ඇමැතිවරයෙක් නම් චණ්ඩියෙක් – යහපත් දේශපාලන ගමනකට මුලින්ම පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕනෑ

899

ජනාධිපති අනුර කුමාර දිසානායක රත්නපුරදී කියයි

නොවැම්බර් 21වැනිදා පාර්ලිමේන්තුව කැඳවනවා. ඊට පෙර 25කට අඩු සංඛ්‍යාවකින් යුත් විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය හදනවා. කැබිනට් ඇමැතිවරුන්ට නියෝජ්‍ය ඇමැතිවරයෙක් සහිත සියලු‍ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබාදෙන යාන්ත්‍රණයක් හදනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම දෙනාම රට ගොඩ නැගීම වෙනුවෙන් දායක කර ගන්නවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ඒ මහතා මෙම අදහස් පළ කළේ මහ මැතිවරණය වෙනුවෙන් පසුගිය 26දා පැවැති රත්නපුර දිස්ත්‍රික් රැළිය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

ජනාධිපතිවරණයේදී අප ඔබට පොරොන්දු වුණා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් දින කිහිපයක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියලා. ඒ ආකාරයෙන්ම අපි පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. රට පාලනය කිරීම සඳහා ජනාධිපති ධුරය වගේම ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් සහ ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙනවා. ඊළඟට පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න ඕනෑ. යහපත් දේශපාලන ගමනක් ආරම්භ කරන්න නම්, පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕනෑ. අපේ රටේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් කෙරෙහි පවතින්නේ සුබදායී ආකල්පයක් නොවෙයි. ඇමැතිවරයකු කී සැණින් දූෂිතයෙකු, චණ්ඩියෙකු එහෙමත් නැත්නම් අපරාධකාරයෙකු පිළිබඳ අදහසක් එනවා. රටක් පාලනය කිරීමේ දේශපාලන නායකත්වය දරන්නේ අපරාධකරුවන්, චණ්ඩින්, දූෂිතයන් නම්, එවැනි රටකට විපත් පමණයි සිදු වන්නේ. රට එම තත්වයෙන් මුදාගෙන මුලින්ම දේශපාලනය කෙරෙහිත්, දේශපාලකයන් කෙරෙහිත් මහ ජනතාවගේ විශ්වාසය තහවුරු කරන්න ඕනෑ. ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය විශාල වශයෙන් වැඩිවී තිබෙනවා. ජනතාව ආණ්ඩුව කෙරෙහි තිබෙන බැඳීම සහ විශ්වාසය වැඩිකර ගනිමින්, රට ගොඩනැඟීමේ දිශාවට ගමන් කරමින් සිටිනවා. ජාතික ජන බලවේගයේ අප වෙත පැවරී තිබෙන ප්‍රධාන වගකීම ඔබ, අප කෙරෙහි තැබූ විශ්වාසය තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමයි. එය මැනැවින් ඉටු කරන බව ඔබ හමුවේ තහවුරු කරනවා.

මේ රට ගොඩනැඟීම සඳහා තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය කැප කරනවා වාගේම විනයක් සහිත නීතිගරුක පිරිසක් ඕනෑ නම්, ඒ වෙනුවෙන් ඉන්නේ මාලිමාවේ කණ්ඩායම විතරයි. ඒ වාගේම ජනතාව සමඟ සමීපව කටයුතු කරන පිරිසක් ඉන්නෙත් මාලිමාවේ විතරයි. ගම්වල පවත්වන ශ්‍රමදානවලට වඩා ලොකුම ශ්‍රමදානයක් මඟින් පාර්ලිමේන්තුව පිරිසිදු කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් නොවැම්බර් 14 වැනිදා වෙන්වී තිබෙනවා. තව පිරිසක් කියනවා, විපක්‍ෂයක් ඕනෑ කියලා. නමුත්, අප මැදිහත් වෙන්නේ ලංකාවේ ශක්තිමත්ම ආණ්ඩුව පිහිටුවීමටයි. නොවැම්බර් 21වැනිදා පාර්ලිමේන්තුව කැඳවනවා. ඊට පෙර 25කට අඩු සංඛ්‍යාවකින් යුත් විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය හදනවා. කැබිනට් ඇමැතිවරුන්ට නියෝජ්‍ය ඇමැතිවරයෙක් සහිත සියලු‍ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබාදෙන යාන්ත්‍රණයක් හදනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම දෙනාම රට ගොඩ නැගීම වෙනුවෙන් දායක කර ගන්නවා. පියවරෙන් පියවර නිවැරැදි තීන්දු ක්‍රියාත්මක කරමින්, රට ගොඩනැඟීමේ දිශාවට ගමන් කරනවා.

ජනාධිපතිවරණයෙන් පසු ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන තෙක් පාලනය බිඳනොවැටී පවත්වාගෙන යාමට තුන්දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් ස්ථාපිත කළා. ඒක ලංකාවේ වගේම ලෝකයෙත් වාර්තාවක්. ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයෙක් පත් වුවහොත්, ඩොලරය රුපියල් හාරසියට යන බව සමහර අය කිව්වා. නමුත්, ඩොලරය රුපියල් තුන්සීයට අඩුවෙන් පවත්වාගෙන යාමට අපට හැකි වී තිබෙනවා. වඩාත් යහපත් අයවැය ලේඛනයක් 2025 වසර සඳහා සකස් කරනවා. මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සාකච්ඡා කරමින් ඉන්නවා. ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ප්‍රචාරය කළ ආකාරයේ ව්‍යසනයකට අපේ රටත්, ජනතාවත් ගොදුරු වීමට ඉඩ නොදී සාමාන්‍ය තත්වයෙන් පවත්වාගෙන යාමට අප සමත්වී සිටිනවා.

ඊට අමතරව අපේ ඉදිරි ඉලක්ක සැලැසුම් කිරීමට අවශ්‍ය තීන්දු-තීරණත් ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා කැබිනට් මණ්ඩලයකින් අනුමත කරගෙන පොහොර සහනාධාරය දෙන්න හිටියනම් මාස් කන්නය අවසන් වෙනවා. ඒ නිසා තුන්දෙනාගේ කැබිනට් මණ්ඩලයෙන් වී වගාව සඳහා හෙක්ටයාරයකට ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කළා. ඒ වාගේම ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයත් වැඩි කර දුන්නා. විශ්‍රාමිකයන්ට රුපියල් 3,000ක අමතර දීමනාවක් ඔක්තෝබර් මාසයේ සිට ලබාදෙන්නත් ක්‍රියා කළා. අපේ පළමු අය වැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්නත් සැලැසුම් කර තිබෙනවා. පාසල් දුවා දරුවන් සඳහා යම් දීමනාවක් දෙන්නත් අපි කල්පනා කරමින් ඉන්නවා. සාමාන්‍ය ජනතාව බලාගෙන ඉන්න සහනාධාර ලබාදීමටත් සැලැසුම් කර තිබෙනවා. මේ සියල්ල අතරේ රට ගොඩනැඟීම වෙනුවෙන් කෘෂි, ධීවර ක්‍ෂේත්‍ර මෙන්ම සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමටත් සැලැසුම් සකස් කර තිබෙනවා. රත්නපුරය විශේෂයෙන්ම මැණික් කර්මාන්තය සමඟ ගැටගැසී තිබෙන නිසා එම කර්මාන්තය බිඳවැටීමට ඉඩ නොදී, පාරිසරික බිඳ වැටීමකටත් ඉඩනොදී ක්‍රමානුකූලව තිරසර ආකාරයෙන් මැණික් කර්මාන්තය දියුණු කිරීමට සැලැසුම් සකස් කරනවා. ඒ තුළ සාම්ප්‍රදායික මැණික් කර්මාන්තය ආරක්‍ෂා කර ගනිමින්, පරිසරය ආරක්‍ෂා කර ගැනීම මූලිකම ඉලක්කයක්. වර්තමානයේ ජීවත් වන අපි සියල්ල කාබාසිනියා කරමින්, කටයුතු කරනවා වෙනුවට තිරසර සංවර්ධනයේ ප්‍රධාන අංගයක් ලෙස මැණික් කර්මාන්තය සංවර්ධනය කරන්න කටයුතු කරනවා. අනාගත පරපුර වෙනුවෙන් සම්පත් ආරක්‍ෂා කර දෙමින්, විධිමත්ව පරිහරණය කරනවා.

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් විධායක සභික, විශ්‍රාමලත් විදුහල්පති, රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂක, ඩබ්ලිව්. කරුණාතිලක, ප්‍රවීණ රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර, විශ්‍රාමික දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සාමාජික, ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂක, සුගත් වසන්ත ද සිල්වා, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂක මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක, ශාන්ත පද්මකුමාර ද මෙහිදී අදහස් දැක්වූහ.


advertistmentadvertistment