ඇමරිකාවේදී අනතුරට පත් නැවේ බඩු ලංකාවට ගේන්න අවසර ගෙන තිබුණාද?

170

පරීක්‍ෂණයක් කරන බව රාජ්‍ය ඇමැති වක්කුඹුර කියයි

ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී අමෙරිකාවේ බොල්ටිමෝ පාලමේ ගැටුණු භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අඩංගු ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නිසි අවසරයක් ගෙන තිබුණාදැයි විධිමත් පරීක්ෂණයක් පවත්වන බව පරිසර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02දා) පැවසීය.

මෙම නැවේ පැමිණීම ගැන මධ්‍යම පරිසර අධිකාරියට කිසිදු දැනුම්දීමක් කර නොතිබූ බවද හෙතෙම සඳහන් කළේය. අහිතකර විෂ ද්‍රව්‍ය බහාලුම් සහිතව මෙරටට පැමිණෙමින් තිබියදී අනතුරට පත් මෙම නැව සම්බන්ධයෙන් මහාචාර්ය චරිත හේරත් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසූ අතර වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. “මේ නැව පිළිබඳව මේ වන විටත් විශේෂ පරීක්ෂණයක් පවත්වනවා. මේ නැවේ පැමිණීම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දීලා තිබුණේ නෑ. අපි මේ වන විට රේගුවටත් වරායටත් දන්වලා තිබෙනවා ඒ ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා. මේ නැව හැප්පුණු නිසා තමයි එහි තිබූ භාණ්ඩ ගැන දැනගන්නට පුළුවන් වුණේ. මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වලා සභාව දැනුවත් කරනවා.”

ද ඩාලි නම් එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව පසුගිය මාර්තු 26 දා බොල්ටිමෝ පාලමේ ගැටුණු අතර ඒ හේතුවෙන් වසර 47ක් පමණ පැරණි එම පාලම කඩා වැටී පාලමේ නඩත්තු කටයුතු කරමින් සිටි සේවකයෝ 06ක්ද ගඟට වැටී අතුරුදන් වූහ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment