ඇතැම් වී ප‍්‍රභේදවලට වෙල්මීයන් වැඩිපුර කැමැතියි…..

261

* ගොයමට හානි කරන වෙල්මීයන් මගහරින ජෛවපාලන පියවරක්…

* රටේ ජනප‍්‍රියම කීරි සම්බා ප‍්‍රභේදයට මීයන් අකමැතියිලු

* ගොයමට හානි කරන වෙල්මීයන් මගහරින ජෛවපාලන පියවරක්…

* රටේ ජනප‍්‍රියම කීරි සම්බා ප‍්‍රභේදයට මීයන් අකමැතියිලූ

* වෙල්මීයන් සමග බතලගොඩ හරිතාගාර පර්යේෂණයක්

ඇතැම් වී ප‍්‍රභේදවලට වෙල්මීයන් වැඩිපුර කැමැතියි.....


වී වගාවේ පළිබෝධකයින් වශයෙන් අප නිතර දෙවේලේ දැන හඳුනාගන්නේ ගොයම් ගස් අතර ජීවත්වෙන කෘමි සතුන් වුවත්, වගාවට හානි පමුණුවන වල්ඌරාද, නියරේ ගුල් සාදාගෙන වෙසෙන වෙල්මීයා ද වගාවට හානි පමුණුවන පළිබෝධකයින්ය. දඩයමක් සාර්ථක වන්නේ නම් වල් ඌරාගේ පැමිණීම ඇතැම් පිටිසරබද ගොවීනට අතිරේක ප‍්‍රතිලාභයක් ලබා දුන්නද වෙල්මීයා විසින් නම් වගා හානි කරනවාට අමතරව කුඹුරට බසින  ගොවියාට මාරාන්තික මී උණ පවා බෝකරමින් ආකාර දෙකකින් ගොවියාට පහරදෙන බව පෙනේ. ඒ නිසා කෘමි පළිබෝධකයෙක් ගැන ක‍්‍රියාත්මක වන ප‍්‍රමාණයෙන් ඔබ්බට මෙම ක්ෂීරපායී පළිබෝධකයා ගැන ගොවි ජනතාව සැලකිලිමත් විය යුතුය. මන්දයත් කෘමි පළිබෝධකයින්ගේ හානිය ගොයම තුළට සීමා වුවත් වෙල්මීයාගේ අනතුර කුඹුරු කොටන මිනිසා දක්වා බලපවත්වන බැවිනි. අපගේ තත්ත්වය මෙසේ වුවත් වියට්නාමය වැනි රටවල කුඹුරේ වෙසෙන මීයන් විසින් ගොවියාට අතිරේක ආදායමක් ද සපයාදෙයි. එම රටේ නම් වෙල් මීයන් වනාහී කුඹුරෙන් ලැබෙන තවත් අස්වැන්න ප‍්‍රභේදයකි. හෝචිමිං සිටි නමැති එහි අගනුවර පවා ඇතැම් සුපිරි අවන්හල් කෑම වට්ටෝරුවල විවිධ ආකාරයට පිළියෙළ කළ මීයන් දීසි පිටින් අලෙවියට තබා ඇත්තේය. ඒ නිසාම මීයන් අල්ලා නගරයට අලෙවි කිරීම එරට ග‍්‍රාමීය ගොවියාට අතිරේක ආදායම්  මාර්ගයක්ද වේ. එහෙත් අපේ ගොවියා ඊට වඩා ධාර්මික සිතුවිලි ඇත්තෙකි. දුඹුරුපැල කීඩෑවා, ගොක් මැස්සා වැනි ඇහැට පෙනෙන නොපෙනෙන තරමේ පළිබෝධකයින්ව වස දියර ඉස වනසා දැමුවාට, මීයන් වැනි විශාල ක්ෂීරපායී සතුන් මරන්නට නම් ගම්වල ගොවි ජනතාවට හිත හදාගැනීමට අපහසුය. ඒ නිසා කුඹුරට මීයන් කැන්දා නොගැනීමේ පිළිවෙත් කියාදීමත්, මීයන්ගේ හානිය අවම වී ප‍්‍රභේද ඇත්නම් ඒවා ගොවීනට හඳුන්වාදීමත් කෘෂි නිලධාරීන්ගේ යුතුකමක් මෙන්ම වගකීමක් බව පෙනීගොස් තිබේ. මෙය ද ජෛව පළිබෝධ පාලනයේ එක් පැතිකඩකි. හරිත ගොවිතැනක් වෙතට පරිවර්තනය වෙමින් තිබෙනා මේ අවධියේදී මීයන් මගහැරීමේ මෙවන් පිළිවෙත් සොයායෑමට කෘෂි විද්වතුන් පියවර ගැනීම ඉහළින් පැසසිය යුත්තකි. කුඹුරේ මීයන් වැඩිවීමට ප‍්‍රධාන හේතුවක් වන්නේ අසම්පූර්ණව කෙරෙන මූලික බිම් සැකසීම බව පවසමින් සාකච්ඡුාවට ප‍්‍රවිෂ්ට වූයේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කෘමි විද්‍යාඥ, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.ආර්. සරත්චන්ද්‍ර මහතාය.

”වී ගොවිතැන කියන්නේ පරිසරයත් එක්ක බද්ධ වූ කර්තව්‍යයක්. එම සම්පූර්ණ ක‍්‍රියාදාමයේම බිම් සැකසීමට ප‍්‍රධාන තැනක් තියෙනවා. මූලික බිම් සැකසීම හරියට කෙරුණොත් කුඹුර කළමනාකරණය කිරීමේදී ඉදිරියට ලොකු සම්පත් ඉතිරියක් වෙනවා. වල් මර්දනය පහසු වෙනවා, රෝග හා පළිබෝධ හානි අවම වෙනවා, ජල පරිභෝජනය විධිමත් වෙනවා, ඔය සේරොම නිසා ගොයම හොඳට හැදිලා අස්වැන්න වැඩිවෙනවා. ඒ නිසා බිම් සැකසීම කියන්නේ ඉස්සර ගොවීන් හොඳට වෙලාව අරගෙන කරපු වැඩක්. දැන් හැමෝටම පුදුම හදිස්සියක් තියෙන්නේ. ඇයි කාලගුණය ඒ තරමටම අවිනිශ්චිතයි. වැටෙන සුළු වැස්සෙන් හෝ කිරලා මැනලා වගේ දෙන මූලික වතුර මුරයෙන් බිම් සැකසීම ඉවර කිරීම තමයි ගොවියා මුහුණ දෙන අභියෝගය. වල්පැලෑටිවලට, ගොයමට හානිකර කෘමීන්ට විතරක් නෙවෙයි වෙල් මීයන්ටත් ගොවියාගේ මේ හදිස්සියෙන් සැලසෙන්නේ වාසියක්.”

මීයා තුල වෙසෙන ‘ලෙප්ටොස්පයිරා’ (Leptospira)  නමැති බැක්ටීරියාව උන්ගේ මුත‍්‍රා සමග පිටවී මිනිස් රුධිරය හා මුසුවීමට වැඩි හැකියාවක් කුඹුරු පරිසරය තුළ තිබේ. මීයන්ගේ වකුගඩු තුළ පමණක් නොව ගවයින්, එළුවන්, ඌරන්, බල්ලන් වැනි සතුන් තුළ පවා ජීවත්වෙන මෙම බැක්ටීරියාව මගින් එම සතුන්ට හානියක් සිදුකරන්නේ නැත. එහෙත් මුත‍්‍රා සමග පිටවී පරිසරයට එකතුවෙන බැක්ටීරියාව, සමෙහි වූ තුවාලයක් හෝ මුඛයේ ශ්ලේෂ්මල පටල වැනි සංවේදී ස්ථානයක් හරහා හෝ මිනිස් සිරුර තුළට ඇතුල්වුවහොත් නම් ප‍්‍රතිපලය අන්තරාදායක වේ. රෝගයෙහි විද්‍යාත්මක නම ලෙප්ටොස්පිරෝසිස් (Leptospirosis) ය. වෙල්මීයා වඩාත් ප‍්‍රියකරන ආහාර වර්ග පිළිබඳව විස්තර ලියවී තිබුණත්, ඔවුන් කෑමට කැමති වී ප‍්‍රභේද කවරේදැයි මෙතෙක් සොයාබැලීමක් කර නැත. ඒ ගැන යම් දැනුවත් බවක් තිබේ නම් වෙල්මී හානිය බහුලව ඇති ප‍්‍රදේශ සඳහා මෙන්ම, වෙල්මීයන්හට වඩාත් ග‍්‍රාහී ප‍්‍රභේදයක් වගා කරන ගොවීන්ට ද පූර්ව උපදේශයන් නිකුත් කිරීමට වුවත් කෘෂි නිලධාරීන්ට හැකියාව ලැබෙනු ඇත.

”මෙම දත්තයන් රැස්කිරීමට තමයි අපි බතලගොඩදී පර්යේෂණයක් කෙරුවේ. ලංකාවේ ජනප‍්‍රිය වී ප‍්‍රභේද 15 ක් අපි ආරක්ෂිත ගෘහයක් තුළ ලොකු බඳුන් භාවිතා කර වගා කෙරුව. පීදිලා සතියකට පස්සේ අපි වෙල්මීයන් 50 දෙනෙක් ගෘහය තුළට දැම්මා. දින 3, 5 සහ 7 යන කාල අවසානයේදී මීයන්ගේ හානිය කෙතරම් ද කියලා අපි වාර්තා තබාගත්තා. සරල නිරීක්ෂණයක් පමණක් නෙවෙයි, සංඛ්‍යානමය ගණනය කිරීමක් පවා සිදුකරලා සොයාබැලූවා. විද්‍යාත්මකව සැලකිය හැකි තරමේ සත්‍ය හානියක් සිදු වූ වී ප‍්‍රභේද තිබේ නම් ඒ මොනවාද කියලා.”

වෙල්මීයන් කෑමට රුචි වී ප‍්‍රභේද මොනවාදැයි සොයාගිය පර්යේෂණ ක‍්‍රමවේදය පිළිබඳව සරත්චන්ද්‍ර මහතා පැවසුවේ එබන්දකි. ඔහු බලාපොරොත්තු වූ ආකාරයට ඇතැම් වී ප‍්‍රභේදයන්ට වෙල්මීයා වැඩිපුර කැමති බව සනාථ වී තිබේ. බී.ජී. 403 ප‍්‍රභේදයට සිදුව ඇති හානිය පර්යේෂණය පැවැත්වූ කන්න දෙක තුළදීම උපරිම විය. ප‍්‍රමාණයෙන් එය 85% ක හානියකි. ඊළඟට 50% ක හානියක් වාර්තා කර තිබුණේ බී.ඩබ්ලිව්. 367 නමින් හඳුන්වන බෝඹුවල පර්යේෂණායතනයෙන් නිර්දේශ කළ ප‍්‍රභේදයකි. අනතුරුව සිටියේ 49% ක හානියක් පෙන්වූ බී.ජී. 379-2 ය. මධ්‍යම ප‍්‍රමාණයේ හානියක් පෙන්වූ වී ප‍්‍රභේද වන්නේ බී.ජී. 374, ඒ.ටී. 362, ඒ.ටී. 311, බී.ජී.357, එම්.ඒ. 2, බී.ජී. 358, ඒ.ටී. 303, බී.ජී. 300 සහ බී.ජී. 366 යන ඒවාය. අඩුම හානියක් වන 11%, 6% සහ 5% යන ප‍්‍රමාණයන් නිරීක්ෂණය වී ඇත්තේ පිළිවෙළින් බී.ජී. 360 (කීරි සම්බා*, බී.ජී. 251 සහ බී.ජී 310 යන ප‍්‍රභේදයන්ය. ජනතාව වැඩියෙන්ම කෑමට කැමති රසවත් කීරි සම්බා ප‍්‍රභේදය අනුභවයට වෙල්මීයන් අකමැතිවූයේ ඇයිදැයි යන්න විශේෂයෙන් සොයාබැලිය යුතු සිදුවීමක් යයි සිතේ!!

තම පර්යේෂණයේ ප‍්‍රතිපල පසුගියදා පැවති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සමුළුව වෙත සරත්චන්ද්‍ර මහතා විසින් ඉදිරිපත් කරන ලදී. වී ප‍්‍රභේද 15 මගින් ලැබූ ප‍්‍රතිපල ලේඛනය අනුව වෙල්මීයාගේ වැඩි ආකර්ෂණයක් තිබෙන වී ප‍්‍රභේද තිබෙනා බව විද්‍යානුකූලවම සනාථ වී තිබේ. බතලගොඩ කණ්ඩායමේ මීළඟ අරමුණ වී ඇත්තේ එයට හේතුව කුමක්දැයි සොයා යෑමයි. නිසිපරිදි බිම් සැකසීම, මීයාට සතුරුවෙන විලෝපික සතුන් කුඹුරේ ගැවසෙන පරිද්දෙන් පරිසරය ආරක්ෂාකිරීම හා සැකසීම වැනි ක‍්‍රමවේදයන් හරහා වෙල්මීයා පාලනයට ගොවියා අසමත් වන්නේ නම්, ඔහුගේ ඊළඟ අවධානය යොමුවිය යුත්තේ මෙවැනි පර්යේෂණ තොරතුරු වෙතටය. මීයන් බහුලව වෙසෙන වගාබිමකට යොමුවන්නේ නම් ඔවුන් අකමැති ප‍්‍රභේදයන් වෙත වැඩිපුර යොමුවීමෙන්ද, වෙල්මීයාගේ හානිය වැඩි ප‍්‍රභේදයක් වවන්නේ නම් මීයන් පිටුදැකීමට ශක්තිමත් පියවර මුල සිටම අනුගමනය කිරීමද වී ගොවියාට යම් සහනයක් ලබාදීමට හේතුවෙනවා ඇත.

සනත් එම්. බණ්ඩාර
[email protected]

සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment