ඇමතිවරුන්ගෙන් අගමැතිට නඩුවක්

733

පසුගිය සතිය සංවාදාත්මක සතියක් විය. සමාජ ආර්ථික නස්පැත්තියකට රට මුහුණ පෑ අවුරුද්දක් ටික ටික ගෙවී යමින් තිබෙන පසුබිමක ඒ ගැන සමාජයේ කතා බහට ලක් වූ කරුණු ද මිහිරි නැත. ආණ්ඩුවේම සමහර පිරිස් ආණ්ඩුවේ වැඩ ගැන එළිපිටම විවේචනය කරන්නට පටන්ගෙන තිබීම නිසා ආණ්ඩුව ඇතුළේ සමගිය පිළිබඳවද බරපතළ ප‍්‍රශ්න මතුවී තිබිණි. මේ කොයි කාගේත් නඩු වලට විසඳුම් සොයන්නට සිදුවූයේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ය.

ආණ්ඩුව ඇතුළේ පොහොට්ටුවේ බලවතුන් පිරිසක් විමල්, වාසු, උදය ප‍්‍රධාන ආණ්ඩුවේ සෙසු පක්ෂ කණ්ඩායමක් එකට එක් වී කටයුතු කිරීම ගැන දැක්වූ ප‍්‍රතිවිරෝධය සම්බන්ධයෙන් මතු වූ අර්බුදවල අවසාන කොන පැමිණියේද අගමැති තුමා ළඟටය. ඒ අර්බුද ඇති කිරීම පිළිබඳ වගකිව යුත්තෝ කවුරු වුවත් අගමැතිතුමාට ඒ කිසිවක් ප‍්‍රශ්නයක් නොවීය. ඔහු නිතරම සිටියේ මධ්‍යස්ථ තැනකය.

මේ අතර පසුගිය සතිය වන විට ආණ්ඩුවේ බොහෝ මැති ඇමැතිවරු මෙන්ම මන්ත‍්‍රීවරුන්ද විවිධ කරුණු කාරණා නිසා විදේශගතව සිටියහ. විපක්ෂයේ පැත්තෙන්ද බොහෝ දෙනෙක් නත්තල් නිවාඩුව ගත කරන්නට විදේශගතව සිටින බව වාර්තා විය.

ඇමතිවරුන්ගෙන් අගමැතිට නඩුවක්
  • බණ්ඩාරවෙල ගැන ජනපති මතකය….

පසුගිය සති අන්තයේ ජනාධිපතිවරයාට බණ්ඩාරවෙල දියතලාව ප‍්‍රදේශයේ විශේෂ සංචාරයක නිරත වන්නට අවස්ථාව ලැබිණි. 18 වැනි ඉරිදා දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පැවැති කැඩෙට් නිලධාරීන් පිරිසකගේ විසිරයාමේ පෙළපාලියට රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා සහභාගි විය යුතුව තිබිණි. ඊට සහභාගිවීම ඉලක්ක කරගෙන ජනාධිපතිවරයා ඊට පෙරදා උදේ දියතලාව බලා ගමනාරම්භ කළේය. ඒ අතරතුර ඔහුට බණ්ඩාරවෙල නගරයේ හා ඒ අවට ප‍්‍රදේශයේ සංචාරය කරන්නට ද අවශ්‍ය විය.

‘‘බණ්ඩාරවෙල කියන්නේ මම හරිම ආස නගරයක්. ඕනම කෙනෙක්ගෙ හිත නිවන පරිසරයක් තියෙන තැනක් තමයි බණ්ඩාරවෙල. පුදුමාකාර සංචාරක ආකර්ෂණයක් තියෙන තැනක් විදිහට අපි මේක හොඳට දියුණු කරන්න ඕන. බණ්ඩාරවෙල අනිත් නගර වගේ දියුණු කරල හරියන්නේ නෑ. මේ පළාත් වලට ආවේණික ගොඩනැඟිලිවලින්, ගහකොළවලින්, මල් වර්ග වලින් මේ පැත්ත අලංකාර කරන්න ඕන. ඒක කරන්න ඕන මේ ස්වභාවික පරිසරයේ ලක්ෂණ ආරක්ෂා වෙන විදියට… ඒකයි අපි ‘සියක් නගර ව්‍යාපෘතිය’ යටතේ බණ්ඩාරවෙල වෙනම හඳුනාගෙන සංවර්ධනය කරන්න යෝජනා කළේ…”

මෙසේ කියමින් ජනාධිපති ගෝඨාභය, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති විශේෂ උපදේශක ලලිත් වීරතුංග ඇතුළු නිලධාරීන් සමඟ බණ්ඩාරවෙල නගර මධ්‍යයේ බැස නගරයේ අවට සංවර්ධනය කටයුතු හොඳින් නිරීක්ෂණය කරන්නට පටන් ගත්තේය. එහෙත් ඒ සිදුවී තිබෙන සංවර්ධන කටයුතු ගැන ජනාධිපතිවරයා ගේ සතුටක් නොවීය.

‘‘කතා කරන්න යූ ඞී එකේ චෙයාමන්ට. ඒත් එක්කම කවුද මෙහෙ ඉන්න නගරාධිපති. එයාටත් එන්න කියන්න…”

නගරාධිපති ටික වේලාවකින් එතැනට පැමිණි අතර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති සම්බන්ධ වූයේ දුරකථනයෙනි.

‘‘ඔයගොල්ලා ගැන ලොකු විශ්වාසයක් තියල තමයි සියක් නගර සංවර්ධන වැඩ කටයුත්ත ඇතුළට බණ්ඩාරවෙල ඇතුල් කරලා ඔයාලට ඒ වැඬේ බාර දුන්නේ. මොකක්ද මේ වෙලා තියෙන්නෙ බණ්ඩාරවෙලට. වතුර ගලාගෙන යන්නේ පාරවල් දිගේ. කාණු පද්ධතිය හරියට හදලා නෑ. බලන්න මේ වගේ නගරයකට හරියන වීදි ලාම්පුද දාලා තියෙන්නෙ කියලා. මෙහෙ මේ ලයිට් ටික හදන්න. කාණු පද්ධතිය පාරවල් ටික වටරවුම් ටික හරියට හදලා නඩත්තු කරන්න නගර සභාවට භාර දෙන්න. මේ නගරය හරි වටින තැනක්. මීට වඩා ලස්සනට මෙතන තියෙන්න ඕන. කිසි පිළිවෙළක් නෑ….”

  • නාගරික සංවර්ධනයට ජනපතිගේ උපදෙස්

නාගරික සංවර්ධන අධිකාරියට බොහෝ සේ දොස් පැවරූ ජනාධිපතිවරයා නගරාධිපතිවරයාට ද සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය…

‘‘මම ඒ කාලේ දියතලාවෙ හිටියනේ. ඉතින් අපි මේ හැම තැනම ඇවිදිනවා. බණ්ඩාරවෙල කියන්නේ මල්වලට විතරක් නෙවෙයි, එළවළු පලතුරුවලටත් නම් දරාපු නගරයක්. මෙහෙ මොකක්ද තියෙන්නේ ආණ්ඩුවට අයිති ගොවිපළවල්.

‘‘බිඳුනුවැව තියෙනවා කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයක්. ඒක කෘෂිකර්ම නිලධාරීන් පුහුණු කරන පාසලක්. පළාත් සභාව යටතේයි පාලනය වෙන්නේ.”

ජනාධිපතිවරයා ඊළඟට ගියේ බිඳුණුවැව කෘෂි පර්යේෂණ ආයතනය නිරීක්ෂණය කිරීමට ය. එහි පුහුණු පාසලට අමතරව පටක රෝපණ මධ්‍යස්ථානයක් හා බිම්මල් සඳහා බීජ සැකසුම් මධ්‍යස්ථානයක් ද පොහොර සැකසුම් මධ්‍යස්ථානයක් ද එහි විය.

කෘෂි නිලධාරීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ කිසිවෙක් එතනට ජනාධිපතිවරයා ඒ මොහොතේ පැමිණේ යැයි බලාපොරොත්තු වූයේම නැත. ඒ මොහොතේ ඔවුන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් ක‍්‍රියාත්මක වූයේ සූම් තාක්ෂණය ඔස්සේ ය. එහි වැඩ කටයුතු කෙරෙන ආකාරය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා මේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා මුණගැසීමට සොයා බැලීය. සෙනසුරාදා දිනයක් බැවින් අධ්‍යක්ෂවරයා සිටියේ නැත. පුහුණු පර්යේෂණ නිලධාරීන් සමග කතාබහ කරමින් ජනාධිපතිවරයා පටක රෝපණ මධ්‍යස්ථානයද නිරීක්ෂණය කළේය.

‘‘මෙතන පර්යේෂණ කටයුතු කෙරෙනවා වගේම ඒ පර්යේෂණ කටයුතු නිලධාරීන්ට උගන්වනවා. ”

මේක අපේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයට විශාල ප‍්‍රයෝජනයක් ගන්න පුළුවන් තැනක්. ඇයි මේවා මේ විදිහට පාළුවට

ගිහින් තියෙන්නේ. මම හිතන්නේ නැහැ මේවයින් අපි උපරිමයෙන් ප‍්‍රයෝජන ගන්නවා කියලා. මීට වඩා මේවා දියුණු කරල ගන්න ඕන…” ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ මේවා ගැන මීට වඩා හොයා බලන ලෙසයි.

ඉන්පසු ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ එදින නවාතැන් ගන්නා නවාතැනට ගොස් පසුදා වනතුරු හොඳ විවේකයක් ගත කිරීමටයි.

යුදහමුදා පුහුණු ඇකඩමියේ පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරීන් 316 දෙනෙක් වෙනුවෙන් පැවැත්වෙන විසිර යෑමේ පෙළපාලිය ජනාධිපති වරයාගේ ප‍්‍රධානත්වයෙන්

ගරු ගාම්භීර ලෙස 18 වැනිදා පෙරවරුවේ පැවැත්විණි. ජනාධිපතිවරයාට අමතරව මේ සඳහා විදේශීය තානාපතිවරුන් පස් දෙනෙක් ද සහභාගි වී සිටීම විශේෂත්වයක් විය.

ජනාධිපති ගෝඨාභය රටේ ඉතා ගෞරවනීය ලෙස සලකන තැන්වලින් එකක් වූයේ මෙම යුද හමුදා පුහුණු පාසලයි. මේජර් ජෙනරාල් විජය විමලරත්න යටතේ ලැබූ පුහුණුව ගැන ඔහු මෙම අවස්ථාවේදී මතක් කළේය. පරම පූජනීය පුණ්‍යභූමියක් ලෙස තමන් අදටත් මෙම භූමිය සලකන බව ජනාධිපතිවරයා කීවේය. නිලධාරීන්ගේ විනය පෞර්ෂය හා මානසික ශක්තිය ඉහළ නංවන සුවිශේෂී මධ්‍යස්ථානයක් වන මෙහි පුහුණුව ලැබීමට සිදු වීම මහානුභාව සම්පන්න වාසනාවක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඔහු සිය කතාව පුරාම කීවේ උසස් හමුදා නිලධාරියෙකු සතුව තිබිය යුතු ගුණාංග ගැනයි. විනය, මානසික ඒකාග‍්‍රතාව හා පෞරුෂය ඒ අතර ප‍්‍රධානත්වයක් ගන්නා ආකාරය ඔහු පැහැදිලි කළේය.

මේ සියල්ල අවසානයේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් ද විශේෂ අමුත්තන් හා පුහුණු නිලධාරීන් වෙනුවෙන් ජනාධිපති වරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවත්විණි.

  • ජ.වි.පෙ. ඉදිරි ගමන

පසුගිය සතියේ අපේ රටේ දේශපාලන කරළියේ වඩාත් කතාබහට ලක්වූ තවත් මාතෘකාවකි ජාතික ජනබලවේගයේ මහා සමුළුව. මෙම සමුළුව පසුගිය 20 වැනි සඳුදා තලවතුගොඩ මොනෑෂ් උත්සව ශාලාවේ ශ‍්‍රවණාගාරයේ පැවති අතර ජනතා විමුක්ති පෙරමුණ ජනබලවේගය හා සමාජ කි‍්‍රයාකාරීහු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ. ඒ අතර විශ්වවිiාල උගතුන් හා කලාකරුවන්ගේ පැමිණීම ද කැපී පෙනෙන එකක් ව තිබිණි.

මෙම සමුළුව දෙස බලා සිටි බොහෝ දෙනා අවධානය යොමු කළේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ කතාව දෙසය. ඉදිරි වසර කිහිපය තුළ ජවිපෙ දේශපාලන ගමන් මග පිළිබඳ ඔහු මෙහිදී ඉඟියක් පළ කරනු ඇතැයි බොහෝ දෙනා බලා සිටියහ.

කෙසේ වෙතත් අනුර සිය කතාවට ‘වටු කුරුළු’ කතාවේ ආදර්ශය ගෙන හැර පාමින් මේ රට මේ අනතුරින් ගොඩගන්නට නම් කළ යුතු දේ පිළිබඳ පැහැදිලි ප‍්‍රකාශයක් කළේය. රට ගොඩගන්නට නම් තනි තනිව විසඳුම් සෙවිය නොහැකිය. රට ගොඩගන්නට නම් සෑම දෙනාම එක්ව සාමූහික ප‍්‍රයත්නයක් දැරිය යුතුය යන පණිවිඩය රටට දුන්නේය.

කෙසේ වෙතත් මෙය ජවිපෙයේ අලූත් ප‍්‍රවේශයක් ලෙස දේශපාලන නිරීක්‍ෂකයන් සැලකූහ. මේ සූදානම් වන්නේ අනුර රජයට එරෙහිව ඊළඟට රටේ ගොඩනැගෙන විපක්‍ෂයේ පොදු බලවේගයේ පොදු අපේක්‍ෂකයා වන්නට ද යන විචිකිච්ඡාව මේ කා අතරත් මතු විය.

කෙසේ වෙතත් ජාතික ජනබලවේගයේ පළමු මංගල සැසිය ලෙස සැලකුණු මේ රැස්වීම ඔවුන් සිතුවාටත් වඩා සාර්ථක එකක් ලෙස දේශපාලන කරළියේ සම්භාවනාවට ලක්විය.

පසුගිය දිනවල ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ හා පරිණත අමාත්‍යවරු පිරිසක් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ හමුවන්නට ආවේ ඔවුන්ට තිබූ ගැටලූවක් විසඳා ගන්නටය.

ඒ වනවිට රටේ දැන් දැන් මතුව ඇති අර්බුද ගැන නොසතුටට පත් ජනාධිපතිවරයා ඉදිරියේදී ඇමැති මණ්ඩල මාරුවක් කරයි ද යන සැකය බොහෝ ඇමැතිවරු තුළ මතුව තිබිණි. ඒ පිළිබඳ නොයෙකුත් ආරංචි මාර්ගවලින් කරුණු දැනගත් ඇමැතිවරු
අගමැතිවරයා හමුවන්නට ගියේ මේ ගැන හරි හැටි කරුණු දැනගැනීමටය. එහෙත් එය දූෂමාන ආරංචියකට වැඩි දෙයක් නැති පුවතක් ලෙස අගමැතිවරයා අර්ථදැක්වී්‍ය. එහෙත් ඇමැතිවරුන්ට ලැබී තිබූ ආරංචි නිසා අගමැතිගේ සැනසුම් වදන් ගැන සැක පහළ කරමින් කතා කළ ඇමැතිවරු ඊට හේතු දක්වනු ලැබීය. විමල්, වාසු, උදය ගැන පොහොට්ටුවේ කණ්ඩායමක් තුළ ඇති උදහස තුළ යම් යම් දේ සිදුවිය හැකි බව සාකච්ඡා විය. මහින්දානන්ද සම්බන්ධයෙන් ද කෘෂිකර්ම විෂය ගැන ගැටලූ මතුවී තිබුණේ අමාත්‍යාංශ ලේකම් හා ඇමැති එළිපිටම විරෝධාත්මක ප‍්‍රකාශ කරන්නට පටන්ගෙන තිබීම තුළය.

හරි ඉතින්… අද බොහෝ තැන්වල තියන ගැටලූව තමයි ඇමැතියි නිලධාරිනුයි අතර තියන අනවබෝධය. ඇමැති කියන දේ නිලධාරීන් කරන්නේ නැහැ. සමහර තැන්වල නිලධාරීන් කියන දේ ඇමැති අහන්නේ නැහැ.

කන්ට්‍රෝල් කරන්න බැරි නිලධාරීන් ඉන්නවා නම් ඇමැතිවරු මාරු කරලා වැඩක් නැහැනේ. එහෙනම් නිලධාරීන් ගැන බලාගන්න ඕන. අගමැතිවරයා කීවේය.

ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සමග ඉන්පසු බොහෝ වේලාවක් සාකච්ඡා කළ බව ද වාර්තා විය.

  • මහැදුරු උදිත්ගේ පාපොච්චාරණය

පසුගිය සතියේ යළිත් වතාවක් කෘෂිකර්ම ලේකම්වරයා මාරු කිරීම අප දේශපාලන කතිකාවේ කැපී පෙනෙන කාරණාවක් විය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ වයඹ විශ්වවිiාලයේ උප කුලපතිවරයාව සිටියදී ඔහුට මෙම අමාත්‍යාංශ ලේකම්කම බාරගන්නට ආරාධනා කළේ ද රජයයි. ඔහු කාබනික රසායනය, පස පොහොර පිළිබඳ උගතකු වීම ඊට හේතුවක් වන්නට ඇති.

