ඇමරිකාවට දුන්නා කියන යුගදනවි බලාගාරයේ ඇත්ත කතාව මෙන්න

2030
  • යෝජනාව බොහෝ පැරණිය….
  • විරෝධය අතිශය අලූත්ය….
  • රටට ද්‍රව වායු එන පළමු වතාව…
  • විදුලි ඒකකය නොසිතු විරූ පහළ බැසීමක්….

අර්බුදය සඳහා වන විසඳුම් අපේ කැමැත්තේ සියලූ සාධක සපුරන්නේ නම්, ඒ පිළිබඳව සියල්ලෝම සතුටුය. විසඳුම සඳහා අවශ්‍ය සාධක අප සතු නොවන්නේ නම්, අපේ කැමැත්ත එහෙට මෙහෙට කරගෙන, යා හැකි හොඳම විසඳුමට යා යුතුය. ජාතියේ බලශක්තිය තිබෙන්නේ හොඳ තත්ත්වයක නොවේ. පායන කාලයට විදුලිය ලබාදීමට ඇමැතිවරයෙක් කුමටද යන්න අසන තැන දක්වා මේ රටේ විදුලිබලය පහළට වැටී තිබුණි. රට කොටස් වලට බෙදා උදේ සවස විදුලි කප්පාදුව සිදු කරන විට, පාලකයන් කිසිවක් නොකරන බව කියන පිරිසම, හොඳ තත්ත්වයේ විසඳුමක් ගෙන එන විට, විරෝධාකල්පයක නැගී, ඒ සියල්ල පාගා දමන ආකාරය සඳහා හොඳම උදාහරණය, දැන් ‘තිරගත වන යුග දනවී ඇමරිකාවට’ නාටකයයි.

සියල්ලට පෙර බලශක්තියෙන් අප සිටිනා ස්ථානය දෙස බැලිය යුතුය. ඇමරිකන් විරෝධය යන ‘මැක්කා ධජයේ’ සැමදාම නගිනවා වෙනුවට, සංඛ්‍යාලේඛන සහ විශ්ලේෂණ අනුව හැසිරීමේ කාලය දැන් එළඹ තිබේ. රටේ පවතින විදුලිය ඉල්ලූම වාර්ෂිකව 5%කට ආසන්න ප‍්‍රමාණයකින් ඉහළ යන බව ප‍්‍රසිද්ධ දත්තයකි. එසේ වුවත් ඒ ඉහළ යන පරිමාණය අනුව විදුලි ඉල්ලූම සපුරන්නේ කෙසේද යන ගැටලූව සඳහා අපට පූර්ණ පිළිතුරක් නැත.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඇස්තමේන්තු අනුව 2025 වන විට ගිගාවොට් පැය 22500ක විදුලි ජනනයක් සිදුකළ යුතු බවට පුරෝකථනය සිදු කර තිබේ. එය හුදු ඉලක්කයක් නොව සපුරා ගත නොහැකි වුවහොත් දේශය කළුවර වන තත්ත්වයකි. 2013 වර්ෂයේ සිට මේ දක්වා ජාතික විදුලි බල පද්ධතියට ප‍්‍රධාන බලාගාරයක් එක්ව නැති පරිසරයක මෙවැනි ඉලක්කයන් සාධනය කර ගන්නේ කෙසේද…? කුමන අන්දමේ විසඳුමක් මෙවැනි කාර්යයකදී ඉදිරිපත් කළත් විරෝධයක් මිස ඒ සඳහා විකල්පයක් කිසිවෙකු කියන්නේ නැත. එසේම කියන විකල්ප අදුරට දිරි දෙන දෑ මිස අන් කිසිවක් නොවේ.

තාප බලාගාර, දෘවිකෘති ස්වභාවික වායු යන මාතෘකා පරිසරයවේදය අනුව පමණක් බලන විට මිහිරි වචන නොවුණාට, රටේ විදුලි ඉලක්කය සඳහා එය නොසලකා හළ නොහැකි මාතෘකාය.

මොකක්ද මේ ෆොට‍්‍රස් සමාගම M$s New Fortress Energy නම් ඇමරිකානු සමාගම, ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය මාර්ගයෙන් 2019 වසරේදී රජයට ඉදිරිපත් කරන ලද යෝජනාවක් වූයේ, දෘවිකෘත ස්වභාවික වායු (LNG) මගින්වූ විදුලි ජනන ඒකකයක්, රු.18 ට ආසන්න මුදලකට ලබාදීම සඳහා වූ ඉල්ලීමයි. ඒ සඳහා ස්වාභාවික වායු බලාගාරයක් ශ‍්‍රී ලංකාව තුළ ඉදිකිරිම ඔවුනගේ අරමුණ විය. මෙරට බලශක්ති කේෂ්ත‍්‍රයේ සිටින සමහර නිලධාරීන්ට අවශ්‍ය රට විදුලියෙන් ගොඩනැගීම නොව, ඔහේ කාලය ගතකිරීම නිසා, එම යෝජනාව කාලයක් තිස්සේ සැගව තිබුණි. තම දරුවෙකු එතෙර රැුකියාවේ නිරත වන්නේ, මෙම සමාගම සමග තරගකාරී සමාගමක නිසා එම ව්‍යාපෘතිය පමා කරමින්, වැඬේ නොකෙරෙන තැනට කල් ඇල්ලීම මෙම ‘ලොකු පුටුවේ’ අභිප‍්‍රාය විය. එසේ වුවත් මෙම සමාගම විදුලිය ලබාදෙන මිල ගණන් හෙවත් වත්මන් විදුලි නිෂ්පාදනය වෙනුවෙන් වැය කරන අධි වියදම් (ඒකකයක් රු.30.00 ආසන්න) ඞීසල් ජනනය හා සන්සන්දනාත්මකව බලන විට, රටට වාසිදායි බැවින් ඊට අදාළ තාක්ෂණික හා වාණිජමය කරුණු ඇතුළත් විස්තරාත්මක යෝජනාවක් කැඳවීමට රජය තීරණය කරනු ලැබීය. එය සුදුසු යෝජනාවක් ලෙස තාක්ෂණික ඇගයුමකින් තහවුරු වන්නේ නම් පමණක් ඊට සමාන වන්නාවූ යෝජනා ඉදිරිපත් කිරීමට අනෙකුත් ඕනෑම ආයෝජකයෙකුට අවස්ථාව ලබා දීමටත්, අමාත්‍ය මණ්ඩලය පත්කළ සාකච්ඡා කමිටුවක් (CANC‍) මගින් එකී යෝජනා සියල්ල ඇගයුම් කොට ඒ අතරින් තාක්ෂණික හා මූල්‍ය වශයෙන් වඩාත්ම සුදුසු යෝජනාව තෝරා ගැනීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය රජය අපේක්ෂා කළේය. මේ ස්ථානය දක්වා සියල්ල පැහැදිලිය. විනිවිදය. මෙරට විදුලි බලයේ ස්වර්ණමය යුගය ලෙස සැලකිය හැකි, 2006 - 2015 දක්වා වූ මහින්ද රාජපක්ෂ සමයේදී විදුලි බලය පිළිබඳ රාජ්‍ය දැක්ම වූයේ, සැමට - සැමදා - සැමවිට විදුලිය යන්නයි. රටේ සියලූදෙනා වෙත විදුලිය, සැමදා ලබා දෙන්නට එම රජය සමත් වුවත්, එය සැමවිටම ලෙස තහවුරු කිරීමක්, ඊළග රජයෙන් සිදුවූයේ නැත.

විදුලි ඉල්ලූම, වැස්ස වලාහක දෙවියන් සඳහා මුළුමනින්ම බාරදී ඇති විටක එය පහසු ඉලක්කයක් ද නොවේ. මේ හේතුවෙන් සැමවිට යන්න හෙවත් දවසේ පැය විසි හතර පුරාම විදුලිය, ජාතියට ලබාදීම සඳහා මෙවැනි යෝජනා වගකිව යුතු රජයක් සලකා බැලිය යුතුමය. එසේම විදුලිබල මණ්ඩලයේ පාඩුවත්, එහා බැඳුණු ඛනිජ තෙල් සංස්ථාවේ, මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ පාඩුවත් දෙස බලන විට, අතින් කා හරක් බලන තියරියෙන් තව දුරටත් ජාතියේ විදුලි සැපයුම යාහැකි තත්ත්වයක තිබුණේ නැත. එසේම දුටු විට කරන්ට් වදින විදුලි බිල සම්බන්ධයෙන් පාරිභෝගික මැසිවිලිය. සටන් පාඨයක් වන තත්ත්වය දක්වා වර්ධනය වීම ද රජයක් නවතා ගත යුතුව ඇත. සංවර්ධනය දුටු විට, ඊට එරෙහිව, දකුණත බෝල හැඩයට කරකවනා තරම්, මේ අභියෝග මිහිරි නැත.

ෆොට‍්‍රස් සමාගම ඉල්ලන ලද්දේ ශ‍්‍රී ලංකාව තුළ ස්වාභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට වුවත් ඒ වෙනුවට රජය පාර්ශවයෙන් වෙනත් අදහසක් ඉදිරිපත් කරන ලද්දේ, උපායශිලීවය. ඒ සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාවේ පදනම වූයේ යුගදනවි බලාගාරයය.

වෙස්ට් කෝස්ට් සමාගම සතු යුගදනවි බලාගාරය ඉදිවන්නේ විදුලිය ලබා ගැනීම සඳහා 2007 වසරේදී ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුවය. රජය විසින් මෙහිදී දැරිය යුතු රාජ්‍ය කොටස මිලියන 225ක මුදලක් වුවත්, පැවති තත්ත්වය අනුව එම කොටස සඳහා රජය සතුව මුදල් පැවතියේ නැත. මේ නිසා රජය සහ වෙස්ට් කෝස්ට් සමාගම පැමිණි එකගතාවය වූයේ ”ඔබ මුදල් සොයා බලාගාරය ඉදිකර මුදල් සොයා ගන්න, අප නියමිත මිල පටිපාටින් අනුව විදුලිය මිලදී ගන්නම්’’ යන ආකාරයේ විසඳුමකි. ඒ අනුව සමස්ත ඇස්තමේන්තු පිරිවැයෙන් 30%ක් කොටස් වශයෙන් ද ඉතිරි 70% ඇමරිකානු, ප‍්‍රංශ, හොංකොං බැංකු මගින් ණය ලෙස ලබා ගැනීමට වෙස්ට් කෝස්ට් සමාගමට අවස්ථාව උදාවිය. සමස්ත එකගතාවය වූයේ 2035 වසරේදී මෙම බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලය සතු කිරීමය.

වෙස්ට් කෝස්ට් සමාගමට ණය ලබා ගැනීමේදී රාජ්‍ය ඇපකරයක් විදේශ බැංකු සඳහා ලබාදිය යුතු විය. රජය සතු බහුතර කොටස් නොමැති තත්ත්වයකදී රාජ්‍ය ඇපකරයක් ලබාදිය නොහැකි හෙයින් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වූයේ, මෙහි රජය සතු කොටස් නොමැතිව රාජ්‍ය ඇපකරයක් ලබා ගත නොහැකි බවය. මෙම අවකාශය සපුරා ගැනීම සඳහා ලෙකෝ ආයතනය රුපියල් මිලියන 2000ක්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව රුපියල් මිලියන 2000ක්, අර්ථ සාධක අරමුදල රුපියල් මිලියන 2000ක්, සේවක භාරකාර අරමුදල රුපියල් මිලියන 2000ක්, වශයෙන් යොදමින් රාජ්‍ය භාගය ඇති කිරීම සඳහා දායක විය. මේ සියල්ල මහා භාණ්ඩාගාරය සිය වත්කමක් ලෙස පවත්වාගෙන ගියේය. අවසානයේදී යුගදනවි බලාගාරය 70%ක් සඳහා ණය මුදල් ලබාගත් අතර එම මුදල 2022 මාර්තු මාසයේදී ගෙවා නිම කිරීමට නියමිතය. රජය සතු 50%ට වැඩි කොටස් ප‍්‍රමාණය වන 50%න් 40%ක් ඇමරිකානු ෆොට‍්‍රස් සමාගමට විකිණීම විපක්ෂය සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් වෙත ප‍්‍රශ්නයක් වී තිබෙන බව පෙනේ.

ෆොට‍්‍රස් සමාගම දෙස හෝ වෙන යම් හවුල් පාර්ශවයක් දෙස සර්ව සුබවාදී ආකාරයෙන් බැලිය යුතු නොවන්නා සේම එහි අනෙක් අන්තය ද නොබැලිය යුතුය. රජය මෙහිදී අනුගමනය කරන ලද පිළිවෙත වූයේ වෙනම බලාගාරයක් සෑදීම පිණිස පැමිණි ඇමරිකන් ආයෝජනය රජය සතු වන සමාගමක් සඳහා ලඝු කර ගැනීමය. එය ඇත්ත වශයෙන්ම හොඳ වර්ගයේ තේරීමකි.

40% කොටස් ප‍්‍රමාණයේ වටිනාකම ආසන්න වශයෙන් බිලියන 40කට තක්සේරු කර, එය බිලියන 50 කට ෆොට‍්‍රස් සමාගම වෙත ලබාදීම ගනුදෙනුවක් ලෙස අවාසිදායක තත්ත්වයක් නොවේ. මෙතෙක් කලක් බරවා කකුලක් සේ තිබූ යුගදනවිය ධාවනය කිරීමේ වගකීම දැන් ඇත්තේ ඇමරිකානු සමාගම අතේය. ඔවුන් විදුලිය නිපදවා, විදුලි බල මණ්ඩලයේ ගණනය කිරීම් අනුව රජයට ඒවා විකුණා ලාභ ලබාදිය යුතුය. යුගදනවි බලාගාරය ඞීසල් මගින් ධාවනය වන විට එහි විදුලි ඒකකය මිල රුපියල් 30කි. ද්‍රව ඉන්ධන යොදා ධාවනය වන්නේ නම් එහි මිල ඒකකයට රුපියල් 15කි. එය ජාතිය මේ මොහොතේ සිටින තත්ත්වය අනුව වාසිසහගත තත්ත්වයකි. ‘එල්.එන්.ජී. වාසිය’ නම් කතාවක් බලශක්ති ක්ෂේත‍්‍රයේදී කතිකාවට ලක් වුවද, අප ස්වාභාවික වායු මගින් නිපදවන බලශක්ති අත්දැකීමක් තවම ලබා නැත. මේ පියවර තබනුයේ ඒ සඳහාය.

ෆොට‍්‍රස් සමාගම සඳහා තවත් අවස්ථාවක් මේ සමග උදාවිය. ස්වාභාවික වායු සඳහා නළ මාර්ගයක් එළීමට විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් කැඳවා තිබුණි. වසරකට අවම වශයෙන් ඒකක මිලියන හතළිහක් තමන් ලබා ගන්නා බවට සහතිකයක් විදුලිබල මණ්ඩලය විසින් ලබාදෙමින් කැඳවා තිබූ එම අවස්ථාව ද ෆොට‍්‍රස් සමාගමට උදාවිය. එසේම 2025 වසරේ සිට බලාගාර දෙකක් ස්වභාවික වායු ඇසුරෙන් ධාවනය කිරීම විදුලිබල මණ්ඩලයේ අවශ්‍යතාවයය. කෙරවලපිටියේ ලක්දනවි බලාගාරයේ අල්ලපු ඉඩමේ ඉදිවෙන සොබාදනවී බලාගාරය සඳහා ද මෙම ස්වාභාවික වායු අවශ්‍යයය. සොබාදනවී බලාගාරය පළමු වසර දෙක ඞීසල් ද 2025 වසරේ සිට ස්වභාවික වායු බලයෙන් ද ක‍්‍රියාත්මක කළ යුතුව ඇත. වැඩිවන විදුලිබල සැපයුම සැපයීම සහ විදුලිබිල අඩු කිරීම යන අවශ්‍යතා දෙක සපුරාලිය හැක්කේ එම පූර්ණයන් අනුවය. මේ සඳහා මිල

ගණන් දක්වන්නේ නම් ඞීසල් මගින් සොබාදනවී ක‍්‍රියාකරන විට ඒකකයක් සඳහා රුපියල් 25ක්ද, ස්වාභාවික වායුන් සඳහා ඒකකයක් රුපියල් 18ක් ද වනු ඇත. ජාත්‍යන්තර වෙළඳ පොළ තත්ත්වයන් අනුව වාසිම බලශක්ති ප‍්‍රභවය වි ඇත්තේ ස්වභාවික වායුන්ය. මේ පිළිබඳව ශ‍්‍රී ලංකා අවශ්‍යතාවය සකසනු ලැබුවේ විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ජේ්‍යෂ්ඨ කළමනාකරුවන් විසිනි.

මෙහිදී නැගෙන චෝදනාවක් නම් රාජ්‍ය ආයතනයක් ඇමරිකාවට විකුණා ඇත යන්නය. යුගදනවි රාජ්‍ය ආයතනයක් වන්නේ ණය ලබා ගැනීම සඳහා මිස අන් හේතුවක් මත නොවේ. එම ණය ලබා ගැනීම සඳහා දායක වූයේ රාජ්‍ය ආයතන කිහිපයක මුදල්ය. එම මුදල් ඝනීකෘත වනවා මිස, එම ආයතන වෙත ඒවා යළි ලබා ගැනීමේ අවස්ථාව පවතින්නේ අවම වශයෙනි. එසේම යම් වාසිදායක තත්ත්වයන් යටතේ එම මුදල් යළි ලබා ගැනීම වරදක් ද නොවේ. එසේම යුගදනවි බලාගාරය ලබාදෙන්නේ වෙනම බලාගාරයක් ඉදිකිරිම සඳහා පැමිණි ආයෝජකයෙකු වෙතය. යම් හෙයකින් එවැනි ආයෝජනයක් සඳහා ඉඩ දුන්නේ නම් සම්පූර්ණයෙන්ම එම බලාගාරය ඇමරිකානු ෆොට‍්‍රස් සමාගම සතු වනු ඇත. එසේ බලාගාරයක් ඉදි කළේ නම් මේ සඳහා විරුද්ධ වන පිරිස චෝදනා කරනු ඇත්තේ, ඉරණවිල ඇමරිකන් හ`ඩ වැනි ස්ථානයක් ඉදිකිරිම සඳහා රජය ඉඩ ලබා දෙන බවය. එසේ නොකර මෙරට බලශක්ති අවශ්‍යතාවය වෙනුවෙන් ආයෝජකයෙකූ උපායශීලි ආකාරයෙන් භාවිතා කිරීම වරදක් වන්නේ කෙසේද…?

අනෙක් චෝදනාව වනුයේ ස්වාභාවික වායු පිළිබඳ ඒකාධිකාරයක්, ෆොට‍්‍රස් සමාගම වෙත මෙමගින් ලැබෙන බවය. මේ සඳහා ද රජය ක‍්‍රමවේදයක් අනුගමනය කර තිබේ. ස්වභාවික වායු සඳහා වන මිල ගණන් පිළිබඳව දර්ශක ගණනාවක් ලොව පුරා තිබේ. හෙන්රි හබ් දර්ශකය ඉන් ප‍්‍රමුඛ වන අතර ශ‍්‍රී ලංකාව ස්වාභාවික වායු ලබා ගැනීමේදී භාවිතා කිරීම සඳහා සලකා ඇත්තේ එම දර්ශකයය. ජපන් – කොරියන් දර්ශකය සහ කටාර් රාජ්‍ය මූලික කරගත් බෙන් කෘඩ් දර්ශකය අනිකුත් ප‍්‍රධාන දර්ශක දෙකය. මෙම මිල ගණන් අනුව අවම මිලක් යටතේ ස්වභාවික වායු ලබා ගැනීම රාජ්‍ය ප‍්‍රතිපත්තිය බවට ලංකාව පත් කරගෙන තිබේ. ඒ මිල ගණන් අතිනි. එසේම ෆොට‍්‍රස් සමාගම වෙත එවැනි ඒකාධිකාරයක් පිළිබඳව අභිප‍්‍රායක් තිබෙනවා නම් එය ඉටු නොවන බව කිව හැක්කේ, එසේ එම සමාගමට පමණක් මෙම කේෂ්ත‍්‍රයේ ආයෝජනය කිරීමේ අවස්ථාවක් මේ කිසිදු අවස්ථාවක ලබාදී නොමැති හෙයිනි. එසේ තිබියදී බිල්ලන් මැවීම සඳහාම ඉපදී සිටින සමහරු මේ තලියේද කිඹුලන් දැකීම, ඔවුන්ගේ වින්දනය විය හැකි වුවත් ජාතියේ බලශක්තිය ඒ වින්දනය උදෙසා වෙන් කර දිය යුතු නැත. ගිවිසුමට වඩා සමහරුන් ප‍්‍රශ්න කරන්නේ එදින මධ්‍යම යාමයේ මේ පිළිබද ගිවිසුමට අත්සන් තැබීමය. ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම ගිවිසුම අත්සන් තැබීම පිණිස ෆොට‍්‍රස් සමාගම පාර්ශවයෙන් පැමිණි පිරිස සිටියදීම ඒ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව දිගින් දිගටම සලකා බලමින් සිටි බවය. මේ හේතුවෙන් එම සමාගමේ නීතිවේදීන් සමග මාර්ගගත ආකාරයෙන් සම්බන්ධ වෙමින්, එදිනම කෙසේ හෝ ගිවිසුම අත්සන් කළ බවය. යම් හෙයකින් පසුදා උදෑසන මේ සඳහා අත්සන් තැබුවේ නම් ‘මධ්‍යම රාතී‍්‍ර’ චෝදනාවට සිදුවන්නේ කුමක්ද…? මාර්ගත ආකාරයෙන් ෆොට‍්‍රස් සමාගම සමග සම්බන්ධ වීමේදී දෙරටේ කාල පාරයාස වෙනස සහ පැමිණි නියෝජිතයන්ගේ කාල සටහන අනුව එදින උදෑසන අවසන් කළ යුතුව තිබූ ගිවිසුමක් නෛතික තත්ත්වයන් මත දික් ගැස්සී යෑමේ ප‍්‍රතිපලයක් ලෙස එදා රාත‍්‍රියේදී ඒ සඳහා අත්සන් තබන ලද බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

සංවාදය අත්‍යවශ්‍යය. මෙහිදී අදාළ පාර්ශ්වයන් සංවාද කිරීමේ අරමුණ ද හඳුනාගත යුතුය. මේ පිළිබඳව ප‍්‍රශ්න කරන බොහෝ දෙනෙකු ප‍්‍රතිපත්තියක් ලෙසම, ඒකීය ශ‍්‍රී ලංකාව පවා නොපිළිගන්නා පිරිස්ය. එසේ තිබියදී ඔවුන් පවසන්නේ ෆොට‍්‍රස් සමාගම සමග ගිවිසුම් ගතවීම හේතුවෙන් රටේ ස්වෛරීභාවය නිමා වන බවය. ඒ නිසා සංවාදය දෙස පමණක් නොව සංවාදයේ යෙදෙන්නාගේ අරමුණ දෙස ද බලා, ජාතියේ බලශක්තිය වැනි මාතෘකාවකදී හැසිරිය යුතු බව ලියා සිටිමි.

නෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment