ඇප් එකටවත් තෙල් පෝලිම හදන්න බැරි හැඩ

154

● කේතයට කේතගේ අපලය

● ඇමැතිගෙන් එක දිගට ට්විටර් පණිවිඩ

රට තුළ පවතින ඉන්ධන අර්බුදය පිණිස සෑහීමකට පත් විය හැකි විසඳුමක් තවමත් නැත. විවිධ අත්හදාබැලීම් සිදුකළ ද ඒවා ගොඩ වෙදකම් පමණය. රෝගය උත්සන්න වීම හේතුවෙන් මේ වනවිට රටම ඔත්පළවී අවසන්ය. ලෙඩා ගොඩගැනීම පිණිස තව දුරටත් අත්හදාබැලීම් කරමින් සිටින අතර ඒවාද පවතින්නේ තවමත් පර්යේෂණ මට්ටමේය. බලශක්ති අමාත්‍යවරයා එක පිට එක ට්විටර් පණිවිඩ නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ ජනතාවට සන්සුන් වන ලෙසත් නිසි ක්‍රමවේදයක් ඔස්සේ රට පුරා ඉන්ධන බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත්ය.

අමාත්‍යවරයා සඳහන් කරන බ්රෑන්ඩ් නිව් සැලැස්ම හෙවත් ‘අලුත්ම එක’ රටට හඳුන්වා දෙනු ලබන්නේ ඉකුත් 16 වැනි දිනය. ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ නමින් හඳුන්වා දෙනු ලැබූ එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමත් සමග ඉන්ධන ලබාගැනීම පිණිස එක් දිනක් තුළ පමණක් මිලියනයකට අධික පිරිසක් ලියාපදිංචිය ලබාගෙන ඇත. ස්මාර්ට් ජංගම දුරකථනයකින් හෝ පරිගණකයක ආධාරයෙන් එම ඉන්ධන බලපත්‍රය පිරවීමෙන් අනතුරුව සිය වාහනයට අදාළ කේතය (බාර්කොඩ් අංකය) ලබාගත හැක. මෙම ක්‍රමය ඔස්සේ ඉන්ධන ලබා ගත හැක. එවැනි තත්ත්වයක් තුළ නැවත බලශක්ති අමාත්‍යවරයා විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් රට හමුවේ සඳහන් කර සිටින්නේ ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ඉන්ධන නිකුත් කිරීම එළඹෙන සඳුදා දින සිට ක්‍රියාත්මක කරන බවත් එතෙක් පොඩි බඩගින්නට විසඳුමක් ලෙස වාහන ලියාපදිංචි අංකයේ අග අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම ඒ ඒ අංකයට අදාළ දිනයන්හි සිදු කරන බවත්ය. ඒ අනුව යතුරුපැදියක් සඳහා රුපියල් 1500ක් ත්‍රිරෝදරථ සඳහා රුපියල් 2500ක් සහ සෙසු වාහන සඳහා රුපියල් 7000ක ඉන්ධන ලබා දීමට එමගින් තීරණය කොට ඇත. එහි නියමු ව්‍යාපෘතියක් ඉකුත් 21 දා කොළඹ හා ඒ අවට පිහිටි ඉන්ධනහල් කීපයක් මුල්කර ගනිමින් ක්‍රියාවට නැගූ අතර එහිදී අදහස් දැක්වූ පාරිභෝගිකයන් සඳහන් කර සිටියේ පවතින තත්ත්වය තුළ අදාළ ක්‍රමවේදය තරමක් දුරට හෝ සාර්ථක බවක් පෙන්නුම් කරන බවය.

මේ කුමන විසඳුම් ඉදිරිපත් කළ ද මේ වනවිට රට තුළ මහා පරිමාණයෙන් ඉන්ධන ජාවාරම සිදුවෙමින් ඇත. කුමන ක්‍රමවේද හඳුන්වා දුන්න ද කෙසේ හෝ එම ක්‍රමවේදය අතික්‍රමණය කරන ජාවාරම්කරුවන් පෙට්‍රල් ලීටරයක් රුපියල් 2500 – 3000 අතර මුදලට අලෙවි කරමින් සිටින අතර එහි අලුත්ම මුහුණුවර බවට පත්ව ඇත්තේ ඇතැම් රාජ්‍ය ආයතනවල රාජකාරියේ නිරත රාජ්‍ය සේවකයන් විසින් ද නීතියේ ඇසට වැලි ගසමින් ඉන්ධන ජාවාරමේ නිරතව සිටීමය. ඇතැම් ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ විසින් කරන ලද එවැනි ජාවාරම් දැනටමත් නීතියේ රැහැනට කොටුවී තිබෙන අතර ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් විසින් අප වෙත සැලකර සිටින්නේ පොලිසියේ සහ ඇතැම් ආරක්‍ෂක අංශ නිලධාරීන් විසින් ද දැනට එම ජාවාරම ඒ අයුරින්ම ක්‍රියාත්මක කරමින් සිටින බවක්ය.

ඇප් එකටවත් තෙල් පෝලිම හදන්න බැරි හැඩ

එවැනි වටපිටාවක් තුළ සියලු අකටයුතුකම් පිණිස විසඳුමක් ලෙස ජාතික ඉන්ධන බලපත්‍රය රට හමුවේ හඳුන්වා දී අවසන්ය. මෙම සටහන තබන සිකුරාදා (22දා) වන විට මිලියන තුන ඉක්මවා යන පිරිසක් එහි වලංගු බලපත්‍රලාභීන් බවට පත්ව ඇත. තවත් එවැනිම පිරිසක් තාක්ෂණික දැනුමේ මිදිපුංචිකම හේතුවෙන් සහ ප්‍රමාණවත් තාක්‍ෂණික මෙවලම් හිඟකමින් ජාතික ඉන්ධන බලපත්‍රය ලබාගැනීමේ ගැටලුවට මුහුණ දී ඇත.

කෙසේ හෝ එම තාක්‍ෂණික අපහසුතා සම්පූර්ණ කර ගත්තා යැයි අනුමාන කළ ද ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ඒ ඒ වාහන කාණ්ඩ සඳහා නිකුත් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය කොතෙක්ද යන්න පිළිබඳව තවමත් නිගමනයකට එළඹී නැත. එමෙන්ම අලුතින් හඳුන්වා දීමට නියමිත කේතය රට පුරා ඉන්ධනහල් 1150 තුළ පරීක්‍ෂා කිරීම සම්බන්ධයෙන් තවමත් නිසි ක්‍රමවේදයක් සකස් වී නැත. තවමත් ක්‍රියාවට නොනගන ලද මෙම ක්‍රියාදාමය පිළිබඳ පූර්ණ විශ්වාසය තැබීමට තවමත් ජනතාව සූදානම් නැත. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ඉන්ධන සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ සෑම ක්‍රමවේදයක්ම පිටුදකිමින් වෙනමම පිරිසක් කුමන හෝ උපක්‍රම මගින් ඉන්ධන ලබාගැනීම සඳහා උත්සුක වීම හේතුවෙන් ඉන්ධන බෙදාහැරීම අර්බුදයෙන් අර්බුදයට පත්ව ඇති බවය.

කෙසේ වුවත් වාර්තාවන සංඛ්‍යාලේඛන මෙම වසරේ පළමු මාස හතර වනවිට මෙරට ලියාපදිංචි වාහන සංඛ්‍යාව අසූතුන්ලක්‍ෂ තිස්නව දහස් නවසිය පනස් හයකි (8,339,956) ඒ අතරින් හතළිස් අටලක්‍ෂ විසිනව දහස් නවසිය විසිහතරක් (4,829,924) යතුරුපැදිය. එම ගණන් ඉලක්කම්වලට අනුව මෙරට ලියාපදිංචි ත්‍රීවීල්රථ සංඛ්‍යාව එකොළොස් ලක්‍ෂ අසූහතර දහස් තුන්සිය තිස් හතරකි (1,184,334) ඉතිරි වාහන සංඛ්‍යාව වෙනත් වෙනත් වාහන කාණ්ඩ යටතේ ලියාපදිංචිය ලබාගෙන ඇත. මේ වනවිට ඉහත සඳහන් මුළු ලියාපදිංචි වාහන සංඛ්‍යාවෙන් වැඩි කොටසක් ඉන්ධන පෝලිම්හල් අසල ගාල්කොට තිබෙන ආකාරයක් දැකගත හැක. තවත් කොටසක් ඒ හිමිකරුවන්ට අයත් රථගාල් තුළ නිසොල්මන්ව ඇත. මෙම වාහන සංඛ්‍යාව පෙර පරිදි ධාවනය කිරීම පිණිස මාසික ඉන්ධන අවශ්‍යතාවය මෙටි්‍රක් ටොන් 8000ක් වන අතර එම ප්‍රමාණයෙන් මෙටි්‍රක් ටොන් 4500ක් ඩීසල්ය.

එවැනි තත්ත්වයක් තුළ මේ වනවිට රට තුළ දැඩි ඉන්ධන හිඟයක් පැවතීම හේතුවෙන් වාහන හිමියන් බොහෝ දෙනකුගේ සිහිනය බවට පත්ව ඇත්තේ තම තමන්ගේ වාහන යළි පණගැන්වීම පිණිස කෙසේ හෝ ඉන්ධන ලබාගැනීමය. එහිම දිගුවක් ලෙස ත්‍රිරෝදරථ ධාවනය කරන්නන් ඉන්ධනහලක් නෑර තම තමන්ගේ ත්‍රිරෝදරථ ධාවනය කරන ආකාරයක් දක්නට ලැබෙන අතර ඔවුන් පවසා සිටින්නේ දැනට ක්‍රියාත්මක අංක තහඩුවේ අවසන් අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ ත්‍රිරෝදරථ සඳහා නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවක්ය. එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන්නන් සඳහන් කර සිටින්නේ රටේ ඉන්ධනහල් අසල තෙල් ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් බහුල ලෙස ත්‍රිරෝදරථ දකින්නට ඇතත් කුලී ගමනක් සඳහා ත්‍රිරෝදරථයක් සොයා ගැනීම නොමළ ගෙයකින් අබ ඇටයක් සොයා ගැනීම වැනි අසීරු කාර්යයක් බවට පත්ව ඇති බවත් ඒ හරහා ගම්‍ය වෙමින් පවතින්නේ බහුතරයක් ත්‍රීවීල්රථ හිමියන් පවතින අර්බුදය උපයෝගී කර ගනිමින් ඉන්ධන ජාවාරමක නිරත වීම හේතුවෙන් එවැනි තත්ත්වයක් හටගෙන ඇති බවත්ය.

නුදුරේදී ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ ඉන්ධන නිකුත් කිරීම පිණිස සැලසුම් සකස් වෙමින් පවතින්නේ මෙම සකල රෝග නිවාරණය කිරීමේ අරමුණින් විය යුතුය. එය කොතෙක් දුරට සාර්ථක වේද යන්න දැක බලා ගැනීමට හැකි වන්නේ ඉදිරි දිනක නමෝ විත්තියෙන් එය ක්‍රියාත්මක කිරීමත් සමගය. එය ක්‍රියාත්මක කිරීමට යෑමේදී දැනට යම් යම් තාක්‍ෂණික දෝෂ මෙන්ම ප්‍රායෝගික ගැටලු ආදියට රජය මෙන්ම පාරිභෝගික ජනතාවද මුහුණ දී සිටින අතර එහි සාර්ථක අසාර්ථකභාවය පිළිබඳ අවසන් තීරණය පවතින්නේ ඉන්ධනහල් හිමියන් අතය. අදාළ කේතය සාර්ථකව ක්‍රියාත්මක වුවහොත් කිසිවෙක් කිසිවකුට වංචා කළ නොහැකි තත්ත්වයක් උදාවීමට නියමිත බැවින් වංචාව දූෂණය ඉහවහා ගිය රටක එවැනි ක්‍රමවේදයක් මහපොළොව මත සැබෑවක් කිරීම තරමක් උගහට කාරණයක් බවට පත්වීම කිසිවකුට වැළැක්විය නොහැකි බව අපගේ වැටහීම බවට පත්ව ඇත. අප එසේ සඳහන් කර සිටින්නේ මේ වනවිට මෙරට ඉන්ධනහල් අසල දිනෙන් දින දිග ඇදෙන ඉන්ධන පෝලිම් දෙස විමසිලිමත් දෑසින් බලා සිටීමෙන් අනතුරුවය. එම නිරීක්‍ෂණයන්ට අනුව මේ වනවිට පිරිසක් විසින් ඉන්ධනහල් අසල රැඳී සිටීම රැකියාවක් බවට පත්කරගෙන තිබෙන අතර ඒ හේතුවෙන් මෙතෙක් කලක් විවිධ රැකියාවල නිරත වූ ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් අතරමං වී ඇත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment