ඇතුවත් බැරි නැතුවත් බැරි කලර් ලයිට්

511

ප්‍රධාන නගර හා ඒ ආශ්‍රිතව සවිකර ඇති ආලෝක සංඥා පුවරු අක්‍රිය කර ඒ වෙනුවට පොලිස් නිලධාරීන් රථවාහන හැසිර වීම මින් ඉදිරියට නොකළයුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත නියෝග කර ඇති බව (28දා) පුවත්පත්වල පළ විය.

කොළඹ ඇතුළු තදාසන්න නගරවල මෙම මාර්ග අලෝක සංඥා පුවරු හෙවත් ‘කලර් ලයිට්’ හරහා සිදුවන සේවය අතිමහත්ය. අපේ රටේ ඇතැම් රියැදුරන්ට ඇති කඩිකුලප්පුව දෙස බැලීමේදී මේ තරම්වත් අනතුරු නවත්වා ගතහැකිව ඇත්තේ මෙම “කලර් ලයිට්” නිසාය. මේ තුළින් විශේෂයෙන්ම කොළඹ නගරයේ ගමන් ගන්නා වාහනවලට අමතර කාලයක් ගතවන නමුත් ඒ හරහා වාහනවලට හා පදිකයන්ට ලැබෙන මාර්ග සුරක්ෂිතතාවය සැලකීමේදී එම ප්‍රමාදය නොසලකා හැරිය හැකිය.

විශේෂයෙන්ම පදික මාරුවල අලෝක සංඥා පුවරු අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වියයුතුය. ඇතැම් දුර පළාත් අතර ධාවනය වන බස්රථ ඇතුළු ඇතැම් නොහික්මුණු රියැදුරන් සිතා සිටින්නේ මහා මාර්ගය ඇත්තේ ඔවුන් පදවන වාහනයට ගමන් කිරීමට පමණක් බවයි. මාර්ගය හරහා පදිකයන් මාරුවීම ඔවුන්ට අනුව මරණ සහතිකය අතේ තබාගෙන යන ගමනකි.

අනෙක් අතට ඇතැම් පදිකයන්ද පදික මාරුව බල්ලට දමා තමන්ට හිතෙන හිතෙන තැනින් පාර හරහා මාරුවීම ද නිරන්තරයෙන් දකින්නට ලැබෙන ඉතා නොහික්මුණු ක්‍රියාවකි.

ආලෝක සංඥා පුවරු නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය තත්ත්වයක් වුවද ඇතැම් අවස්ථාවලදී එම සංඥා පුවරු හේතුවෙන් විශාල වාහන තදබදයක් නිර්මාණය වන අවස්ථා ද ඇත. ඊයේ (28 වැනිදා) උදෑසන මෙම නව නීතිය ක්‍රියාත්මක වීම ආරම්භ වීමත් සමග බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අසල විශාල වාහන තදබදයක් දක්නට ලැබුණි. මීට පෙර මෙම ස්ථානයේ පොලිස් නිලධාරීන් ඉතා සැලසුම් සහගතව වාහන හැසිරවීම නිසා අතිවිශාල වාහන සංඛ්‍යාවක් හොඳ කළමනාකරණයක් යටතේ ගමන් කරවිය හැකිව තිබුණි. එහෙත් ඊයේ අලෝක සංඥා පුවරුව අඛණ්ඩව කහ වර්ණය දැල්වෙමින් තිබීම හේතුවෙන් කිසිදු පාලනයකින් තොරව මුළු වටරවුම පුරාම වාහන තදබදයක් ඇති වී තිබුණි. ඒ අනුව පැහැදිලි වන්නේ අලෝක සංඥා නීතිය ක්‍රියාත්මක කිරීමේදී මීට වඩා විද්‍යානුකූලව හැදෑරීමක් කළ යුතුව තිබුණු බවයි. මෙම මාර්ග සංඥා නීතිය සෑම ස්ථානයකට ම සෑම වේලාවකට ම එක සේ සුදුසු නොවන බව අපගේ හැඟීමයි.

කලක සිට අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරු සංඛ්‍යාව ද සැලකියයුතු ප්‍රමාණයකින් ඉහළ ගියේය. විශේෂයෙන්ම රාත්‍රි කාලයේ දී ඇතැම් අධිවේගී මාර්ගවල විථී පහන් නිවා දැමීම මෙම අනතුරු ඉහළ යෑමට තදින්ම බලපා ඇති බවට සැක නැත. මාස කිහිපයකට පෙර රාජ්‍ය ඇමැතිවරයකු ගමන් ගත් වාහනයක් කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයේ දී අනතුරට පත් වූයේ ද නිසි ආලෝක පද්ධතියක් ක්‍රියාත්මක නොවීම නිසා බව පැවසිණි. මෙය ඉතා කනගාටුවට කරුණක් සේම පිළිකුලෙන් හෙළා දැකියයුතු තත්ත්වයකි.

අධිවේගී මාර්ග භාවිත කරන සෑම වාහනයකින් ම ගාස්තු අය කරන මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකය ඒ හරහා වාර්ෂිකව ඉතා විශාල ආදායමක් උපයයි. එහෙත් අධිවේගී මාර්ග භාවිත කරන රථවාහන හා මගීන්ගේ ආරක්ෂාව පිළිබඳව ඇති අත්නොහල හැකි වගකීම පැහැර හරිමින් මාර්ගයේ වීථි ලාම්පු රාත්‍රි කාලයේ නිවා දැමීම ඉතා පහත් ගනයේ ක්‍රියාවකි.

මාර්ග ආරක්ෂාව බොහෝ රටවල ජාතික ප්‍රතිපත්තියේ ඉහළ ම ස්ථානයක තිබුණත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයන්ගේ සිට පදිකයා දක්වා ම ඒ පිළිබඳව යොමු කර ඇත්තේ ඉතා අඩු අවධානයකි. විශේෂයෙන් ම මාර්ග විනය (Road Manners) යන සංකල්පය පිළිබඳව රියැදුරන් මෙන්ම පදිකයන් අතර ද දැනුම වර්ධනය කිරීමේ වැඩසටහන් වහ වහා ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කර සිටිමු.


advertistmentadvertistment