ඇමැති වීමට පෙර දඩයමේ ගිය අගමැති!

1019

කොළඹ බණ්ඩාරනායක මාවත ආමර්වීදියට නුදුරින් ආරම්භවී අලූත්කඬේ පෙදෙස දක්වා විහිදෙයි. අද එම ප‍්‍රදේශය වාණිජ පුරවරයක් මෙන්ම අතිශයින්ම ජනාකීර්ණ බවකින්ද යුක්ත වෙයි. මේ මාවතේ ඉදිරියට යන විට හමුවන මාවතක අංක 42 දරන ස්ථානයේ එකල පිහිටි සුවිසල් වලව්වකි. එය ප‍්‍රකටව තිබුණේ උඩුගහ වලව්ව ලෙසිනි.

දිවංගත අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ මීමුත්තකු වූ උඩුගහපත්තුවේ මුදලිතුමා විසින් සාදවන ලද එම වලව්ව විශාල ආලින්ද දෙකකින්ද දැවැන්ත පෞරාණික ගාම්භීරත්වයක්ද පෙන්නුම් කළාවූ ගෘහ නිර්මාණ සැලැස්මක් අනුව සාදවන ලද්දකි. සේවකයන්ට කාමරද අශ්ව කරත්ත තැබීමට හා අශ්වයන් බැඳීමට ගාල් පිහිටා තිබිණි. අක්කර 1 1/2 ක් පමණ විශාල වූ එහි පළතුරු උයනක්ද තිබී ඇති අතර කිතුල් ගස් කිහිපයක්ද තිබී ඇත. බද්දේගම ප‍්‍රදේශයෙන් මිනිසකු රැගෙනවිත් තෙලිජ්ජද ලබාගෙන ඇති අන්දම ද බණ්ඩාරනායක මහතාගේ සමකාලීන මිතුරකු වූ හෙන්රී අබේවික‍්‍රම සඳහන් කර ඇති බව ඒ පිළිබඳව සෝමදාස අබේවික‍්‍රමයන් ලියූ කෘතියේ සඳහන් වේ.

ඔක්ස්ෆර්ඞ් අධ්‍යාපනය ලබා මෙහි පැමිණි බණ්ඩාරනායක මහතා බැරිස්ටර්වරයකු ලෙස ගත කළ කුමාර ජීවිතයේදී කොළඹ පදිංචිව විවේකීව ගත කිරීමට ‘උඩුගහවලව්ව’ තෝරා ගත්තේය. අද නම් එවැනි විවේකී පරිසරයක් එම ප‍්‍රදේශයේ දක්නට නැත්තේය.

බුදුදහම වැළඳ ගත්තාට පසු උඩුගහවලව්වේදී මහා සංඝගත දක්‍ෂිණාවක්ද බණ්ඩාරනායක මහතා පිරිනමා තිබේ. සතියට වරක්වත් එහි ආගිය බණ්ඩාරනායක මහතා වලව්වට පැමිණ මුව කට සෝදා යුරෝපීය ඇඳුමකින් සැරසී රේස් පිට්ටනියට යෑමටද කටයුතු කර තිබේ. තවද මේ වලව්වට නුදුරින් පෝල් ඊ. පීරිස් මහතාගේ වලව්වත් ඇස්.පී. ඔබේසේකර මහතාගේ තවත් වලව්වක්ද එහි තිබී ඇති බව සඳහන් වේ.

ඇමැති වීමට පෙර දඩයමේ ගිය අගමැති!

උඩුගහවලව්ව ගැනද සඳහන් වූ මේ සමග එන අතීත කතාවද අපි නොඇසූ ප‍්‍රකට පුද්ගල චරිතයකි. අපූර්වවූත්, විචිත‍්‍රවූත්, ගුප්ත වූත් ජීවිත අත්දැකීම් අපට කියා පාන්නකි. එදා මුද්‍රිත මාධ්‍යයෙන් පළවූ එවන් බොහෝ දේ අනාගත පරම්පරාවට හා වර්තමානයට ලබාදෙන අපූර්වත්වය ඇතැම් විටක විචිත‍්‍රවත් වූ ගුප්ත ජීවිත අත්දැකීම් ද අප ඉදිරියේ තබන්නට සමත්වෙයි.

ශී‍්‍ර බුද්ධ වර්ෂ 2480 බිනර මස අට වැනිදා ප‍්‍රකාශිත ‘සරසවි සඳරැස’ හා ‘සිහළ සමය’ පුවත්පතේ මෙම අනාවරණය කර තිබුණේ එවක දේශපාලනයේ ඇමැතිවරයකු වශයෙන් සිටි දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා පිළිබඳවය. බණ්ඩාරනායක මහතා හමුවීමට ‘සරසවි සඳරැස’ හා ‘සිහළ සමය’ පුවත්පතේ නියෝජිතයකු ගොස් තිබේ. එවක අවිවාහක තනිකඩ ජීවිතයක් ගත කළ බණ්ඩාරනායක මහතා පිළිබඳව ඔහු ඇසූ දුටු අත්දැකීම් විස්තර කර තිබුණේ මෙපරිද්දෙනි. අප එම කරුණු පුවත්පතේ එකල පළවූ බස්වහරින්ම පළ කරනුයේ එකළ පුවත්පත් මාධ්‍යයේ තිබූ භාවිත කළ භාෂාවේ ස්වභාවය පිළිබඳවද ඉන් යම් අත්දැකීමක් ඔබට ලබාගත හැකි වන හෙයිනි.‘පළාත් පාලනය පිළිබඳ ඇමැතිවරයා වන සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතා නොයෙක් මත පලකළ බිරිඳක්, හිරිහැර කරදර කරන දරුවන් හෝ නොමැතිව කොළඹ උඩුගහවලව්වේ ගෘහමූලිකයා මෙන් වැජඹෙයි.

මේ තනිකඩ ජීවිතය සැපදායක හැටියට එතුමා සලකන්නේය. කොළඹ පරණ ගෙවල් අතුරෙහිලා උඩුගහවලව්ව ඉතා පරණය. ඕලන්ද කාලයේ පටන් එය පවතී. ඒ කාලයේදී මේ පළාත ධනවතුන්ගේ වාසභූමිය වූ නමුත් දැන් එය වෙළඳුන්ගෙනුත් දුප්පත් ජනයාගෙනුත් ආකර්ෂණය වන ස්ථානයකි.

ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගේ මෙන්ම මෙතුමාගේ ද ජන්ම භූමිය සියනෑ කෝරළය වේ. ස්වකීය පළාතෙහි මෙන්ම තවත් පළාත්වල දුප්පත් ජනතාවට පහසුවෙන් පැමිණිය හැකි වූද තමන්ගේ සැප පහසුවද අදාළ වූ බැවින් ද බණ්ඩාරනායක මහතා මේ ගෙයි විසීමට කැමති වේ. ඉතා උදෑසන පටන් දුප්පත් ජනයා මෙතුමා හමුවීමට වැළ නොකැඞී පැමිණේ. කොළඹ කුරුඳුවත්තේ මහ මන්දිරයකට වඩා වෙනස් පරණ මෝස්තරයක පිහිටි මේ ගොඩනැඟිල්ලේ මේ මහතා අතිශය සන්තෝෂයෙන් වාසය කෙරේ. දිගුපුළින් වැඩුණු වෘක්‍ෂ ගහනයෙන් සුපෝෂිත වූ විශාල උයනක් මෙහි තිබේ. මෙයින් ලැබෙන සිසිල් සෙවණ නිසා මැඳුරක සිට සේවය කිරීමට විටෙක විවේක සුවය ද පී‍්‍රතිය ද සැපයෙකි. මේ පරණ මන්දිරය සියක් වසරකට පෙර පැවැතියේ යම් සේද තවමත් එසේය. විශාල වූ වලව්වේ එක් කාමරයක් නිදන්නටත් තවත් එකක් වැඩ කරන්නටත් මේ මහතා සූදානම් කරගෙන සිටී. නිදන්නට තැනකුත් ඉඳගන්නට තැනකුත් ඇත්නම් මේ මහතාට බඩු බාහිරාදියෙහි ලක්‍ෂණයක් අවශ්‍ය නොවේ. මෙතුමාගේ විශේෂ විනෝදය පොත්පත් කියවීමය. ජේම්ස් ද අල්විස් මහතාගේ හා සර් කි‍්‍රස්ටෝපර් උබේසේකර මහතාගේත් පුස්තකාලය බණ්ඩාරනායක මහතාට හිමිවී තිබේ. විවිධාකාරවූ ශාස්ත‍්‍ර විෂයන් පිළිබඳව වූ පොත් රැස්කර තිබෙන අල්මාරි 80 කි. බණ්ඩාරනායක මහතා දැන් ඒ පොත්වල නාම ලේඛනයක් සකසාගෙන යයි. ගෙට ඇතුල් වූ තැනම ඇත්තේ ඇමැති ගුහාවය. ‘ගුහාවක්’ යැයි කියනුවේ එය ‘ගුහාවක’ ස්වරූපයෙන්ම දක්නට ඇති හෙයිනි. එම ගුහාවේ පුටුවක බණ්ඩාරනායක මහතා වාඩිවී සිටී. පයිප්පයක් ද උරයි. මීහරකකුගේ හිසක් ද ඇතකුගේ හොඬක් ද ගුහාවේ දක්නට වෙති. ඒ හැර ටෙනිස් කී‍්‍රඩාවෙහි දක්‍ෂතාව නිසා එංගලන්තයේදී හා ලංකාවේදී දිනාගත් රිදී කුසලාන ද වෙති.

ඇමැති වීමට පෙර දඩයමේ ගිය අගමැති!

දඩයම් කිරීමෙහි නිර්භීත ගති ඇති මේ මහතා විසින් මෙම මීහරකා මරන ලද්දේ යාල කැලයේදීය. ඌ දඩයක්කාරයා එළවන්නට ද නැතහොත් කැලේ දුවන්නටදැයි සිතමින් සිටින අතර බණ්ඩාරනායක මහතා දණ බිම ගසා උගේ බෙල්ල පසාරු කරගෙන යන්නට වෙඩි තැබුවේය. ඒ මී හරකාගේ ‘හිස’ බිත්තියේ ඉහළ සවිර තිබෙනු දැකිය හැකිය. ඒ මහතා වෙඩි තැබූ හස්තියා පලටුපානේ ගොවිතැන් පාලූ කරමින් හා මිනිසුන් බියට පත්කළ වල් අලියෙකි. රුපියල් 10 ක් ගෙවා බලපත‍්‍රයක් ගෙන කැලයට ගොස් ඒ මහතා ඌට වෙඩි තැබීය. මෙතුමා දැන් දඩයමේ යෙදෙන්නේ නැත. එම අලියාගේ හොඬ වේලාගෙන මේ නිවසේ අලංකාර ලෙස තිබෙනු පෙනෙයි. ඇමැති වීමට පෙර වනයේ අවිද එවන් නිර්භීතකම්වල යෙදුණ ද දැන් දඩයමේ නොයන ඒ මහතා දැන් එලෙස යන්නේ නම් තුවක්කුව වෙනුවට ඡායාරූප යන්ත‍්‍රයක් ගෙන යනු නියතය.

සාහිත්‍ය, කාව්‍ය, නවකතා, ආර්ථික ශාස්ත‍්‍රය, දේශපාලනය පිළිබඳව යනාදී කෙරුණු පිළිබඳ කෙරුණු ග‍්‍රන්ථ මේ මහතාට තිබේ. ? කෑමෙන් පසු නින්දට ගොස් බණ්ඩාරනායක මහතා පොත් කියවයි. පොත් කියවීමෙන් මෙසේ විනෝද සුවයේ යෙදී නින්දට යයි. පාන්දර 6.00 ට පමණ අවදිවන හෙතෙම තමා හමුවීමට පැමිණ සිටින්නා වූ නොයෙක් තරාතිරමේ ජනීජනයා සමග කතාබහේ යෙදේ. ඊට පසු උදේ ආහාර වශයෙන් කැඳ ද බේකන් (ලූණු ඌරු මස්) හා බිත්තර ද දොඩම් ද ඇපැල් හෝ ගස් ලබු ද අනුභව කරයි. ඉන් ඉක්බිතිව මන්ත‍්‍රණ සභාව පවතින දවසක් නොමැති වෙයි නම් කන්තෝරුවට යන්නේය. තමාට අයිති යම් යම් වැඩ නිමවා තේ කෝප්පයක් බීමට ගෙදර පැමිණේ. ගෙදර අවුත් මිත‍්‍රයන් හා අල්ලාප සල්ලාප යෙදීමෙන් හෝ ඕරියන්ට් ක්ලබ් සමාජයට ගොස් ටැනිස් කී‍්‍රඩා කරමින් සවස් කාලය ගත කරයි. සවස් කාලයේ ආණ්ඩුවේ වැඩවල යෙදීමට හෝ යම් යම් අය හමුවීමට සිදුවන බැවින් දැන් දැන් ටැනිස් කී‍්‍රඩාවෙහි නිරත වන්නට ද ලැබෙන්නේ කලාතුරකින් බව බණ්ඩාරනායක මහතා කියන්නේය. රාති‍්‍ර භෝජනය රාති‍්‍ර 8.00 ට ගත් පසුවද මඳ වේලාවක් ගත කරනුයේ ද පොත් කියවීමටය.

බාල කාලයේ මහත් සැප සම්පත් තිබුණ නමුත් ඒ සියල්ල අතහැර දමා ඉතා චාම් ලෙසද අද ජීවත් වන මේ මහතා තමාට හුරුපුරුදු සැප අත්හැරීම ගැන මොහොතක්වත් කනගාටු නොවෙයි. පොදු ජනයාගේ යහපත පිණිසම මෙහෙ කරන මේ මහතා තමා දැනට යම්කිසි දියුණුවක් ලබා සිටීනම් ඊට හේතුව පරහිතභාවය යැයි සලකන්නේය. සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතාගේ පුත‍්‍රයකු කෙරෙහි මේ ගුණය පිහිටීම විශිෂ්ට ලක්‍ෂණයකි. නොයෙක් පළාත්වලින් එන දුප්පත් ජනයා හමුවීමට මැලිනොවන මේ මහතා ඕනෑම හැකි වෙලාවක කන්තෝරු කාමරයේදී ඔවුන් හා කතාබස් කරති. බොහෝවිට දිළිඳු ජනයා සමග හවුලේ තේ පානය කරනුද දක්නට ලැබේ. තමන්ගේ කටයුතුවලට විරුද්ධවීමට භාර්යාවක් හෝ වෙනත් කිසිවකුද නැති බැවින් කැමති පරිදි ජනයාට සංග‍්‍රහ කිරීමට නිදහස ද තිබේ. ස්ව දේශපාලන කොමසාරිස් කෙනකු බඳු බිරිඳක් පත්වන තුරු සර් සොලමන් ඩයස් මහතගේ මේ එකම පුතණුවෝ පොතපත කියවීමෙන් හා දුම් පයිප්පයක් උරමින් ද නිදහස් සැපත භුක්ති විඳිති.

ඇමැති වීමට පෙර දඩයමේ ගිය අගමැති!
තරුණ වියේදී

බණ්ඩාරනායක මහතා ලඝු ආහාර ගන්නෙකි. ආහාරය ලඝු වූ තරමට තමන්ට හොඳට මෙහෙ කරන්නට හැකි බව මෙතුමා දනී. මෙය වනාහි ඒ මහතාගේ මිත‍්‍ර සර් ඇල්ඩෝකැස්ටලානි මහතාගෙන් ඉගෙන ගත් ගුරුකමකි. කැස්ටලානි මහතා ද දවසකට පැය 18 ක් පමණ මෙහෙකරන නමුත් ආහාර අනුභව කරනුයේ දෙවේලක් පමණකැයි ද කියති. නැටුම් ගැයුම් ද සිනමා දර්ශනද විවේක ලැබෙන විට නැරඹීමට ද මේ මහතා අමතක නොකරන්නේය. කලිසම් කෝට් ඇඳීම කළ ද දැන් දැන් ඒ මහතා පි‍්‍රය කරනුයේ අපේ රෙද්ද බැනියම ද අඳින්නටය. ඒ සඳහා තමන්ගේ ගම් පළාතේ වියා ගන්නා ලද රෙදි ඇඳීමට වෙහෙසක් ගනී. මන්ත‍්‍රණ සභාව හැර පි‍්‍රය සම්භාෂණවලට යන විට බණ්ඩාරනායක මහතා කලිසම් කෝට් අඳී. උඩුගහවලව්වේ වෙසෙන සුරතල් බලූ පැටවුන් දෙදෙනෙක් මෙතුමාගේ සුරතල් සහචරයෝය. මොවුන් දෙදෙනාගෙන් ‘ටින්කෝ’ නමැති බලූ පැටවාට ඇමැතිවරයා අතිශයින් පි‍්‍රය කරයි. මීට අවුරුද්දකට පෙර පවත්වන ලද සුනඛ ප‍්‍රදර්ශනයේදී එම බලූ පැටවා තෑග්ගක් ද දිනා ගත්තේය. බණ්ඩාරනායක මහතා ඉතා අගය කොට සලකන කරුණු දෙකකි. එකක් නම් ස්වභාවධර්මය අනුසාරයෙන් සැලසෙන පී‍්‍රතිය භුක්ති විඳීම පිණිස ප‍්‍රත්‍යන්නාශය ලැබීමය. අනික තමන් සේවය කරන ජනයාගේ සුවදුක් විමසීමය.

‘ගුහාවක් තුළට වැදී පොත්පත් කියවන ඇමැතිවරයා’ යන ප‍්‍රධාන සිරස්තලයෙන් හා ‘කුමාර ලීලාවෙන් කල් යැවිය හැකි තරුණ බණ්ඩාරනායක මහතා හිමිදිරියේ නින්දෙන් අවදිව දුප්පතුන්ගේ සුවදුක් විචාරයි’ යන අනුසිරස්තලයෙන් ද යුක්තව පළවී තිබිණි.

බණ්ඩාරනායක අගමැතිතුමන්ගේ පියාණන් වූ දොන් සලමොන් ඩයස් අබේවික‍්‍රම ජයතිලක සෙනෙවිරත්න බණ්ඩාරනායක මහ මුදලිතුමා උසස් ඉංගී‍්‍රසි රදළ පිළිවෙත්වලට ද ගරු කළ ඉංගී‍්‍රසි ආණ්ඩුවේ විශ්වාසය දිනාගත් ඔවුනගේ නම්බු නාම ආදිය ද උපරිමයෙන් හිමිකර ගත්තෙකි. ඔහුගේ ධන කුවේර රදළ ජීවිතය තුළ දෛනිකව අසුපිට යාමද, අශ්ව රේස් තරග වලට
සහභාගිවීම ද පි‍්‍රයකළ අතර ඔහු තම පුතණුවන්ට එම කටයුතු පුරුදු පුහුණු කළේය. අලි, කොටි, සිංහ ආදී සතුන් මෙන්ම මුවන්, සාවුන් හා කුරුල්ලන්ට ඉඩ දෙමින් හොරගොල්ල වත්තේ සත්ව උද්‍යානයක් ද ඇති කළේය. ඔහු දඩ කෙළියටත් පි‍්‍රයකළ නිසාම ඔහුගේ පුතණුවන් ද එම කෙළිලොල් පුරුදු වලට යොමුවන්නට ඇත.

අතීතයේ දඩයමේ ගිය රජවරු බුදු දහම වැළඳගෙන ධාර්මික රජවරු වී අප රට දහමින්, සහලින්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කළේය. බණ්ඩාරනායක අගමැතිතුමන් තනිකඩ කෙළිලොල් ජීවිතයට තිත තබා අප රටටත්, බුදු දහමටත්, අපරිමිත මෙහෙවරක් ඉටු කළේය. සිරිමාවෝ මැතිනිය සමග වූ විවාහය ද ඔහුගේ ජීවිතය එලෙස නව දිශානතියකට යොමුවන්නට බෙහෙවින්ම හේතුවන්නට ඇත්තේය.

නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment