩු වැඩි වශයෙන් එම නිර්මාණ තුළ අන්තර්ගතයි කියන දෙය. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද ?

එතැනදී මම සියයට සියයක් ඔබත් සමඟ එකඟ වෙනවා. මොකද මගේ නිර්මාණ සෑම එකකම මම ලැබූ අත්දැකීමක එහෙමත් නැත්නම් මා විසින් කරන ලද ගවේෂණයක ප්‍රතිඵලයක්. ඒ අත්දැකීම් තුළ හිඳිමින්, ජීවත් වෙමින් තමයි මම නිර්මාණකරණයේ නිරත වෙන්නේ.

● නිර්මලී නව කතාවට පසුබිම් වූ අත්දැකීම පිළිබඳව යමක් පැවසිය හැකිද ?

88 – 89 භීෂණ සමයේ එහි ගොදුරක් බවට පත් වූ තරුණියකගේ සත්‍ය කතාවක් පාදක කරගනිමින් තමයි නිර්මලී නවකතාව රචනා කරන්නේ. ඇගේ ඉරණම් කතාවට අමතරව එදා රට තුළ පැවති දේශපාලන සමාජයිය පසුබිම මොන වගේ හැඩයක්ද යන්නත් ඒ කතාව තුළින් විවරණය කරන්න මට පුළුවන්කම ලැබිලා තිබෙනවා.

● දේශපාලන සංසිද්ධීන් පසුබිම් කරගනිමින් නිර්මාණකරණයේ යෙදෙන්න ඔබට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ මතය සමඟ ඔබ එකඟද?

ඔව්…මම මෙතෙක් කරන ලද සෑම නිර්මාණයකම ඒ ඒ කාලවකවානු තුළ රටේ පැවති දේශපාලන පසුබිම අඩු වැඩි වශයෙන් සඳහන් වෙලා තිබෙනවා. නිර්මලී නව කතාව වගේම ඊට පෙර මා විසින් රචනා කරන ලද “සුදු කළු භීෂණයේ සෙවනැලි” කෘතිය ගත්තත් ඒ වගේම “මිලාන වූ වසන්තය” නව කතාව අරන් බැලුවත් මේ හැම එකකම දේශපාලනය තිබුණා. නමුත් ඒ මගේ දේශපාලනය නෙමෙයි. සාහිත්‍යකරුවෙක් ලෙස සමාජ සංසිද්ධීන් දෙස විපරම් ඇසින් බලද්දී ඔබ ඔය සඳහන් කරන දේශපාලනය ඒ හැම තැනම දකින්න ලැබෙනවා. නොබියව ඒවා ලියා තැබීම සහ ඒ තුළින් පාඨකයාට යමක් සිතන්නට සැලැස්වීම තමයි සාහිත්‍යකරුවාගේ කාර්යභාරය විය යුත්තේ. ඇත්ත සාහිත්‍යයක් තුළින් සමාජය වෙනස් කරන්න පුළුවන් කියන තැන තමයි මම ඉන්නෙ.

ඔබේ නිර්මාණ හැකියාවට සමාජය තුළින් නිසි ඇගයීමක් ලක්වූ බවට ඔබ තුළ යම් විශ්වාසයක් පවතිනවාද ?

මගේ ආත්ම තෘප්තිය පිණිස සහ සමාජයට යම් යහපතක් සිදු කිරීම පිණිස මිස ඇගයීම් උදෙසා මම පෑන මෙහෙය වන්නේ නෑ. තමන්ගේ නිර්මාණයක් පාඨක සමාජය විසින් ඉතාමත් කැමැත්තෙන් රස විඳිනව නම් ඒක තමයි ලේඛකයෙකු ලෙස ලබන්න පුළුවන් ඉහළම ඇගයීම බවට පත් වන්නේ. ඒ අර්ථයෙන් ගත් විට මේ වන තෙක් මගේ නිර්මාණ එකක්වත් පාඨකයාගෙන් ප්‍රතික්ෂේප වෙලා නැහැ.

සංස්කරණය – රුවන් ජයවර්ධන


advertistmentadvertistment