කෙසේ වෙතත් විෂය සම්බන්ධයෙන් හොඳ අවංකයකු වූ මහාචාර්ය උදිත් ජයසිංහ කාබනික පොහොර ප‍්‍රතිපත්තිය ඇතුළේ තිබෙන අතාර්කික කරුණු කාරණාවලට එකඟ නොවන්නට ඇත. පෙර සිටි කෘෂි ලේකම්වරුන්ට මෙන්ම ඔහුටත් ලේකම් ධුරයෙන් ඉක්මනින් සමුගන්නට සිදුවූයේ එම සිදුවීම නිසාමය.

මහාචාර්ය උදිත් එම තනතුරෙන් ඉවත් කෙරුණේ පසුගිය සතිය ආරම්භයේ ය. තනතුරෙන් නිදහස් වූ මහාචාර්ය උදිත් ඉන් පසුව හෙළි කළ කරුණු හා අදහස් දේශපාලන කරළියට අතිශයින් වැදගත් විය.

කාබනික පොහොර පිළිබඳ උත්සාහය ඉතා හොඳ යෝජනාවක් වුව එය ආප්ප බාන්නක් මෙන් එකපාර රටේ කි‍්‍රයාත්මක කළ හැකි යැයි කිහිප දෙනෙක් ජනාධිපතිවරයාට වැරැදි අදහසක් ලබාදී ඇතැයි ඔහු ප‍්‍රකාශ කළේය. අතුරලියේ රතන, අනුරුද්ධ පාදෙනිය, පි‍්‍රයන්ත යාපා යන පිරිස ජනාධිපතිවරයාට මේ ගැන කරුණු දක්වා ඇති බව ඔහුගේ අදහස විය.

කෙසේ වෙතත් එළියට පැමිණි මහාචාර්ය උදිත් ජයසිංහ පළ කළ අදහස් පසුගිය සතියේ දේශපාලන කරළියේ මහත් උණුසුමින් සාකච්ඡාවට ලක්විය.

පසුගිය දිනවල තරමක් නිහඬව සිටි හිටපු කථානායක කරු ජයසූරිය ද පසුගිය සතියේ යම් යම් දේශපාලන කටයුතුවලට මැදිහත් වීම නිසා කාර්ය බහුල විය.

රටේ පවතින විවිධ සමාජ ආර්ථික ප‍්‍රශ්න ගැන විවිධ පාර්ශ්ව හිටපු කථානායකවරයාගෙන් අදහස් විමසන්නට වූහ.

”කාටවත් මේ වෙලාවේ හුදෙකලා විසඳුම් හොයන්න බැහැ. රට අද ඇදවැටෙමින් තිබෙන අර්බුදයෙන් ගොඩ එන්න නම් අපි ඔක්කොම එකතුවෙලා පොදු සම්මුතියකින් බැඳිලා සාමූහික විසඳුමකට යා යුතුයි’ කරු කීවේය.

මේ අතර කරු ජයසූරිය පසුගිය (20) සඳුදා කොළඹ සුදර්ශි ශාලාවේ පැවති එක්තරා පොත් උත්සවයකට පැමිණියේය. ලාල් සමරසිංහගේ ‘අපට වැරදුණු තැන්’ නම් වූ කෘතිය එහිදී එළිදැක්වූ අතර කරු ජයසූරිය, රාජිත සේනාරත්න, අනුර පි‍්‍රයදර්ශන යාපා වැනි දේශපාලනඥයන් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම උත්සවයට සහභාගි වී සිටියහ.

නිදහසින් පසු ගෙවී ගිය දශක කිහිපය තුළ රටට වැරදුන තැන් හා රට ඇදවැටුණු ආකාරය මෙහිදී පුළුල් ලෙස කතිකාවට ලක්විය. කරු ද මෙහිදී අදහස් දැක්වමින් දේශනයක් කළේය.

  • ලංකාවට තෑග්ගක් ලැබෙනවාලූ
ඇමතිවරුන්ගෙන් අගමැතිට නඩුවක්

20 වන සඳුදා උදේ ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ සුවිශේෂී හමුවක් සඳහා සහභාගි වීමටය. මේ හමුව සඳහා පැමිණ සිටියේ ඔස්ටේ‍්‍රලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන කැරන් ඇන්ඩෲස් මහත්මිය ප‍්‍රමුඛ දූත පිරිසකි.

දෙපාර්ශ්වය අතර සාකච්ඡාව ඉතාමත් සුහද හා ප‍්‍රතිඵලදායක එකක් විය. දකුණු ආසියානු කලාපයේ බොහෝ රටවල ශිෂ්‍යයන්ගෙන් ඔස්ටේ‍්‍රලියාවේ උපාධි සඳහා ලොකු ඉල්ලූමක් ඇති බවත් ඒ සඳහා තම රජය සතු විශේෂ යෝජනාවක් ඇති බවත් ඇමැතිවරිය කීවාය. ඇයට අවශ්‍ය වූයේ මෙම කලාපයේ ශිෂ්‍යයන් සඳහා ඔස්ටේ‍්‍රලියානු උපාධි අධ්‍යාපනය ලබාදීමට මධ්‍යස්ථානයක් ශ‍්‍රී ලංකාවේ බිහි කිරීමටය. ඒ සඳහා ඔස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 12ක් වෙන් කරන්නට රජය සූදානම් බව ඇය මෙහිදී ප‍්‍රකාශ කළාය.

දෙරට අතර දේශපාලන අවබෝධය හා සුහදතාව ගැන කතා කරමින් සාකච්ඡාවට අවතීර්ණ වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඔස්ටේ‍්‍රලියාව හා ශ‍්‍රී ලංකාව අතර දීර්ඝකාලීන සම්බන්ධතාව ගැනය. ලබන වසර වන විට මෙම සම්බන්ධතාවට වසර 75 ක් පිරෙන බව ජනාධිපතිවරයා මතක් කළේය.

ඇමැතිනියගේ යෝජනාව වූයේ ශ‍්‍රී ලංකාව කලාපයේ අධ්‍යයන කේන්ද්‍රයක් බවට පත් කිරීම සඳහාය. වෘත්තීය අධ්‍යාපනය හා නිපුණතා අධ්‍යනය කෙරෙහි මූලික සැලකිල්ල දැක්විය යුතු බව ඇයගේ යෝජනාව විය. මේ රටේ කර්මාන්ත ප‍්‍රවර්ධනයට ද ඇය සතු යෝජනා කීපයකි.

වත්මන් අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා එරට ආරක්ෂක ඇමැති වරයාව සිටි කාලයේ තමන් මේ රටේ ආරක්ෂක ලේකම්වරයාව සිටි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සමයේ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇතිවූ එකඟතාවක් ගැනද අදහස් හුවමාරු විය.

‘‘මුහුදු කොල්ලකරුවන් සාගරයේදී මර්දනය කරන්න අපි ගිවිසුමකට එළඹුනා. එතුමා අද එහේ අගමැතිවරයා වීම ගැන මට සතුටුයි” ජනාධිපතිවරයා කීවේය.

මෙම සාකච්ඡාව යොදාගත් වෙලාවටත් වඩා විනාඩි විසිපහක් තිහක් ඉදිරියට ඇදී ගියේ එය එතරම් සුහද සාකච්ඡාවක් වූ නිසාය.

  • නියන්ගොඩ හිමි කී කතාවක්…

22 වැනි බදාදා උදේ රත්මලාන සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති සුවිශේෂී පිංකමකට සහභාගි වන්නට ජනාධිපතිවරයා රත්මලානට ගියේය.

රත්මලාන බෞද්ධ මධ්‍යස්ථානවාසී මාපලගම බුද්ධසිරි මා හිමියන්ගේ පැවිදි දිවියට පනස් වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවති මෙම පැවැති මෙම උත්සවය ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේ 75 නමක් වෙනුවෙන් සංවිධානය කළ මහා සංඝගත දක්ෂිණාවකින්ද සමන්විත විය. ජනාධිපතිවරයා මහත් උද්යෝගයෙන් යුතුව ඒ සියල්ලටම සහභාගි වූයේය.

මෙම අවස්ථාවේදී මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි මහා නාහිමියන් විසින් කරන ලද අනුශාසනාව ඉතාමත්ම වැදගත් විය.

‘‘මේක ඉතාම දුෂ්කර අවස්ථාවක්. රටත් ජනතාවත් බේරගෙන නගා සිටුවන්න බොහොම බොහෝම අසීරු අවස්ථාවක්. ඒත් අපේ ජනාධිපතිතුමා රට ගැන හිතලා බොහෝ තීන්දු තීරණ ගත්තා. හැබැයි මේ රටේ විපක්ෂයට වත් සමහර ජනකොටස් වලට වත් මේක අවබෝධ වුණේ නෑ. ‘‘කියමින් නියංගොඩ හිමියෝ කරන ලද අනුශාසනාව කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි.

එදිනම හවස ජනාධිපතිවරයා කටුනායක පැවති උත්සවයකට ද පිටත්ව ගියේය. එය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාවන්ට 77 වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අප සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පවත්වනු ලැබූ උළෙලක් විය.

අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, අමාත්‍ය ඞී. වී. චානක ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලඥයන් කීපදෙනෙක් ද මේ සඳහා සහභාගි වී සිටි අතර ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ද පැමිණ සිටියේය.

මේ අවස්ථාවට සමගාමීව සිවිල් ගුවන් සේවා විෂය සම්බන්ධයෙන් ඉගෙන ගන්නා විශේෂ ඉංජිනේරු පර්යේෂකයන් විසින් නිර්මාණය කරන ලද නිමවුම් ඇතුළත් ප‍්‍රදර්ශනයක්ද සංවිධානය කර තිබිණි.

ප‍්‍රදර්ශන භාණ්ඩ අතර තිබූ එක්තරා ඩ්‍රෝනර් යන්ත‍්‍රයක් හා කුඩා මෝටර් සයිකල් එන්ජිමක් ආධාරයෙන් සකසා තිබූ ගුවන් යානයක් ජනාධිපතිවරයා ගේ අවධානයට ලක් විය…

  • අගමැති දවසකට තිරුපති ගිහින්

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ හිටිහැටියේ ඉන්දියාව බලා පිටත්ව යෑම ගැන රටේ ලොකු කතා බහක් ඇති විය. ඇතැමුන් කීවේ හදිසියේම මහින්ද අසනීප වී ප‍්‍රතිකාර ලබා ගැනීමට රටින් බැහැරව ගිය බවකි.

ඒ කෙසේ වෙතත් අගමැතිවරයා සුපුරුදු පරිදි වසර අවසානයේ ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණේ තිරුපති දේවාලයේ ආශිර්වාද පූජාවකටය. සැබැවින්ම එය පැය 24 ක ගමනක් විය.

බ‍්‍රහස්පතින්දා උදයෙන්ම ඉන්දියාව බලා පිටත්ව ගිය අගමැතිවරයා සිකුරාදා සවස් වරුවේ යළිත් ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණි.

සමගි ජන බලවේගයේ ක‍්‍රියාකාරීහු පසුගිය සතියෙත් නොයෙක් දේශපාලන කටයුතු නිසා කාර්ය බහුලව සිටියහ. ඒ අතර පසුගියදා කොරෝනා රෝගයෙන් මිය ගිය ගායන ශිල්පි සුනිල් පෙරේරා සිහිකරමින් රෝහල් සඳහා ආධාර උපකාර සපයන ”හුස්ම” වැඩසටහන මොරටුව ලූනාව රෝහලේ ක‍්‍රියාත්මක කරන්නට සජිත් කල්පනා කළේය.

ඒ අනුව සුනිල් පෙරේරාගේ නම සිහිකරමින් සමගි ජන බලවේගය විසින් ලූනාව රෝහලට පරිත්‍යාග කළ රෝහල් උපකරණ කට්ටලයේ වටිනාකම රුපියල් ලක්ෂ විසි තුනක් ද ඉක්මවා ගොස් තිබිණි.

මෙම උපකරණ තොගය පරිත්‍යාග කරන අවස්ථාවට සුනිල් පෙරේරාගේ පවුලේ ඥාතීන් මෙන්ම ගිහි පැවිදි ආරාධිතයින් පිරිසක් ද පැමිණ සිටියහ.

”සුනිල් අයියා කියන්නේ ඔබතුමාලා ගේ පක්ෂයට සේවය කරපු කෙනෙක් නෙවෙයි… එතැන සිටි අයෙක් කීවේය.

සුනිල් කියන්නේ කලාවෙන් රටක් සුවපත් කරපු ගායකයෙක්. වැරැද්ද දැකපු තැන කෙලින් කතා කරපු මනුස්සයෙක්. අපිට ඒ ඇති. සජිත් පේ‍්‍රමදාස කීවේ ය.

  • සජිත්ගෙන් රන්ජන්ට නත්තල් තෑගි

2021 වසර නිමාවීමට ආසන්න වෙමින් තිබුණු මොහොතේ උදාවන නත්තල වෙනුවෙන් සජිත් පසුගිය දා සිය මිතුරෙකු බලන්නට වැලිකඩ හිරගෙදරට ගියේය. මිතුරා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායකයි.

රංජන් සමඟ කතාබහ කරමින් ඔහුගේ සුවදුක් විමසූ සජිත් ඔහු අත එක්තරා ලියැවිල්ලක් තැබුවේය…

මේ මොකක්ද මේ රන්ජන් විමසීය…

මේ තමයි ඔයාව නිදහස් කරන්න කියලා ඉල්ලීමක් කරමින් අපි අන්තර් පාර්ලිමේන්තු සංගමය හැටියට ඉදිරිපත් කරන ඉල්ලීම් නවයක් අඩංගු ලිපියේ පිටපතක්…

අන්තර් පාර්ලිමේන්තු සංගමය විසින් කර ඇති ඉල්ලීම ගැන සජිත් රන්ජන්ට කරුණු පැහැදිලි කළේය.

අන්තර් පාර්ලිමේන්තු සංගමය විදියට විතරක් නෙවෙයි, විපක්ෂ නායකවරයා විදිහටත් මම මේ වගේ ඉල්ලීම් දෙක තුනක්ම මේ වෙනකොට ජනාධිපතිවරයාගෙන් කරලා තියෙනවා. මොකද ඔබ අද හිරගෙදර දුක් විඳින්නේ දුක් විඳින ජනතාව වෙනුවෙන් කතා කරලා. හොරකම් කරල මංකොල්ල කාලා නෙවෙයි… සජිත් කීවේය.

හොරකම් කරපු අය අද නිදැල්ලේ. සීනි වංචාකාරයෝ පොල්තෙල් වංචාකාරයෝ ගෑස් මගඩියට සම්බන්ධ අය දැන් නිදැල්ලේ ඉන්නවා. රන්ජන් හිනාවෙමින් එසේ කීවා හැර වෙන කිසිවක් කියන්නට ගියේ නැත.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ වෙනදා නම් මෙසේ අවුරුද්දක් අවසානයේ විවේක ගන්නට යන්නේ යුරෝපයට ය. එහෙත් යුරෝපයේ පවතින තත්ත්වය තවමත් සතුටුදායක නැත. එංගලන්තයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතින වකවානුවක යුරෝපා සංචාර අනතුරුදායක බව බොහෝ දෙනාගේ අදහස විය.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ සිය බිරිඳ මෛත‍්‍රී වික‍්‍රමසිංහ ඉකුත් සතිය මැද කෙටි විවේකයක් ගත කිරීම සඳහා හදිසියේම දියතලාව බලා පිටත්ව ගියේය. දියතලාවේ විජේවර්ධන පවුලේ ඥාතීන්ට අයත් විශාල බංගලාවක් ද ඒ සඳහා තිබිණි.

විවේකය කෙසේ වෙතත් රනිල් මේ ගමන සඳහා ලොකු ලියුම් මිටියක් ද රැගෙන ගියේය. එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංස්කරණ, නව සංවිධායකවරු බඳවාගැනීම පිළිබඳ අයදුම්පත් ඉල්ලීම් අතර විය. එජාප නායකයා විවේකයක් ගත කරන්නට ගොස් ඒ අතර ලද සෑම විවේකයකදීම කළේ එහෙම ලිපි ලේඛන කියවා බලා අවශ්‍ය තේරුම් බේරුම් අවසන් කිරීමයි.

මේ අතර විවේකීව සිටි ද රනිල් වික‍්‍රමසිංහ හමුවේ කතාබහ කරන්නට තවත් කිහිප දෙනෙක් ඉල්ලීමක් කරන බව රනිල්ට දැනුම් දුන්නේ පක්ෂයේ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ය.

කවුද ඒගොල්ල….

අපිත් එක්ක හිටපු අය තමයි… සමහරු හිටපු ආණ්ඩුකාරවරු… මෛත‍්‍රී ගුණරත්න, අසාත් සාලි හා කීර්ති තෙන්නකෝන්. තව දෙන්නෙක් නීතිඥයෝ. ශිරාල් ලක්තිලක හා ගුණරත්න වන්නිනායක…

කිසි ප‍්‍රශ්නයක් නෑ එයාලත් එක්ක සාකච්ඡා කරන්න. මම ඕන නෑ… සිරිකොතට එන්න කියන්න. ඔයයි රුවනුයි වජිරයි මුලින්ම සාකච්ඡා අරඹන්න… රනිල් කීවේය.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment