ඇමැති කුට්ටම ඇනුවත් විඳිති ජනයා දුකම තවමත්!

196

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුද යම් ප්‍රමාණයකට හෝ සමනය කිරීමට අගමැති රනිල්ට හැකිවේද? එසේම පාර්ලිමේන්තුව තුළ ඔහුට දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනඟා ගත හැකිද? යන ප්‍රශ්න පිළිබඳව උද්ගතව තිබෙන සංවාද නිමක් නැත. විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවලට අනුව රනිල්ගේ සම්ප්‍රාප්තිය, රට වැනසූ බවට චෝදනාවලට ලක්ව සිටින රාජපක්‍ෂවරුන්ට හුස්මක් කටක් ගැනීමට ඉඩදීමටය. එහෙත් අගමැති රනිල් ඒ චෝදනාව ප්‍රතික්ක්‍ෂේප කර ඇත. ඔහුට අනුව මෙරටේ යළිත් රාජපක්‍ෂවරුන්ට දේශපාලනය සඳහා ඉඩක් නැත. කුමක් වුවත් රාජපක්‍ෂලා හා රනිල්ගේ දේශපාලන බැඳීම්, ජනතාවට ද රහසක් නොවේ. ජේ. ආර්. ජයවර්ධනගේ සිට මහින්ද රාජපක්‍ෂ දක්වා වූ ඉතිහාසයේ කිසි විටෙක දේශපාලනඥයකුට කවර හෝ වරදකට දඬුවම් ලබා දුන් බවක් ද සඳහන් නොවේ. මෙරටේ හැමදාමත් දේශපාලනය නමින් සිදු වූයේත්, අද සිදු වන්නේත් බලය අත්පත් කර ගැනීම විනා මහජන සේවයක් නොවන බව අපට නිර්භයව කිව හැකිය. ජේ. ආර්. ජයවර්ධනගේ සිට ගෝඨාභය රාජපක්‍ෂ දක්වා වූ ඉතිහාසය වුවද දේශපාලන වශයෙන් කුණුවී ගිය බල තෘෂ්ණාධිපතියන්ගේ දඩබිමකි. ජයවර්ධන සමාජගත කළ සකල විධ දූෂණ ක්‍රියාමාර්ග අද දක්වා දෙතුන් ගුණයකින් වැඩි වූ ආකාරය ඕනෑම අයකුට පැහැදිලිව දැකගත හැකිය. ජයවර්ධනගේ ව්‍යවස්ථාව ඔහුට වැජඹීමට, ඔහුගේ ඇඟේ මිම්මට මැසූ ඇඳුමක් හා සමාන වූවකි. එහෙත් වසර 40 ක් ඒ ව්‍යවස්ථාව වෙනස් නොකළ දේශපාලන නායකයන් හා පක්‍ෂ පිළිබඳ අමුතුවෙන් කතා කළ යුතු දෙයක් ද නැත.

ඇමැති කුට්ටම ඇනුවත් විඳිති ජනයා දුකම තවමත්!

මේ අනුව රනිල් අගමැති වීමද නිසැකයෙන්ම දේශපාලන සදාචාරය නිර්දය ලෙස සුනුවිසුනු කිරීමක් බව අමුතුවෙන් කිව යුතු නැත. අගමැතිව සිටි මහින්ද ඒ ධුරය අත්හැර ගියේද බැරිම තැනය. ඔහුට තවදුරටත් බලයේ රැඳීමට, සංවිධානය කළ පොහොට්ටුකාරයන්ගේ දූෂිත හමුව මැයි 9 වැනිදා කළු දිනයක් ලෙස දැන් ඉතිහාසයට ද එක්ව තිබේ. ඒ අශීලාචාර මෙහෙයුම කළ විනාශය තවමත් ගණන් බලා නැත. ජීවිත හානිවල වගකීම භාරගත යුත්තේ ද ඒ අරලියගහ මැඳුරට පොහොට්ටුකාරයන් කැඳවූ ගොබ්බ නායකයෝමය.

ගාලුමුවදොර විරෝධතාකරුවන්ගේ අරගලය නැවුම් දේශපාලන සංස්කෘතියක් උදෙසාය. අද පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 ම දේශපාලන වශයෙන් පාරාජිත වූ දේශපාලන අපතයන් බව මේ තාරුණ්‍යයේ අරගලකරුවෝ තිරසරව කියති. එහෙත් මේ 225 තුළ ඒ ගර්හිත දේශපාලන නරකාදියට අයත් නොවන කීප දෙනෙක් හෝ සිටිති. ගෝඨාගෝගම ගෙනගිය අරගලය නිසා රාජපක්‍ෂ පාලනය දෙදරා ගිය අතර එහි නායකයා වූ මහින්දට ද අගමැති පුටුව අතහැර යෑමට සිදුවිය. එසේම ජනාධිපති ගෝඨාභය ගෙදර යා යුතුය යන සටන් පාඨය ද තවම බිම තබා නැත. අද එයට රනිල්ගේ නම ද එකතු වී, ගෝඨා – රනිල් ආණ්ඩුව ගෙදර යා යුතුය යන සටන් පාඨය ඉදිරිපත් වී තිබේ. ඒ මොනවා වුවත් දැන් රනිල්ට අගමැති පුටුව හිමිව තිබේ. මහජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරන ලද පුද්ගලයකු රටේ අගමැති වීම පිළිබඳ මතු කරනු ලබන ප්‍රශ්නය ඉතා සාධාරණ හා බලගතු එකකි. ඇත්ත වශයෙන්ම ගෝඨාභය – රනිල් හවුලකට දායක වීම ප්‍රතිපත්තිමය ගැටලුවක් බවද අපට පෙනේ. එහෙත් දැන් ඒ ගැන වාද කිරීම ද නිෂ්ඵලය.

අද රට මුහුණ දී තිබෙන මේ දේශපාලන අර්බුදයට එකම විසඳුම මහමැතිවරණයක් බවද සත්‍යයකි. එහෙත් ඒ සඳහා රටත් ජනතාවත් උගසට තැබිය හැකිද? යන ප්‍රශ්නය ද සමහරු නඟති පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ මෙහිදී ක්‍රියා කළ ආකාරය සම්පූර්ණයෙන්ම නිවැරදිද යන්නත් ගැටලුවකි බලය ලබා ගැනීමට දේශපාලන පක්‍ෂ මුල් තැන දීම ගැන අපට විවේචනයක් කළ නොහැක. එහෙත් මේ දුෂ්කර අවස්ථාවේ රට ගැනත්, පීඩනයට පත්ව සිටින ජනතාව ගැනත් කල්පනා කළ යුතුව තිබුණි සර්වපාක්ෂික හෝ අන්තර්කාලීන පාලනයක් සඳහා එකඟත්වයක් ඇති නොවීම රටේ අභාග්‍යයකි. මේ ජනතා නැඟිටීම තමන්ට බලය ලබා ගැනීමට සුදුසුම අවස්ථාව ලෙස ඒ ඒ පක්‍ෂවල නායකයන්ට කල්පනා වීමද පුදුමයක් නොවේ. එහෙත් නිදහසින් පසු මෙරටේ ඇතිවූ බිහිසුණුම සමාජ ආර්ථික ව්‍යසනය අබියස බලයට වඩා රට ගැන සිතන දේශපාලනඥයෝ වඩාත් උතුම් බව පමණක් කිව යුතුය. මේ වනවිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව නීතියේ ආධිපත්‍යය ද බිඳවැටීමේ අනතුර ද දැකගත හැකිය. අවිනිශ්චිත, අරාජික යුගයක අනිවාර්ය ප්‍රතිඵල ලෙස ජනතා ගැඟිටීම් කැරලි කෝලාහල සිදු වීමද ස්වභාවිකය ඒවා උත්සන්න වීම හමුදා පාලනයකට අතවැනීමක් ද වනු ඇත. අද විරෝධතාවලට රිංගා ගත් පාතාලයන්ගේ සබඳතා ගැන ද හෙළි වී තිබේ.

පසුගිය දිනෙක අත්අඩංගුවට ගතහැකිවූ එක් මැරයෙක් පසුගිය දිනවල සිදුවූ හැම විරෝධතාවකදීම භීෂණය වැපිරූ ආකාරය ද දැන් තහවුරු වී තිබේ. ඒ වර්ගයේ මුග්ධයන්ට වුවමනා දේශපාලන සංස්කෘතියක් හෝ යහපත් රටක් ද නැත. එනිසා පසුගිය දිනවල සිදුවූ බිහිසුණු ඝාතන, ගිනි තැබීම්, මංකොල්ලකෑම් මහජන විරෝධතාව උත්කර්ෂයට පත්වු ප්‍රවණතා ලෙසම හැඳින්විය නොහැක. 83 කළු ජූලියේදීත් සිංහල ලේ කකියනවා කියමින් වෙළෙඳ සල්වල පිටි මුට්ට පිටින් කර තබා ගෙන ගිය තුච්ඡ දේශප්‍රේමී මෘගයෝ ද වූහ. එනිසා නීතිය හා සාධාරණය ඉටු කිරීම ද අද ශිලාචාර පුරවැසියන් බලා සිටින කරුණකි. එසේ වුවද පොලිස්පතිවරයාම පවසන දේශපාලන තකතීරුවන් විසින් පාච්චල් කරන ලද පොලිසියක් පිළිබඳව ජනතාව විශ්වාසයක් තබන්නේ කෙසේද?

දේශපාලන පක්‍ෂ වශයෙන් මෙන්ම සිවිල් සංවිධාන හා වෙනත් වෘත්තිකයන් ලෙස ද මේ වනවිට පොදුවේ එකඟ වූ කරුණු කීපයක් ද ඇත. රාජපක්‍ෂවරුන් ගෙදර යැවීම, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට වුවමනා නීතිමය රාමුව ගොඩනැඟීම, ගාලුමුවදොර විරෝධතාව ජයග්‍රහණයෙන් නිමාවට පත් කිරීම ඒවා අතර ප්‍රමුඛ වේ. මේ කාර්යභාරය ඉටු කරගැනීම අද රට ඉදිරියෙහි තිබෙන වගකීමය. එහෙත් එහි තිබෙන උත්ප්‍රාසනීය කරුණ නම් ඒ වෙනස සිදු කර ගැනීමට සිදුවී තිබෙන්නේ ද ඒ විනාශයටම දායකවූවන් ඇතුළු මෙම පාලකයන්ගෙන්ම වීමය. ගාලුමුවදොර විරෝධතාකරුවන් ඇතුළු ප්‍රබුද්ධ පුරවැසියන්ගේ ද දැඩි විවේචනයට පාත්‍රව සිටින දූෂිත හා ගර්හිත දේශපාලනඥයන්ගේම සහාය ඇතිව මේ අලුත් දේශපාලනයට දොර විවර කර ගැනීම හැර දැන් වෙනත් මාවතක් නැත. සිස්ටම් චේන්ජ් එක සිදු කර ගැනීමට අවශ්‍ය පොදු ජාතික න්‍යාය පත්‍රයක් වුවමනා බවද මෙහිදී පෙන්වා දිය යුතුය. ඇත්තටම අගමැති රනිල්ට ඒ සඳහා සද්භාවයෙන් ක්‍රියා කළ හැකිද යන දෙගිඩියාව අප බොහෝ දෙනකුටම තිබේ. පොහොට්ටුවේ හෝ විපක්‍ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් තුළ ඇත්තේ ද අප මතුකරන අවිශ්වාසයයි. ජ. වි. පෙ. අනුර කුමාර පැවසූ ආකාරයටම අගමැති රනිල්ගේ ප්‍රාණය රැඳී තිබෙන කළු පාට පක්‍ෂියා මේ යහපත් දේශපාලන වෙනස සඳහා ඉඩ ලබා දෙනු ඇද්ද? අනුර කුමාර නගන තර්කය අපට ද බැහැර කළ නොහැකිය. සැබවින්ම මේ පාර්ලිමේන්තුවේ අධිකාර බලය තවම ඇත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ටය. ඒ පොහොට්ටු ආධිපත්‍යයට අභියෝග කිරීමට එතැනින් ඉවත් වූ පක්‍ෂ දහයට මෙන්ම ශ්‍රී. ල. නි. පක්ෂයට ද හැකිවේද? ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් ලෙස සිට ඉවත් වූ විමල්, උදය, වාසු මෙන්ම මෛත්‍රීට ද ඒ පොහොට්ටු බලයට අභියෝග කළ නොහැකි බව ද පැහැදිලිය. සර්වපාක්‍ෂික ආණ්ඩුවක් ඇතිකර ගැනීමට නොහැකි වූයේද පොහොට්ටුවේ බල තෘෂ්ණාව නිසාමය. අද පොහොට්ටුවට දණ ගැසීමට සිදුව ඇත්තේ ගාලුමුවදොර විරෝධතාකරුවන්ගේ අභීත ස්වරයත් එයට එක්ව තිබෙන මහජන දායකත්වයත් නිසාය.

අගමැති රනිල්ගේ වත්මන් ඇමැති මණ්ඩලය තුළින් රටට ප්‍රදර්ශනය වන්නේ ද ජනතාව අපේක්‍ෂා කළ වෙනස නොවේ. එහි සිටින ඇතැම් කෙනෙක් ජනතාවගේ දැඩි විවේචනයට මෙන්ම විරෝධයට ද ලක්වූවෝය. ඔවුන්ගේ දේශපාලන භාවිතය ද විවාදාත්මකය. ඉකුත් දශක දෙක තුනකටත් වැඩි කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අය ද එහි සිටිති. එහෙත් ඔවුන් විසින් සුවිශේෂ වශයෙන් රටට කරන ලද මෙහෙවර හෝ සාධනීය ක්‍රියාකාරකමක් පිළිබඳව කිව හැකි දෙයක් ඉතිරිව තිබේද? පොහොට්ටුවට අයත් නැති හරීන් හා මනුෂ දෙදෙනාත් රාජපක්‍ෂ දේශපාලන කඳවුරෙහි පසමිතුරෝය. අද ඔවුන්ට ද තම දේශපාලන පක්‍ෂවල විවේචන පමණක් නොව විනය කටයුතුවලට ද මුහුණ දීමට සිදුවී තිබේ. මේ සියලුදෙනාගේම අනාගතය තීරණය වන්නේ අද නොව හෙටය. තමන්ට එරෙහිව නැගෙන සියලුම දෝෂාරෝපණ, විවේචන, පරිභව සමනය කර ගත හැකිවන්නේ ඔවුන්ට මේ රට මුහුණ දී සිටින ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදවලට පිළිතුරක් ලබාදීමට හැකි වුවහොත් පමණි. රාජපක්‍ෂවරුන් වෙනුවෙන් නොව රට හා ජනතාව වෙනුවෙන් කැපවීම, සද්භාවයෙන් දේශපාලන තීන්දුවලට එළඹීම, ගාලුමුවදොර අරගලයේ අපේක්‍ෂාවන් බවද කිව යුතුය. ඇත්ත වශයෙන්ම ගෝඨාභය ජනාධිපතිවරයාගේ බලාධිපත්‍යය දෙදරා ගියේ ද මේ විරෝධතාවන්හි ප්‍රතිඵලයක් ලෙසය. රාජපක්‍ෂ දේශපාලන පවුල් ගස අද ජනතා විරෝධතාවෙහි කුණාටුවට හසුවී අසරණ විලාසයක් දක්වයි. දැන් ජනාධිපතිවරයා හෝ ඔහුගේ වියත්මග ඇතුළු ගජමිතුරෝ ද 69 ලක්‍ෂයේ ජනවරම ගැන කතා කිරීමෙන් ද වැළකී සිටිති. මෙම ආර්ථික හා දේශපාලන අර්බුදයේ නිර්මාතෘවරුන් රාජපක්‍ෂලා බවද ඔවූහු දනිති. ජනාධිපතිවරායගේ නියෝගවලට ද උඩින් පැන යන පොලිසියක් අද තිබේ. කවර තත්ත්වයක් යටතේ වුවද නීතිය අතට ගැනීමට මහජනයාට ඉඩ දිය යුතු නැත.

අගමැති ලෙස රනිල් මෙන්ම අලුතින් තේරී පත්වූ ඇමැතිවරුන්ද ක්‍රියා කළ යුත්තේ අද තිබෙන අලුත් දේශපාලන අවකාශය නිවැරදිව වටහා ගනිමින්ය. අන්තර්වාර හෝ සර්වපාක්‍ෂික ලෙස හැඳින්වීමට ඉඩක් නැති මෙම පාලනය ඉදිරියට යා යුත්තේ අතීත පාඩම් හා වර්තමාන ජන හදගැස්ම ද වටහා ගනිමින්ය. ඒ කාර්යය සඳහා මේ ඇමැති මණ්ඩලය ඉහටත් උඩින්ය. එහෙත් ඇමැතිකම, රාජ්‍ය ඇමැතිකම බොහෝ විට දේශපාලන අල්ලසක් බවට පත්ව තිබෙන බව ද රහසක් නොවේ. හිටපු අගමැති මහින්ද එදා ප්‍රසිද්ධියේම පැවසුවේත් තම සැලුන්දොර දෙපැත්තටම විවෘත කළ හැකි බවය. මේ අශෝභන දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා ඉදිරිපත් වූ 19 වැනි සංශෝධනය කුණු කූඩයට විසි කරන ලද්දේත් රාජපක්‍ෂවරුන් හා ඔවුන්ගේ අතවැසි දේශපාලනඥයන් විසිනි. 20 වැනි සංශෝධනයෙන් නීතියටත් ඉහළින් ගෝඨාභය ජනාධිපතිවරයා තැබූ පොහොට්ටුකාරයෝ රට යළිත් රාජපක්‍ෂවරුන්ගේ දඩබිමක් බවට පත් කළහ.

කෙසේ හෝ දැන් ඒ බලය යළි පාර්ලමේන්තුවට පැවරීමට රාජපක්‍ෂවරුන්ටම සිදුව තිබේ. 21 වැනි සංශෝධනය ඉකුත් 23 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූයේ ද ඒ පසුබිම තුළය. එහි එන සාධනීය යෝජනා වෙනම සාකච්ඡා කළ යුතුය. එසේ වුවද සැකෙවින් කිවහොත් එම සංශෝධනයෙන් සිදුවන්නේ විධායකය උදුරාගත් සියලු බලතල ව්‍යවස්ථාදායකයට ලබාදීමකි. නව අධිකරණ ඇමැති ලෙස විජයදාස රාජපක්‍ෂ ඉදිරිපත් කළ ඒ යෝජනාව වහාම ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවද අගමැති රනිල් පවසා තිබේ. නිසැකයෙන්ම මෙම 21 සංශෝධනය බලගැන්වීම යනු මේ රටේ දැන් තිබෙන මුග්ධ දේශපාලන ව්‍යාපාරයට මානුෂික මුහුණුවරක් දීම හා ප්‍රජාතන්ත්‍රවාදී ජීවගුණයක් එක්කිරීමකි. විධායක ජනාධිපතිවරයකුට හිමිවන අනර්ථකාරී බලය, හිතුවක්කාර අධිපතිත්වය, අසීමිත උද්ධච්ඡ හැසිරීම් සියල්ල පාලනය කළ හැකි එකම සුත්‍රය ද මේ 21 වැනි සංශෝධනය බව කිව යුතුය. විධායක බලය භාවිත කරමින් රාජපක්‍ෂවරුන් විසින් ගෙනයන ලද දූෂිතම පාලනය අහෝසි කිරීමේ එකම මග වන්නේ ද මේ 21 සංශෝධනයේ ඇතුළත් ප්‍රතිසංස්කරණ සියල්ල රටේ ව්‍යවස්ථාව තුළට එකතු කිරීම පමණි.

මේ අතර ජනාධිපති ගෝඨාභය හා අගමැති රනිල් අතර තිබෙන එකඟතාව කුමක්ද යන ප්‍රශ්නය ද සමහරු නගති. මේ පාලනයේ කාලසීමාව, එහි ස්වභාවය මෙන්ම අලුත්ම ජනවරමක් ලබා ගැනීමේ අපේක්‍ෂාව ආදිය ගැන ද ජනතාව දැනුවත් විය යුතුය. එසේ නැතිව පරණ පුරුදු ක්‍රමයටම ඇමැතිවරුන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට දේශපාලන සැණකෙළි සිරියෙන් පසුවිය හැකි යැයි මොහොතකට හෝ සිතන්නේ නම් එය ද මුළාවකි. දැනට ජනතාව මුහුණ දී සිටින ඉන්ධන, ගෑස්, විදුලිය වැනි අර්බුද විසඳීම අගමැති ප්‍රමුඛ ඇමැතිවරුන්ගේ මූලික අපේක්‍ෂාව විය යුතුය. එසේම බෙහෙත් හිඟය හා අත්‍යවශ්‍ය ආහාර හිඟය දුරලීම ද, ඒ දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුළත් විය යුතුය. මෙයට අමතරව කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ ගැටලු විසඳා ආහාර අර්බුදයට ද අප්‍රමාදව විසඳුම් ලබාදීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුය. එනිසා සංවර්ධන ක්‍රියාවලියට වඩා රටේ ජනතාවගේ ප්‍රමුඛතා පිළිබඳව සමස්ත ආණ්ඩුවේම අවධානය යොමු විය යුතු බවද අවධාරණය කළ යුතුය. මැති ඇමැතිවරුන්ගේ සාටෝප ජීවිත රටාව මෙන්ම බොරු සෝභන වැඩවලට මහජන මුදල් විනාශ කිරීම වැළැක්වීම ද කිසිසේත් ප්‍රමාධ කළ යුතු නැත. ඇත්ත වශයෙන්ම අගමැති රනිල් අවංකවම මේ කාර්යය ජාතික මෙහෙවරක් ලෙස සිතා ක්‍රියා කළහොත් එය කිසිසේත්ම අසීරු අභියෝගයක් ද නොවේ. මක්නිසාද යත් රනිල්ට ද ඔටුනු පැළඳවීමට කුමාරයෙක් හෝ රැක ගත යුතු ුපරපුරක් ද නැති හෙයිනි. එනිසා ඒ කාර්යය හරියට කළොත් රනිලුත් ගොඩය, රටත් ගොඩය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment