අභයගිරි දාගැබ් පරිශ‍්‍රයේ පුරාවස්තුවලට හානි පමුණුවමින් සිදු කෙරෙන ඉදිකිරීම් පිළිබඳව මවිසින් දිවයින පුවත්පත මගින් සිදු කරන ලද හෙළිදරව්වට ප‍්‍රතිචාර දක්වමින් අටමස්ථානාධිපති ඇතුළු අටමස්ථානයට අයත් විහාරාධිපතීන් විසින් උක්ත ලිපියට පිළිතුරක් නිවේදනයක් නිකුත් කර තිබුණි. අභයගිරි විහාරාධිපති විසින් සිදු කළ නීති විරෝධී ඉදිකිරීම සාමූහිකව සාධාරණීකරණය කිරීම එම ලිපිවල අරමුණ විය.
අභයගිරි දාගැබේ සර්වඥ ධාතු තැන්පත් කර ඇති බවට සාධක නොමැති බවත් ද්‍රෝණයක් ධාතු තැන්පත් කර ඇති රුවන්වැලි සෑයට ඇති සැදැහැවතුන්ගේ ආකර්ෂණය අභයගිරියට දිනා ගත නොහැකි බවත් මාගේ ලිපිය මගින් පැහැදිලි කර තිබුණි. මෙම ප‍්‍රකාශය තුළින් එහි ඉතිහාසය විකෘති වී ඇති බව අටමස්ථානාධිපති ඇතුළු විහාරාධිපතිවරුන්ගේ කරුණු දැක්වීම්වල සාරාංශය විය. සත්‍යය එයය. තවද එය මහායානික ධර්ම රුචික භික්ෂූන්ගේ මූලස්ථානය බව කියන්නේ මා නොව මහාවංශය බව මෙහිලා සිහිපත් කළ යුතුව ඇත. ගිරි නිඝන්ඨාරාමයක් එහි පැවති බව හා වලගම්බා රජු එය උපුටා දමා එතැන දාගැබ සැදූ බව කියන්නේද මා නොව මහාවංශයමය.
ඒ අනුව තවදුරටත් මා මහාවංශය සමග සිට දරනුයේ පසුගිය සතිඅන්ත පුවත්පත් මගින් දැරූ ස්ථාවරයම ය.
1856 වසරේ විහාර දේවාලගම් පනතේ අංක 38/843 වගන්තියට අනුව නූතන විහාරය සඳහා අක්කරයක භූමියක් ද අභයගිරි දාගැබ හා එහි මලූ සඳහා අක්කර 11 ක් ද වෙන් කර තිබේ. ඒ අනුව විහාරාධිපති විසින් මෙම තොරණ ඉදිකිරීම් සඳහා කටයුතු කර ඇත්තේ තමන්ට හිමි භූමියක නොවන බව කිවයුතුව තිබේ.
සාවද්‍ය ප‍්‍රකාශ කරමින් මුසාවාදා ශික්ෂාපදය කඩකරනුයේ මාද අන් අයද යන්න සිහිබුද්ධියෙන් වටහා ගැනීම බුද්ධිමත් ඔබට භාරය.
බල්ලන් සහ කුර සහිත සතුන් දාගැබ් මලූවට ඇතුල්වීම වළක්වනු පිණිස අඩි 3 ක් උසැති ගේට්ටුවක් කිසිදු පුරාවස්තුවකට හානියක් නොවන පරිදි තැනීමට ඉඩ දීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැත්තෙන් සාධාරණය. සර්කස් සඳහා පුහුණු කළ බල්ලන් හා ගවයන්ට හැර අන් සතුන් ඇතුළුවීම පාලනය කිරීමට එම උස බෙහෙවින්ම ප‍්‍රමාණවත්ය. තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇත්තේ පැරණි ඉදිකිරීම්වලට කිසිදු හානියක් නොවන පරිදි තල්ලූ කළ හැකි දොරටුවකි (sliding gate). එහෙත් විහාරාධිපති විසින් දැනට ඉදිකර ඇති කණුවල උස ප‍්‍රමාණය මීටර 2 යි සෙන්ටිමීටර 288 (දල වශයෙන් අඩි 9 කි) ක් වන අතර කණුවක පළල මීටර 1 යි සෙන්ටිමීටර 10 ක් වෙයි. ආසන්නයේ දමා ඇති ගඩොල් හා වැලි තොගය විහාරාධිපතිගේ අවසාන ඉලක්කය කුමක් වීද යන්න වටහා ගැනීමට බෙහෙවින්ම සෑහේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විහාරාධිපතිට ලබාදී ඇති සැලැස්මේ පිටපතක් ඔබගේ අවධානය පිණිස පහත දක්වා ඇත. ගේට්ටුවේ පහළින් ඇති තිරස් රේඛා ගේට්ටුවේ කොටස් නොව පැරණි පඩි පෙලේ පිය ගැට ය. සිරස් ඉරිවලින් දැක්වෙන්නේ අනුමැතිය ලද ගේට්ටුවේ කම්බි ය. එය දෙපස කිසිදු කණුවක් ගේට්ටුව සවිවර කිරීමට යොදා නොමැත.
පුරාවස්තු විනාශය හා විකෘති කිරීම 1998 අංක 24 දරණ පුරාවස්තු (සංශෝධන) පනතේ 15 ඇ සහ ඈ වගන්ති ප‍්‍රකාරව ඇප නොදෙනු ලබන බරපතල වරදකි. නීතිය කාටත් පොදුය. අනාගත හා වත්මන් පරපුරු වෙනුවෙන් පුරාවස්තු රැකීමට අති බහුතරයක් ගරුතර භික්ෂූන් වහන්සේලා දිවි හිමියෙන් කටයුතු කරන මුත් එය පුරාවස්තු වනසන හා ඊට අනුබල දෙන භික්ෂූන්ට අදාළ වන්නේ නැති බවද මෙහිලා සඳහන් කළ යුතුව ඇත. තවද පුරාවස්තු රැකීම පුරාවස්තු විනාශයට දෙන බලපත‍්‍රයක්ද නොවේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැන් මෙම ඉදිකිරීම අත්හිටුවා ඇත. වූ විනාසය නැවත යථාවත් කළ නොහැක. දැන් කළ යුතුව ඇත්තේ මෙම බරපතළ පුරාවස්තු වැනසුම සම්බන්ධයෙන් කටයුතු කළ හා ඊට උඩගෙඩි දෙමින් මෙම ක‍්‍රියාව සාධාරණීකරණය කරන්නන්ගේ වියදමින් විනාශය යථාවත් කිරීමට හැකි සෑම උත්සාහයක්ම දැරීමය. එසේ නොකළහොත් මේ සම්බන්ධයෙන් ලෝක උරුම මධ්‍යස්ථානයට දැන්වීමට සිදුවනු ඇත. පසුගිය ලිපියෙන් මා දැනුවත් කළ පරිදි මෙම පියවර ගැනීමට දැනටමත් කටයුතු කරමින් සිටින මුත් දෙවරක් සිතා බැලීමට අප තීරණය කළේ ගෙදර ප‍්‍රශ්න ගෙදරම විසඳා ගත හැකිය යන සාධනීය සිතිවිල්ල නිසාය. එය එසේ නොවුණහොත් එකී විකල්පයට යෑමට සිදුවනුයේ වත්මන් හා අනාගත පරපුරු වෙනුවෙන් ඒවා රැකීමේ වගකීම අපේ කර මත පැටවී තිබීම නිසා හා ජාතික උරුමය යනු රටටම අයත් එකක් විනා පුද්ගලික බූදලයක් නොවන නිසාය.
මෙහිදී විෂය භාර අමාත්‍යවරයාට මහත් වගකීමක් ඇත්තේය. ඉක්මන් ප‍්‍රතිචාරයක් ඔහු දක්වතැයිද සිදුවී ඇති විනාශය සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරතැයිද අප බලාපොරොත්තු සහහතව බලා සිටින්නෙමු.
ආචාර්ය සෙනරත් දිසානායක
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්