ඇපයට තිබ්බ ණය කොන්දේසි වෙන්දේසියේ!

144

ශ්‍රී ලාංකිකයන්ට නව රැකියා අවස්ථා….
බදු ආදායම වැඩි වෙයි!
ආයෝජකයන් ආවොත් රට ගොඩ!

ශ්‍රී ලංකාව විස්තර්ණ ණය මුදලක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපයා ගැනීමට සමත්ව ඇත. ඇමරිකානු ඩොලර් බිලියන තුනක් වන මෙම මුදල වසර හතරක් ඇතුළත වාරික වශයෙන් රටට ලබාගත හැකිවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පදවිය භාරගත් අවස්ථාවේ දී ගමන දුෂ්කර බව පැහැදිලිව කියා සිටි අතර තිත්ත තීරණ ගන්නට සිදුවන බව හෙළිදරව් කළේය. වැල්පාලමේ කතාව හෙතෙම උදාහරණයක් කොට දැක්වීය. මූල්‍ය අරමුදලේ ණය අනුමතවීම වැල් පාලමේ ගමන අරඹන පළමු පියවර බව සැලකිය යුතුය. පළමු වාරිකය වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන තුන්සිය තිස් තුනක් ලැබීම නැලැවිල්ලකට හේතුවක් නොවේ. රට වැසියන්ගේ අවශ්‍යතාවන් ද තුරුළු කරගෙන දීර්ඝ ගමනකට සූදානම් විය යුතුය. පහසු නැත. කැපවීම් කරන්නට සමාජයේ සෑම කොටසකටම සිදුවේ. අවුරුදු හතරක් සැලැස්මකට අනුව ගමන් කළහොත් අනාගතය පැහැපත්ය.

2023 වසරේ දළ දේශීය නිෂ්පාදිතය ද පහත වැටෙනු ඇති අතර එය රින සියයට තුනක අගයකින් විය හැකි බව දැනටමත් පුරෝකථනය කර තිබේ. පසුගිය වසරේ සියයට 8.7 කින් රින අගයක් ගත් දළ දේශීය නිෂ්පාදිතය මෙම වසරේ තවත් වටයකින් පසුබෑමකට ලක්වන අතරතුර එහි පීඩනයෙන් ජනතාව කැළඹීමකට පත්වනු වැළැක්විය නොහැක. දැනටමත් පළාත් පාලන ඡන්දය ගැන උණුසුමක් තිබේ. පැවැත්විය යුතු පළාත් සභා ඡන්දය ගැන මතකයක් රටට නැත. පාර්ලිමේන්තුව විසුරුවා හරින බලය ජනාධිපතිවරයාට ඇත. වසර හතරක් ඇතුළත දේශපාලනයේ ද, ආර්ථිකයේ ද වෙනස්කම් විශාල ප්‍රමාණයක් සිදුවිය හැකි අතර එම සියලු බාධක මැදින් ආර්ථික ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා දැවැන්ත ප්‍රයත්නයක් අවශ්‍ය කෙරේ.

● විස්තීරණ ණය පහසුකමක් සඳහා ආරම්භ කළ ගමන

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සහ කොවිඩ් ලොක්ඩවුන් හේතුවෙන් වසර ගණනක් අඩාල වූ ආර්ථික කටයුතු ශ්‍රී ලංකාවේ උත්පාදනය සීමා කළේය. හිටපු ජනාධිපතිවරයා ආනයන පාලනය කරමින් තාවකාලික පැලැස්තර අලවන්නට උත්සාහ කළ අතර අවසාන භාගයේ දී රටට අවශ්‍ය රසායනික පොහොර පවා ආනයනය නතර කර වස විස නැති ගොවිතැනක් ගැන මිථ්‍යාවකට ගියේය. රට තුළ පැන නැගුණ විරෝධතා අවසන් වූයේ දැවැන්ත අරගලයකින්ය. එම අවස්ථාවේ දී මූල්‍ය අරමුදලෙන් තාවකාලික ණය සංචිතයක් උපයාගෙන විදේශ සංචිත තරකරගත හැකිව තිබුණි. ආණ්ඩු පක්ෂයේ ඇතැම් අන්තවාදී පිරිස් එයට එකහෙලා විරුද්ධත්වය පළ කළහ. ඉන්ධන, විදුලිය, ගෑස් හිඟවන අතර නොනවතින අරගලය කෙළවර ගෝඨාභය රජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස් වූ අතර අලුත් ආණ්ඩුවක් තෝරාපත් කර ගැනිණි.

අර්බුදය කළමනාකරණය කරගත නොහැකි පසුබිම තුළ මහත් විනාශයක් ඇති කරමින් හිටපු ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වී ගිය නමුත් ඔහුගේ ධුර කාලය අවසානයේදී දැනට රටට අස්වැසිල්ලක් වී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගැනීමට පදනම සකස් කළ බව ද සඳහන් කිරීම වැදගත්ය.

තාවකාලික ණය සංචිතයක් ලබාගැනීමේ අභිප්‍රාය දක්වමින් එවකට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මූල්‍ය අරමුදලට ලිපියක් යවන ලද අතර ජනාධිපතිවරයා රටට පිළිගත හැකි නිලධාරීන් වශයෙන් මහ බැංකුවට නව අධිපතිවරයෙකු හා භාණ්ඩාගාර ලේකම්වරයෙකු පත් කරන්නට පියවර ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පත්වීම් එලෙසම තබාගනිමින් මූල්‍ය අරමුදලේ සාකච්ඡා පවත්වාගෙන ගිය අතර විස්තීරණ ණය පහසුකම එම අඛණ්ඩ ක්‍රියා පටිපාටියේ ප්‍රතිඵලයකි.

● ඇපයට තබන ලද ණය කොන්දේසි විස්තීරණ ණය පහසුකම

ලබාගැනීමේ දී අත්සන් කළ ගිවිසුම හා එයට ඇතුළත් වූ කොන්දේසි ගැන විපක්ෂය ප්‍රශ්න කරමින් සිටී. සාමාන්‍ය ජනතාවට ද කොන්දේසි ගැන දැනැගැනීමේ අයිතියක් ඇත. කෙසේ වෙතත් මූල්‍ය අරමුලද වෙබ් අඩවියේ 2022 මැද භාගයේ සිට ආරම්භ කළ සාකච්ඡා ගැන විස්තර සම්පූර්ණයෙන්ම ඇත. ණය ගිවිසුම ද තිබේ. විනිවිද භාවයෙන් කරුණු දක්වා ඇත. මූල්‍ය අරමුදල සඳහන් කරන පරිදි ණය සංචිතය අනුමත කරන්නට කලින් පැමිණි විශේෂ නියෝජිත පිරිසක් ජනාධිපති, අගමැති ඇතුළු නිලධාරීන් ද විපක්ෂය ද හමු වී ඇත. සිවිල් සංවිධාන නියෝජිතයන් හා පුද්ගලික අංශයේ ප්‍රධානීන් ද හමුවී ණය පහසුකම සහ ඉටු කළ යුතු කොන්දේසි ගැන කරුණු දක්වා තිබේ. ණය මුදල අනුමත වූ පසු නොදන්නවා සේ හැසිරීම බොළඳ ක්‍රියාවකි.

දූෂණ හා වංචා තුරන් කිරීමට පියවර ගත යුතු අතර ලබන ජුනි මාසයට කලින් දූෂණ මර්දන විශේෂ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු බව ණය කොන්දේසි අතර සඳහන් එක කරුණකි. මෙම යෝජනාවට කරුණු දක්වන්නේ ආණ්ඩුව නොවේ. විපක්ෂ කණ්ඩායම් හා වෘත්තීය සමිති බව ඉතාම පැහැදිලිය. ආසියාවේ රටකට මෙවැනි තදබල නියෝගයක් පළමු වතාවට පනවන ලද බව ද සඳහන් කළ යුතුය. මෙයට පෙර මෙවැනි ණය නිකුත් කිරීමක් සඳහා දූෂණය මැඬැලීම කොන්දේසියක් වශයෙන් පනවා තිබුණේ අප්‍රිකානු අර්ධද්වීපයේ අන්ධකාර රටවලට පමණකි. අණ පනත් සම්මත කිරීමෙන් පමණක් දූෂණය මැඬැලිය නොහැකිය. තොරතුරු දැනගැනීමේ පනත එයට හොඳ උදාහරණයකි. දූෂිතයන්ට පවරන නඩු අවසානයේ නිදොස් කොට නිදහස් වන අතර ඒවා වෙනම සාකච්ඡා කළ යුතුය. ණය මුදලේ කොන්දේසි ඉටු කරන වගකීම ආණ්ඩුවට පැවැරෙන අතර විපක්ෂය ද දූෂණ පනත ඉක්මන් කරන ප්‍රතිපත්තියකට යා යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන ලද කොන්දේසි වලින් සමහරක් දැනටමත් සම්පූර්ණ කර ඇත. ඉන්ධන හා විදුලිය සඳහා පිරිවැය ආවරණය කරන ගාස්තු ක්‍රමය එයින් එකකි. ජනතාවට ඉහිලිය නොහැකි තරමට විදුලිය ගාස්තු නංවන ලද ආණ්ඩුව පසුව වැට් බද්ද නැංවීය. උපයන විට ගෙවන බදු වැඩි කළේය. මද්‍යසාර හා දුම්කොළ බදු වැඩි කර ඇත. මෙම බදු අය කළ යුතු තරම හා ප්‍රතිශත පවා මූල්‍ය අරමුදලේ කොන්දේසිවල පැහැදිලිව දක්වා තිබේ.

● තවත් බදු පැනැවීම් ඉදිරියේ දී නියමිතය

පනවන ලද කොන්දේසි අනුව වසර 2025 දක්වා හැසිරෙන්නට සිදුවී තිබේ. පුද්ගලයන් ගේ වත්කම් අනුව අලුත් බද්දක් තවත් දෙකකින් පැනැවිය යුතුය. නිශ්චල හා චංචල දේපොළ තක්සේරු කර අවුරුද්දක් පාසා වටිනාකම් ඉහළ යන ප්‍රමාණය අනුව ප්‍රතිශතයක් වශයෙන් බදු ගෙවන්නට සිදුවිය හැක. මූල්‍ය අරමුදල දක්වන පරිදි මෙම බද්ද සඳහා අවශ්‍ය නීති සකස් කරන තාක්ෂණික සහාය සපයන්නට ද සූදානම්ය. ත්‍යාග බද්දක් ගැන ද කියැවේ. කිසිම ත්‍යාගයක් නොලබන දුගී ජනතාවට මෙම බද්ද ගෙවන්නේ කෙසේද? දුප්පතුන්ට එය අනෙක් ආකාරයකින්ය. සමාජය දුප්පත් වී ඇති බව කියන මූල්‍ය අරමුදල සහන සැපැයිය යුතු බව දක්වයි. කෙසේ නමුත් දැනට ගෙවන සහනාධාර ක්‍රම සම්පූර්ණයෙන්ම සංශෝධනය කර නියම සුදුස්සන් හඳුනාගත යුතු බව අවධාරණය කර තිබේ. ඒ සඳහා අලුත් නිර්නායක සකස් කරගත යුතුය. ආණ්ඩුව දැනටමත් සන්නිවේදනය කරන පරිදි ආධාර ලබන පිරිස් මාර්තු තිස් එක්වැනිදාට කලින් ලියාපදිංචි විය යුතුය යන නිවේදනය මෙහි ප්‍රතිඵලයකි.

ශ්‍රී ලංකා මහ බැංකුවට අලුත් පනතක් ඉදිරිපත් කළ යුතු බව තවත් කාරණයකි. දැනට බලපවත්වන පනත ස්වාධීනත්වයට නොතරම් අතර අප්‍රියෙල් මාසයට කලින් අලුත් පනත බලගැන්විය යුතු බව දැක්වේ. ආණ්ඩුවට අයත් බැංකු දෙකක සහ වාණිජ බැංකු තුනක වත්කම් නැවත සොයා බැලිය යුතුය. ශේෂ පත්‍රවල වත්කම් ගැන විශාල ඉලක්කම් පවතින නමුත් මෙම වත්කම්වලින් කොටසක් අංක පමණක් බව පෙනී ගොස් තිබේ. ස්වාධීන මණ්ඩලයක් බැංකුවල වත්කම් සොයා බැලීමෙන් අනතුරුව වත්කම් සමබර කරන්නට සිදුවන අතර එහි දී ප්‍රාග්ධනය එකතුකිරීමක් අපේක්ෂා කළ හැක. වාණිජ බැංකු කොටස් නිකුත් කරන නමුත් රජයේ බැංකුවලට අත්පත් විය හැකි ඉරණම පැහැදිලි නැත.

දැනටමත් පනවන ලද බදු වලින් ජනතාව විශාල උගුලක පැටැලී සිටී. වියදම වැඩි වී ඇති අතර වැටුපට අය කරන බද්ද පදනම් කරගෙන ආදායම ද පහත වැටී ඇත. ආණ්ඩුව හා මූල්‍ය අරමුදල එකතු වී ජනතාව සතු අන්තිම රුපියල දක්වා පැහැර ගැනීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇති අතර ඝෝෂා නගන විපක්ෂය ද මෙම තොරතුරු නොදැන සිටියේ නැත.

● රාජ්‍ය ආයතනවල ඉරණම ද තීන්දු කෙරෙන සැලැස්මක්

ඇපයට තිබ්බ ණය කොන්දේසි වෙන්දේසියේ!

විදුලිය බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ගැන මූල්‍ය අරමුදල කරුණු දක්වා ඇත. මෙම ආයතනවල අලාභ දරුණු තැනක පවතී. වියදම ආවරණය කරගත යුතුව තිබේ. සඳහන් කරන ලද ආයතනවලට අමතරව රජය සතු සමාගම් විකුණා දැමීම හෝ ලාභ උපයන තැනට පත් කළ යුතුය. එය මූල්‍ය අරමුදලේ කොන්දේසියකි. මෙයට කලින් දහසය වතාවක් මූල්‍ය අරමුදලෙන් ණය සංචිත ලබාගෙන ඇති ශ්‍රී ලංකාවට සෑම අවස්ථාවකම පාහේ අයවැය පරතරය අඩු කරගැනීම හා රාජ්‍ය ආයතන කාර්යක්ෂමව පවත්වාගෙන යෑම ගැන උපදෙස් දී ඇත. එම කොන්දේසි සලකා බලා නැත. බලයට එන ආණ්ඩු වරින්වර නොයෙක් ක්‍රම හඳුන්වා දෙන නමුත් ඇමැතිවරු හා ඔවුන්ගේ සහචර පිරිස් රාජ්‍ය ව්‍යාපාර බිංදුවට බස්සා තිබේ. මහජනතාවට සහනයක් වශයෙන් අඩු මිලට සැපැයීමේ දේශපාලන ගොදුරකට ද රාජ්‍ය ව්‍යවසාය හසු වී ඇති බව සඳහන් කළ යුතු තවත් කරුණකි. විපක්ෂය, වෘත්තීය සමිති හා වෘත්තීයවේදීන් ද රාජ්‍ය ව්‍යවසායවල විනාශයට යම් ප්‍රමාණයකට වගකිව යුතුය. රජයට අයත් ආයතන ජාතික සම්පත් සේ හඳුන්වන අතර ඒවායේ වෙනස්කම් කරන්නට ඉඩ දෙන්නේ නැත. ගුවන් සේවය, තෙල් පිරිපහදුව, ඛනිජ තෙල් සංස්ථාව වැනි ආයතන ලෝකයේ කිසිම ව්‍යවසායකයෙකු “නිකම් දුන්නත්” ගන්නේ නැත. එපමණකට ඒවා මූල්‍ය භංගත්වයට පත්, එහෙත් වටිනා කියන ජාතික සම්පත්ය.

● ජුනි මාසයේ ආවොත් සැප්තැම්බරයේ දෙවැනි වාරිකය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම අනුව එහි පළමු වාරිකය ලැබීම ගැන ආණ්ඩුව මහත් උද්දාමයට පත්ව ඇත. ජනතාව ද මහත් අපේක්ෂා සහගතව සිටී. ඇතැම් පළාත්වල දැල්වුණ රතිඤ්ඤා හඬ බලාපොරොත්තුවක තරම දක්වයි. කෙසේ නමුත් ඇමරිකානු ඩොලර් මිලියන 333 ක පළමු වාරිකය නිදහස් කළ අරමුදල එහි ප්‍රගතිය ගැන පරීක්ෂා කිරීම සඳහා විශේෂ නියෝජිත පිරිසක් ලබන ජුනි මාසයේ දී මෙරටට එවනු ඇත. මාර්තු සිට ජුනි දක්වා හැසිරීම අධ්‍යයනය කරන කණ්ඩායමේ නිර්දේශ අනුව දෙවැනි වාරිකය සැප්තැම්බර් මාසයේ ලැබේ. ආර්ථිකයේ පුනරුදය, රුපියලේ ශක්තිමත්වීම, පොලී අනුපාතය අඩු කිරීම වැනි කරුණු දක්වමින් ජයග්‍රහණ ගැන සාකච්ඡා කරන පිරිස් අරමුදල සමග එකඟ වූ කරුණු අනුව සැලැස්මකට කටයුතු කිරීමේ වැදගත්කම ගැන අවධානය යොමු කිරීම වටී.

ශ්‍රී ලංකාව එකඟ වූ එපමණක් නොව ණය මුදල අනුමත කරන්නට කලින් මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ආණ්ඩුව, විපක්ෂය, සිවිල් සංවිධාන හා පුද්ගලික අංශය සමග කරන ලද සාකච්ඡා අනුව ගත් තීරණ අඛණ්ඩව ඉදිරියට ගෙන යන වගකීමක් සියලු පාර්ශ්වවලට ඇත.

ඉදිරි මාස තුන හතර තීරණාත්මකය. බදු වැඩි කිරීම ගැන රජයේ ඉහළ නිලධාරීහු විරුද්ධත්වය පළ කරයි. ප්‍රවාහන, වෛද්‍ය, වරාය, ගුවන් සේවා ඇතුළු අංශ එක් දින වර්ජනයක් සංවිධානය කළ අතර ආණ්ඩුව සමග එකඟතාවයෙන් බදු ආපසු හරවන්නට සූදානම් බව වාර්තා කර තිබුණි. මහජනතාවට ද මතයක් තිබේ. වැඩ කරන ජනතාවට විරුද්ධ විය හැකිය. ආදායම් ඉලක්ක බිඳ වැටෙන පසු විකල්ප ක්‍රම කෙරෙහි නැඹුරු වනු ඇති අතර සෘජු බදු ආදායම බිඳ වැටෙන පසු විකල්පයක් වශයෙන් වක්‍ර බදුවලට යොමුවෙන්නට බැරි නැත. සෘජු හෝ වක්‍ර බදු ඕනෑම ආකාරයකින් ගෙවන්නේ පොදු ජනතාව විනා වෙනත් පාර්ශ්වයක් නොවේ. විරෝධතා, අරගලවලින් තමන් ගේ පැත්ත ආරක්ෂා කරගත හැකි නමුත් පවතින අර්බුදයෙන් ගැලවෙන්නට නම් සෑම පාර්ශ්වයකටම වේදනාවක් දැනීම වැළැක්විය නොහැකිය.

● ආයෝජන නැත්නම් නැවතත් උගුලකට

ආර්ථිකය නැවත නගාසිටුවීමේ ප්‍රයත්නය තුළ වේගවත් වෙනස්කම් අවශ්‍යය. ආයෝජනය එහි දී වැදගත් තැනක් ගනී. දේශීය හා ජාත්‍යන්තර ආයෝජන අවස්ථා වැදගත්ය. ලෝකයේ ප්‍රකට ආයෝජකයන් රටට පැමිණෙන විට විනිමය ලැබේ. අලුත් තාක්ෂණය තවත් අවස්ථාවකි. ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා හිමිවේ. රජයට ලැබෙන බදු ආදායම තවත් පැත්තකි. විවිධ ව්‍යාපාර හා කර්මාන්ත මෙහෙයවන ව්‍යවසායකයෝ අලුත් අවස්ථා සොයමින් ලෝකයේ නොයෙක් රටවලට පැමිණේ. 2022-23 අවුරුද්දේ ඉන්දියාවට ලැබෙන විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන සියය ඉක්මවන බව දැක්වේ. ශ්‍රී ලංකාව ඩොලර් බිලියන තුනක් වෙනුවෙන් මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත් වේ. පසුගිය සතියේ ඉන්දියාවට පැමිණි ජපාන අගමැතිවරයා ඉන්දියානු අධිවේගී දුම්රිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක ආයෝජනයකට කැමැත්ත පළ කළේය. වසර 2030 දක්වා ආසියානු කලාපයේ ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන හැත්තෑ පහක් බව හෙතෙම සඳහන් කරයි. ජපානයෙන් ලැබුණ අඩු පොලී දීර්ඝ කාලීන ණය අනුව ඉදිකරන්නට අපේක්ෂා කළ සැහැල්ලු දුම්රිය ප්‍රතික්ෂේප කරන ලද ශ්‍රී ලංකාව ජපානයෙන් අනුග්‍රහය පැතීම සාධාරණ නැත.

කෙසේ වෙතත් ලෝකයේ ප්‍රධාන ආයෝජකයන් ශ්‍රී ලංකාවට කැඳවීමේ දී වේගයෙන් තීරණ ගැනෙන, අවස්ථාවෝචිතව සැලැස්මකට අනුව ක්‍රියාකරන පිළිවෙළක් අවශ්‍යය. ධනය නිපදවනු ලැබුවහොත් බදු අඩු කළ හැකි අතර ආර්ථිකය සක්‍රීය වේ. අපට නැත්තේ එවැනි සැලසුමකි. වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ පටු ආකාරයකට පළ කරන විරෝධය අවසානයේ දී විපතකට මුහුණ දෙන්නේ සාමාන්‍ය ජනතාව බව සඳහන් කළ යුතුය. අධික බදු ආනයන පාලනය, විනිමය හිඟය වැනි සියලු කරුණු ගැන මැදහත්ව කල්පනා කර තීරණයක් ගත හොත් වැඩදායකය.

මූල්‍ය අරමුදලේ රාමුවකට ඇතුළත් වූ පසු රට ගැනත් ප්‍රතිපත්ති ගැනත් විශ්වාසයක් ඇතිවේ. පනවන ලද කොන්දේසි කටුක ඒවා බව පැහැදිලිය. ඒවායෙන් එල්ල වන බලපෑම දරාගත නොහැක. පරිවර්තනයකින් තොරව පැවැත්මක් නැත.

● ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව

මූල්‍ය අරමුදලේ සහාය ලබාගත් පසු ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව යන ආයතන ද ශ්‍රී ලංකාවට සහාය දක්වනු ඇතැයි පළවේ. ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් බවට පත් වූ පසු ලෝක බැංකුවේ ආධාර නතර කෙරිණ. දැන් නැවතත් පහළ ආදායම් මටට්මට පත්ව ඇත. ලෝකයේ තවත් රටවල් විශාල ප්‍රමාණයක් කොවිඩ් වසංගත තත්ත්වය සමග ආර්ථික බෙලහීන තත්ත්වයකට ගොදුරු වී සිටී. ජාත්‍යන්තරය දෙස බලන විට විශාල වශයෙන් බිඳ වැටුණ රටවල් ඇත. බි්‍රතාන්‍යයේ වාර්තා අනුව වසර තුන්සියයකට එපිට දරුණුම ව්‍යසනයට ඔවුන් මුහුණ පෑවේය. ඇමරිකාව, දකුණු කොරියාව, ජපානය සහ ජර්මනිය වැනි රටවල් ඉක්මනින් ප්‍රකෘති තත්ත්වයට පත්ව තිබේ. එයට හේතුව තද තීරණ ගෙන ඉක්මනින් මූල්‍ය අංශ නිවැරදි කිරීම බව පෙනේ. ස්පාඤ්ඤය හා අයිස්ලන්තය වැනි රටවල් දරුණු පිරිහීමකට පත්වූ එම රටවල් නැගී සිටින්නට 2023 අවසානය තෙක් කල්ගතවනු ඇතැයි සැලකේ. දකුණු අප්‍රිකාව, ආර්ජන්ටිනාව ඇතුළු රටවල් විශාල ප්‍රමාණයක තත්ත්වය සාමාන්‍ය අතට පත්වීමට සමහරවිට වසර 2025 දක්වා කල්ගත විය හැකි බව දැක්වේ. ශ්‍රී ලංකාවට නැවත ප්‍රකෘති තැනකට එන්නට ලැබෙන්නේ කවදාද?

දැනටමත් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන පනහ ඉක්මවයි. මෙම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ණය මෙරට දළ දේශීය නිෂ්පාදිතය සමග සසඳන විට සියයට 112 ප්‍රමාණයකි. මූල්‍ය අරමුදලේ අවවාද අනුව මෙම ප්‍රතිශතය සියයට 95 දක්වා අඩු කරගන්නට සිදුවේ. ආර්ථිකය අසීරු අඩියකට වැටුණ පසු ඉන්දියාව විශාල උපකාරයක් කළේය. නිකුත් කරන ලද ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හතර ඉක්මවයි. කිසිම කොන්දේසියකින් හා ආපසු අය කරගන්නා ක්‍රමය ගැන තක්සේරුවකින් තොරව මෙම ආධාර සැපැයිණ. ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුව ද ආධාර සපයන තීරණයක පසුවන බව කියැවේ. නමුත් මේවා ආපසු ගෙවන්නට සිදුවේ. ශ්‍රී ලංකාව වසරකට ඇමරිකානු ඩොලර් බිලියන හතක පමණ ණය ගෙවන රටක් විය හැකි අතර මූල්‍ය අරමුදලේ සහාය සමග පැවැත්ම ගැන අලුතින් සිතන්නට නැඹුරු විය යුතුය.

ගාමිණී එස්. කන්දෙගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment