ඇමැතිවරයකුගේ නිහතමානීත්වය සහ වෛද්‍යවරයකුගේ අධිෂ්ඨානශීලීත්වය ප‍්‍රකට කළ එක් සුවිශේෂී මොහොතක්

1227

කරාපිටිය වකුගඩු රෝහලේ නව මහල් වකුගඩු ඒකකයේ තවත් කොටසක් වන රුධිර කාන්දු පෙරන ඒකකය සහ වකුගඩු වාට්ටු සංකීර්ණය පසු ගිය මස 24 දා රෝගී සත්කාරයක් සඳහා විවෘත කරන ලදී. කරාපිටියේ මෙම නව මහල් වකුගඩු ඒකකය බොහෝ සමාජ ක‍්‍රියාශීලීන් රැසක ගේ නො පසුබට උත්සාහයක සහ සාමූහික ප‍්‍රයත්නයක අතිවිශිෂ්ට නිර්මාණයක් බව බොහෝ අය නො දන්නා කාරණයකි.

මේ සඳහා මූලික අඩිතාලම යෙදෙන්නේ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව සහ විශේෂඥ වෛද්‍ය රංජුක උභයසිරි ගේ අතිශය කැපවීම තුළින් 2012.11.19 දින කරාපිටිය රෝහලේ සිදු කළ ප‍්‍රථම වකුගඩු බද්ධකරණය නිසා දකුණු ලක සමාජ ක‍්‍රියාශිලින් ගේ සහ වකුගඩු රෝගී සිත් සතන්වල යම් උද්යෝගයක් ඇතිවිණි.

එහි දී අප සමග සෙනෙහසින් සහ දැඩි විශ්වාසයෙන් යුතුව එක්වන නීතිවේදී ඉන්දික ගමාච්චි , වෛද්‍ය දනුජ මහේෂ්, නීතිවේදී නලිනි මනතුංග, ජයන්ත කහවන්දල, ලලිත් කරුණාරත්න, දුමින්ද රාජපක්‍ෂ, සුමිත් ලොකුගේ, චන්දිම මුතුකුමාර, කපිල මනම්පේරි, වෛද්‍ය රන්ජිත් සමරගේ, ඉන්දිකා නගරත්න, නිස්සංක, ඈපා ලියන, ලලිත් පතිරණ, කීර්ති පතිරණ ආදී මානව හිතවාදී විද්වත්හු සිය වෘත්තියෙන් ඔබ්බට ගොස් කරාපිටිය වකුගඩු ආරක්‍ෂක සංගමය පිහිටුවමින් එය තුළින් මේ කර්තව්‍යය සඳහා විශාල දායකත්වයක් ලබාදෙන ලදී.

තවද මේ සඳහා පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය එවක සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, අමාත්‍ය රමේෂ් පතිරණ, චන්දිම වීරක්කොඩි, එවකට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන සහ එකල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිඳුන් විසින් පූර්ණ කරන ලදී. එමෙන්ම මෙම ගොඩනැඟිල්ලට මුල්ගල තබන ලද්දේ එවකට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා විසිනි.

තවද මේ ක‍්‍රියාදාමය පුරා අමතක නො වන සුවිශේෂී මෙහෙයක් සිදු කළේ එදත් අදත් කරාපිටිය රෝහල් අධ්‍යක්‍ෂ වූ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සහ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතුන් දෙපළ වේ. ප‍්‍රශංසනීය රෝහල් අධ්‍යක්‍ෂකවරයකු ගේ කාර්යභාරය සහ ප‍්‍රශංසනීය, ආදර්ශමත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ගේ සහ අමාත්‍යවරයකු ගේ කාර්යභාරයන් ඔවුන් දෙපළ මැනවින් ක‍්‍රියාවෙන් ම ඔප්පු කර පෙන්වන ලදී.

එමෙන්ම එකල කරාපිටිය රෝහලේ රුධිර කාන්දු පෙරන ඒකකයේ සිටී සියලූ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් මෙම ගොඩනැඟිල්ලේ මූලික සැලසුම්කරණයේ දී බොහෝ කැපවීම් සිදුකළහ. ඉදිකිරීම් කළ CECB ආයතනයේ සියලූදෙනා මෙය
තමන්ගේ ම නිවහනක් සේ ඉදිකිරීම් කළහ. කරාපිටියෙන් නික්ම ගිය පසු මේ ගොඩනැඟිලි සංකීර්ණයේ සෙසු කටයුතු සිදු කිරීමට වෛද්‍ය නදීකා රත්නමලල, නාලක හේරත්, ඉරේෂා හෙට්ටිආරච්චි, දර්ශි අනුරුද්දීකා වගබලා ගත්හ. මේ සියලූම දේ සිදුකිරීමට අපහට මුලසිට ම මඟපෙන්වූයේ බොහෝ වකුගඩු විශේෂඥ වෛද්‍යවරුන්ගේ ගුරු වූ මහාචාර්ය රිස්ව් ෂෙරිෆ් මැතිතුමා බැව් කිසිසේත් අමතක නො කළ යුතුමය.

මේ දැවැන්ත වකුගඩු ඒකකය තව නොබෝ දිනකින් අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිඳුන් ගේ සුරතින් අංග සම්පූර්ණ ගොඩනැඟිල්ලක් ලෙස දැයට එළි දැක්වීමට නියමිතයි.

ඉහත ඡායාරූපවල දැක්වෙන පරිදි මෙම විවෘත කිරීම සිදුවුණ එක්තරා සුවිශේෂී සිදුවීමක් කාගෙත් නෙත් ගැටුණි. මෙම විවෘත කිරීම සිදු කිරීමට නියමිතව තිබුණේ වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්මාන්ත අමාත්‍ය සහ සම කැබිනට් ප‍්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා අතිනි. නමුත් එතුමා එම කර්තව්‍ය මෙම නව මහල් වකුගඩු ඒකකය ගොඩනැ`ගීමට පුරෝගාමී මෙහෙවරක් සිදු කළ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතාට එම කර්තව්‍ය ඉටු කිරීමට ආරාධනය කරන ලද්දේ නිහතමානීත්වය සහ කෘතවේදීත්වය හඳුනන ඉතා ආදර්ශමත් ආමාත්‍යවරයකු ලෙස ය. රමේෂ් පතිරණ ඇමතිතුමා ගේ එම සත් ක‍්‍රියාව එදින උත්සවයට සහභාගී වූ සියලූදෙනා ගේ දැඩි ප‍්‍රශංසාවට ලක් විය.

දකුණුලකට මේ මහඟු සත්කාරය ලබාදීමට කැප වූ මේ සැමට ජාතියේ ප‍්‍රණාමය හිමිවිය යුතුයි.

කරාපිටිය වගුගඩු ආරක්‍ෂක සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment