නව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේදී පිහිටුවීමට නියමිත සිය රජයේ නිලධාරීන් පත්කිරීම අරඹමින් ධවල මන්දිරයේ කාර්යමණ්ඩල ප්‍රධානියා වශයෙන් සිය ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානියා වූ සුසී (සුසාන් ) සමරල් වයිල්ස් පත්කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 67 හැවිරිදි ලස්සන එහෙත් දැඩි යන අර්ථය ගෙන දෙන ‘අයිස් මේඩ්න්’ යන කෙටි නමකින් හැඳින්වෙන සුසී වයිල්ස් ඇමෙරිකානු ඉතිහාසයේ ධවල මන්දිරයේ කාර්යමණ්ඩල ප්‍රධානි තනතුරට පත් ප්‍රථම කාන්තාව බවට මේ අනුව පත්ව සිටින්නීය. ධවල මන්දිරයේ කාර්යමණ්ඩල ප්‍රධානි තනතුර එහි ඇති ඡන්දයෙන් තේරී පත් නොවන ප්‍රධානම තනතුර වන අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රථම වරට ජනාධිපති ධුරය දැරූ 2016-2020 කාලසීමාවේ ඔහුට කාර්ය මණ්ඩල ප්‍රධානින් සිවුදෙනකුගේ සේවය ලබාගැනීමට සිදුව තිබිණි.
නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 වසරේ පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වීමෙන් පසු නැවත ජනාධිපති ධුරයට පත් වීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම හා සැලසුම් සකස් කළ ප්‍රධාන නියමුවරිය වශයෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් හඳුන්වා ඇත්තේ සුසී වයිල්ස්ය. මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පැවැති සිය ආධාරකරුවන් ඇමැතීමේ රැලියේ ” ට්‍රම්ප් ජනාධිපතිවරයා සුසී වයිල්ස්ව වේදිකාවට කැඳවමින් ඇය සිය ජයග්‍රහණයේ නියමුවරිය වශයෙන් ලෝකයට හඳුන්වාදී තිබිණි. තිරය පිටුපස සිටිමින් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර ඇති සුසී සාම්ප්‍රදායික දේශපාලන පසුබිමක් ඇතිව හැඳුණු වැඩුණු අයකු වන අතර ඇයගේ පියා වනුයේ හිටපු ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩකයකු මෙන්ම නිවේදකයකු වන පැට් සමරල්ය. සුසී ප්‍රථම වරට ඇමෙරිකානු ජනාධිපතිවරයකුගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වූයේ 80 දශකයේ ” හිටපු රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරයකු වන රොනල්ඩ් රේගන්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ කාර්යයන් සැලසුම් කිරීමේ ශිල්පිනියක වශයෙනි. අනතුරුව ඇය විසින් රිපබ්ලිකන් පක්ෂයේ කොංග්රස් මණ්ඩල සභිකයන් ගණනාවකට සිය මැතිවරණයන් ජයග්‍රගණය කිරීම සඳහා සහය වී ඇති අතර ඇය වර්තමානයේ ඇමෙරිකාවේ සිටින අත්දැකීම් බහුල දේශපාලන ප්රතිපත්තීන් හෝ ක්‍රියාකාරකම් සැලසුම් කරන කුසලතා පුර්ණ විශේෂඥවරියකසේ සැලකේ. ධවල මන්දිරයේ නව කාර්යමණ්ඩල ප්‍රධානියා වන සුසීගේ කාර්යභාරය වනුයේ නව ජනාධිපති ට්‍රම්ප්හට දෛනිකව ප්රතිපත්තීන් හා මෙහෙයුම් සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමයි. ජනාධිපති ට්‍රම්ප් විසින් සිය මැතිවරණ ජයග්රහණයෙන් අනතුරුව සුසීව හඳුන්වා ඇත්තේ ඇය තාමගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය පුරා සිටි දැඩි, දක්ෂ,නිර්මාණශීලි මෙන්ම ගෝලීය වශයෙන් ඇගයුමට හා ගෞරවාදරයට පාත්‍ර වූ අයකු ලෙසය.
සංස්කරණය – ඒමන්ති මාරඹේ