දේවානන්ද ඊළඟ පිම්මට සූදානම්

එජාප නියෝජ්‍ය නායකයාගේ පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් අදහස් දක්වයි

මාලිමාව හඳුනාගත යුතු සැබෑ අභියෝගය

විධායක ජනාධිපති බලයෙන් පහකළ ‘අරගලය’ ශ්‍රී ලංකා දේශපාලනයේ කිසිදා නොමැකෙන සංධිස්ථානයක් බව අමුතුවෙන් කිව යුතු නැත. මාර්තු 31 – ජුලි 13, 2022 අතර ක්‍රියාත්මක කළ ‘අරගලය’ අප ‘තරු පහේ’ ප්‍රජාතන්ත්‍රවාදයට යටපත් කළ නොහැකි තනි දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට අයිති නැති සැබෑ ජනතා බලයක් හඳුන්වා දුන්නේය. ‘අරගලයට’ ලබා දුන් ප්‍රබල ඇමෙරිකානු තල්ලුව අමතක කර වර්තමාන තත්ත්වය සාකච්ඡා කළ නොහැක. නමුත් එම බාහිර බලපෑම අවධාරණය කරමින් ‘අරගලය’

ගොඩනැඟූ ජනතා බලය අවතක්සේරු කිරීම මොනයම්ම තත්ත්වයක් යටතේ වුවත් සුදුසු නැත. ‘අරගලයට’ දායක වූ ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජනබලවේගය එම ව්‍යාපෘතියේ ප්‍රධානතම ප්‍රතිලාභියාය. ‘අරගලය’ නොවන්නට අනුර කුමාර දිසානායක ජනපති වන්නේ නැත. මෙවර ජනාධිපතිවරණයේදී මාලිමා අපේක්ෂක දිසානායක ඡන්ද ලක්ෂ 4 සීමාවේ සිට (2019 ජනාධිපතිවරණය අනුව) ඡන්ද ලක්ෂ 57 (මිලියන 5.7) සීමාව පසුකරන්නේ සැබෑ වෙනසක් බලාපොරොත්තු වූ ‘අරගලයට’ ආදරය කළ ලක්ෂ 50 කට අධික ඡන්ද දායකයන් නිසාය. ඔවුන් පාක්ෂිකයන් නොවේ. මාලිමා ආණ්ඩුව ඇත්ත වශයෙන්ම බිය වියයුතු විපක්ෂය එම කණ්ඩායමයි. මාලිමා ආණ්ඩුවේ ශක්තිය මෙන්ම පැවැත්ම තීරණය කරන ප්‍රධානතම සාධකය එයයි.

ඔක්තෝබර් 26 දින පැවැත්වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දයේ ප්‍රතිපලය විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන පක්ෂවලට ළඟ එන මහ මැතිවරණය සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් ඇති කළේය. එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධුර 30, 15 බැගින් ජාතික ජනබලවේගය (ජාජබ) සහ විපක්ෂය (ලියාපදිංචි පක්ෂ 5 ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක්) අතර බෙදීම සැප්තැම්බර් 21 වන දින පැවැත්වූ ජනාධිපතිවරණයේදී ජාජබ නායක අනුර කුමාර දිසානායක ලැබූ ජනතා ප්‍රසාදය ඉතාමත් කෙටි කාලයක් තුළදී පිරිහීමක් ලෙස විපක්ෂය අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂය (එජාප) පක්ෂයක් ලෙස හෝ අවම වශයෙන් වෙනත් ලාංඡනයකින් එම ප්‍රාදේශීය සභා ඡන්දයට තරග නොකිරීම දැඩි මතභේදාත්මක තීරණයකි. අනුවණකමකි.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් හිටපු මන්ත්‍රීවරයකු වූ කේ. ඩී. ලාල් කාන්ත ප්‍රකාශ කළේ මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමයක් යටතේ කොට්ඨාස මට්ටමින් ජාජබ ට සහ සමගි ජනබලවේගයට (සජබ) පිළිවෙළින් ආසන 15 සහ 02 බැගින් ලැබුණත් සමානුපාතික නියෝජන ක්‍රමයටද විපක්ෂයේ 13 දෙනකු තෝරා ගැනීම හේතුවෙන් සමස්ත මන්ත්‍රී ධුර සංඛ්‍යාව 15 බැගින් බෙදුන බවයි. මෙම මැතිවරණ ක්‍රමය විකෘති බව ජාජබ ප්‍රබලයා පැවසුවේය.

කෙසේ වෙතත් තව සති දෙකකට වඩා අඩු කාලයක් තුළදී භූමියේ සැබෑ තත්ත්වය තහවුරු කර ගැනීමට ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට හැකි වනු ඇත. මහ මැතිවරණයේදී ජයග්‍රහණය (මැති සබයේ සුළුතර බලය නැතහොත් සමස්ත ආසන 225 න් 113 ක්) ජාජබ ට හිමිවීම පිළිබඳව කිසිදු සැකයක් නැත. නමුත් ආණ්ඩු පක්ෂය මුහුණ දෙන අභියෝගය තමන්ට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව සුළුතර බහුතරය වන 113 සිට හැකි පමණ වැඩිකර ගැනීමයි. ජාජබ ජනාධිපතිවරණ වේදිකාවේදී දුන් පොරොන්දු ඉටුකිරීමට සුළුතර ආණ්ඩුවකට නොහැකිය.

නොවැම්බර් 21 රැස්වීමට නියමිත නව පාර්ලිමේන්තුව තම පක්ෂයේ සාමාජිකයන්ගෙන් පිරවීමට දිසානායක ජනාධිපතිවරයා දැඩි බලපෑමක් ඡන්ද දායකයාට එල්ල කරන්නේ උපරිම මන්ත්‍රී ධුර සංඛාවක් ලබා ගැනීමටය. තමන්ට අවශ්‍ය ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශක්තිමත්ම කණ්ඩායමක් බව ජනාධිපතිවරයා මහ මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන ඉල්ලීම කීවත් වරදක් නැත.

පසුගිය සතියේ (ඔක්තෝබර් 27, 2024) “ජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුවට ‘මල්ටි බැරල්’ ප්‍රහාරයක්” යන සිරස්තලය යටතේ ආණ්ඩු පක්ෂයේ එම උත්සාහය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එම ලිපියේ සඳහන් කළ පරිදි අනුර කුමාර දිසානායක පළමු වරට පාර්ලිමේන්තුවට ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) හරහා පත්වූයේ වසර 2004 නොව වසර 2000 දීය. බොහෝ කලක සිට ‘ඉරිදා දිවයින’ පාඨකයකු වන මහේෂ් යාපා එම වරදට මෙම ලියුම්කරුගේ අවධානය යොමු කළේය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ජනාධිපතිවරිය ලෙස කටයුතු කළ සමයේ 2000 ඔක්තෝම්බර් 10 වන දින පැවැත්වූ එම මහ මැතිවරණයේදී ජවිපෙට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් සමග ආසන 10 ක් හිමිවිය.

මෙවර මහ මැතිවරණයේදී සමස්ත විපක්ෂයට කොපමණ ආසන සංඛ්‍යාවක් ලබාගත හැකිද? මහ මැතිවරණය ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵලය හරහා දැකිය හැකිද? සමස්ත විපක්ෂය ලබා ගනු ලබන ආසන ප්‍රමාණයක් වැඩි කොටස ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස නායකත්වය දෙන සජබට හැකිවෙනු ඇත. ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් නැත. නමුත් එම ප්‍රමාණය අවසන් වරට 2020 අගෝස්තු පැවැත්වූ මහ මැතිවරණයේදී සජබ ලබාගත් ආසන 54 ට (ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07 ක් සමග) වඩා කිසිදු සැකයකින් තොරව අඩුවෙනු ඇත. ජනාධිපතිවරණයේදී සජබට ඡන්ද ලක්ෂ 43ක් හිමිවිය. මහ මැතිවරණයේදී එම ඡන්ද ප්‍රමාණය රැක ගැනීම සුළුපටු අභියෝගයක් නොවේ.

ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී ද දෙවන ස්ථානයට තරගය සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන කණ්ඩායම් දෙක අතරය. එය මාරාන්තික සටනකි. තවදුරටත් ‘අලියා’ ලාංඡනය හිමි එජාපය ජනතාවගෙන් ඈත් කරන ව්‍යායාමයකි.

ඊට ප්‍රධාන හේතුව එජාප නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ඒකාබද්ධ එජාප -ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) කණ්ඩායමක් ‘ගෑස් සිලින්ඩරය’ ලාංඡනය හිමි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග කිරීමයි. ‘ගෑස් සිලින්ඩරය’ මහ මැතිවරණයකට මීට පෙර තරග කර නැත. නමුත් එම පක්ෂය ‘හංසයා’ ලාංඡනය යටතේ 2010 (ජෙනරාල් සරත් ෆොන්සේකා), 2015 (මෛත්‍රිපාල සිරිසේන) සහ 2019 (සජිත් ප්‍රේමදාස) ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූයේය. ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 22 ලබාගත් එම කණ්ඩායමට පළමුවරට තරග කරන පක්ෂයක් ලෙස යම් ආසන ප්‍රමාණයක් හිමිවෙනු ඇත. යම් පක්ෂයක ලාංඡනය වෙනස් කිරීම බරපතළ වරදකි. ලැබෙන නැතහොත් ලබාගත හැකි දේශපාලන වාසිය කෙටිකාලීනය.

යහපාලන සමයේ 2018 පෙබරවාරි පැවැත්වූ පළාත් පාලන ඡන්දයට පළමුවරට තරග කළ පොහොට්ටු පක්ෂය ඉහළින්ම ජයග්‍රහණය කළේය. ඊට වසර එකහමාරකට පසුව පැවැත්වූ ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 69 ලබා ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගත් එම පක්ෂය 2020 අගෝස්තුවේදී පැවැත් වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී 2/3 කට ආසන්න බලයක් ලබා ගත්තේය. ඊට වසර හතරකට පසුව ඒ පක්ෂය දේශපාලන ඉනිමගේ පහළටම වැටී ඇත.

අවසන් මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17 ක් සමග ආසන 145 ලබා ගත් පොහොට්ටු පක්ෂය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම තේරුමක් නැත. ජනාධිපතිවරණයේදී යන්තම් ඡන්ද 340,000 ලබාගත් එම පක්ෂයට මහ මැතිවරණය සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තබාගත නොහැක. එම පක්ෂයේ අනාගත නායක නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවේ ඉහළින්ම ස්ථානගතවීම අවධාරණය කරන්නේ පොහොට්ටු පක්ෂයට හිමිවීමට නියමිත ලජ්ජාසහගත පරාජයයි.

අවසන් මහ මැතිවරණයේදී වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් (ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සමග ආසන 10) උතුරු සහ නැගෙනහිර පළාත්වල ලබා ගත් ද්‍රවිඩ ජාතික සන්ධානයට මෙවර දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවීම නියතය.

අගෝස්තු 2020 පැවැත්වූ මහ මැතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ පක්ෂ 5 ක් අතරේ ආසන 16 ක් බෙදී ගිය අතර එයින් 02 ක් ඊ.පී.ඩී.පී. පක්ෂයට හිමිවිය. එම පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මෑතකදී ප්‍රකාශ කළේ තමන් දිසානායක ජනාධිපතිවරයා මුණගැසුන බවත් නව පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයට සහයෝගය දෙන බවත්ය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සිට සෑම ජනාධිපතිවරයකු යටතේම අමාත්‍ය ධුර දරා ඇති දේවානන්දා නැවතත් බලාපොරොත්තු වන්නේ අමාත්‍ය ධුරයක්ද? දේවානන්ද අමාත්‍යවරයා මෙවර තම පක්ෂයට පාර්ලිමේන්තු කණ්ඩායම සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිකර ගැනීමට අවස්ථාව තිබෙන බවට ප්‍රකාශ කර ඇති නමුත් උතුරු දේශපාලන භූමියේ තත්ත්වය ඊ.පී.ඩී.පී. පක්ෂයට කිසිසේත්ම වාසිදායක නැත. අවසන් පාර්මේන්තුවේ එම පක්ෂයට තිබූ ආසන දෙක එකට අඩුවීමට බොහෝ අවස්ථාව ඇත.

දිසානායක ජනාධිපතිවරයා මහ මැතිවරණයෙන් පසුව ද්‍රවිඩ පක්ෂ සමග යම්කිසි එකඟතාවයකට පැමිණීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් කිහිප වරක් ඉඟි කර ඇත. හිටපු අමාත්‍ය දේවානන්දට අමතරව ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ද ජනාධිපතිවරයා හමුවී ඇත. ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂක පී. අරියන්තිරන් ට සහයෝගය පල කළ ශ්‍රීධරන් එම සන්ධානයේ දැඩි බෙදීමක් ඇති කළේය. නමුත් දකුණේ මෙන්ම උතුරු දේශපාලන භූමියේ වර්ධනය වෙමින් පවතින අවිනිශ්චිත තාවය තුළ ශ්‍රීධරන් ට නැවත ද්‍රවිඩ ජාතික සන්ධානය සමග එක්වීමට සිදුවී ඇත. යාපනය දිස්ත්‍රික්කයෙන් මෙවර ජනාධිපතිවරණයට තරග කරන ශ්‍රීධරන් ජනාධිපතිවරයා මුණ ගැසුනේ පක්ෂයේ අවසරය ඇතුවද?

එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහ මැතිවරණයෙන් පසුව තම පක්ෂය සහ සජබ අතර ඇතිකර ගත හැකි දේශපාලන අවබෝධයක් පිළිබඳව මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති වික්‍රමසිංහගේ මල් පාරේ දේශපාලන කාර්යාලයේ ඔක්තෝම්බර් 28 දින පැවති එම මාධ්‍ය හමුවේදී යහපාලන සමයේ (2015-2019) නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් පලකළ දේශපාලනිකව වැදගත් අදහස් මුද්‍රිත සහ රූපවාහිනි නාලිකාවල අවධානයට යොමු වූයේ නැත. මෙම ලියුම්කරුට එම මාධ්‍ය හමුව ආවරණය කිරීමට අවස්ථාව ලැබුණ අතර එහිදී අවධානයට යොමු කළ කරුණු කාරණා එජාපයේ ඉරණම තීරණය කරනු ඇත.

මෙවර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කරන විජේවර්ධන අවධාරණය කළේ පක්ෂයක් ලෙස තව වසර 5 කින් පැවැත්වීමට නියමිත ඊළඟ මහ මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දීමට ඇති අවශ්‍යතාවයයි. හිටපු මන්ත්‍රීවරයා පක්ෂ ප්‍රතිසංවිධානය, පක්ෂ අනන්‍යතාවය සහ ජනාධිපතිවරණයට පෙර එජාපය සහ සජබ අතර ගිවිසුම්ගත වීම අසාර්ථක වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු අපට මතක් කළේ 2015 මහ මැතිවරණයේදී ආසන 106 ක් දිනාගත් එජාපය 2020 දී ලබා ගත්තේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් බවය.

ජනාධිපතිවරණයට පෙර දෙපාර්ශ්වයට එකඟතාවයකට පැමිණීමට නොහැකි වූයේ මූලිකව තරගයට ඉදිරිපත් කළ යුත්තේ කවුරුද, කුමන පක්ෂයෙන්ද යන කරුණු මත බව හිටපු මන්ත්‍රීවරයා පැවසීය. සජබ යෝජනා කළේ ජනාධිපතිවරණයට ‘දුරකථනය’ ලාංඡනය යටතේ සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කිරීමටත් මහ මැතිවරණයේදී පක්ෂයේ අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස රනිල් වික්‍රමසිංහ නම් කිරීමටය. එජාපය එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බව ඔහු පැවසීය.

අවසානයේ වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයකු ලෙස දැඩි දේශපාලන චෝදනාවලට ලක්වී සිටි පොහොට්ටු කණ්ඩායම සමග ජනාධිපතිවරණයට මුහුණ දුන්නේය. එම අවස්ථාවේදී මාධ්‍ය එම තත්ත්වය තුළ ජනාධිපති ධුරය අනුර කුමාර දිසානායකට හිමිවූ ආකාරය පෙන්වා දුන්නේය.

★ මහ මැතිවරණයට පෙර දෙපාර්ශ්වය අතර එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වූ අතර විජේවර්ධන විශ්වාසය පල කළේ මහ මැතිවරණයෙන් පසුව ශක්තිමත් විපක්ෂයක් ගොඩනැඟීමට පාර්ලිමේන්තු කණ්ඩායම් දෙක සාමුහිකව කටයුතු කරන වැඩපිළිවෙළකට එකතු විය හැකි බවයි.

★ මහ මැතිවරණයෙන් පසුව පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් විය යුතු බවට අවධාරණය කළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදියකු එජාප නියෝජ්‍ය නායකයාට නායකත්වය භාර ගැනීමට තිබෙන ඔහුට තිබෙන සුදුසුකම සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස තමන් වසර 20 ක අත්දැකීම් තිබෙන මහජන නියෝජිතයකු බවත් නායකත්වය ඥාතීත්වය මත තීරණ නොවන බවත් පැවසීය.

★ පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය මහ මැතිවරණයෙන් පසුව සමස්ත ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය තුළ තීන්දු කරනු ඇති බවද ප්‍රකාශ කළේය.

★ ජාජබ ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නිවැරදි නායකත්වය තුළ ආර්ථික අර්බුදය ජය ගැනීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග නැවත හැරවීමට අවස්ථාවක් තිබෙන අතර ලබන වසරේ රටේ නායකත්වය නැවත එතුමාට භාර ගැනීමට අවස්ථාවක් උදවිය හැකි බව ද ප්‍රකාශ කළේය. රටේ සහ පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන්ද අදහස් පල කළේය.

★ වසර 10 පමණ කාලයක් එජාපය සමග දේශපාලනය කළ (2009-2019) ජවිපෙ කුමාරතුංග ජනාධිපතිනිය සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කළ දේශපාලන ගනුදෙනුවට අවධානය යොමුකළ එතුමා පක්ෂ ලාංඡන මාරු කිරීම සම්බන්ධයෙන් ද තම මතය පල කළේය. ඔහු අවධාරණය කළේ තමන්ගේ බලාපොරොත්තුව නැවත ‘අලියා’ කරළියට ගෙන ඒම බවයි. (ජවිපෙ ‘තම ලාංඡනය වූ ‘සීනුව’ පසෙකලා ‘මාලිමාව’ සරණ යෑම පවා එක්තරා ආකාරයකට දැඩි අවදානමක් ගැනීමකි. මහ මැතිවරණයේ ජනතා තීන්දුව සහ ආණ්ඩු පක්ෂය 2025 වසර තුළ ක්‍රියාකරන ආකාරය අනුව මාලිමාවේ ඉරණම තීන්දු වෙනු ඇත. මහ මැතිවරණයෙන් පසුව කෙටි කාලයක් තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත බව කිසිදු පක්ෂයකට අමතක කළ නොහැක)

තවදුරටත් පක්ෂයක් ලෙස එජාපයට පොහොට්ටු කණ්ඩායමක් සමග දේශපාලනය කළ නොහැක. එජාපය නැවත ගොඩනැඟීමේ දැඩි අවශ්‍යතාවයක් තිබේ. මහ මැතිවරණ ව්‍යාපාරය තුළ මෑතකදී අවධානය දිනාගත් පක්ෂ කටයුතු කරන ආකාරය අනුව ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්පූර්ණයෙන්ම වැරදි පාරක බව කිව යුතුමය.

නාම යෝජනා භාර දී එසැනින් තම නායකයාට එරෙහිව ප්‍රකාශ කරති. ඊට දිය හැකි උදාහරණය ගම්පහ දිස්ත්‍රික්කයේ සජබ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමයි. රංජන් රාමනායකගේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් කොළඹට නාම යෝජනා දුන් ප්‍රසන්න අධිකාරී එම පක්ෂයට, එහි නායකත්වයට සහ එම ව්‍යායාමයේ පිටුපස සිටින ව්‍යාපාරික බලවේගය සම්බන්ධයෙන් හදිසියේ කළ ප්‍රකාශය නැවත නැවතත් අවධාරණය කරන්නේ දේශපාලන අස්ථාවර භාවයයි. කිහිප දෙනකු එකතු වී විශේෂයෙන්ම සමාජ මාධ්‍ය මෙහෙයුමක් තුළ ඉදිරිපත් කරන වැඩපිළිවෙළක තිබෙන අවිනිශ්චිතභාවයයි.

සජබ දේශපාලනය සම්බන්ධයෙන් හිටපු එජාප මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ අරගල ක්‍රියාකාරිනි දමිතා අබේරත්න සජබ රත්නපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂක හේෂා විතානගේ අතර රත්නපුරයෙන් ඇයට නාම යෝජනා නොලැබීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටුම අවධාරණය කළේ දේශපාලන අනවබෝධයයි.

ව්‍යාපාරික දිලිත් ජයවීර නායකත්වය දෙන සර්වජන බලය ද තමන් ‘එඩිතර විපක්ෂය’ ලෙස ජනතාවට හඳුන්වා දෙමින් මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇත. ජනාධිපතිවරණයේදී ඡන්ද 120,000 ලබා හයවෙනි ස්ථානයට පත්වූ ජයවීර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ සැප්තැම්බරයේ තමන් සමග සිටි විමල් වීරවංශ සහ ගෙවිඳු කුමාරතුංග නොමැතිවයි. සර්වජන බලය මහ මැතිවරණයේදී මුහුණ දෙන අභියෝහය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමයි.

ජනාධිපතිවරණයේදී ජයවීරගේ කණ්ඩායම බලාපොරොත්තු වූ පරිදි ගෝඨාභය රාජපක්ෂට 2019 ඡන්දය දුන් 69 ලක්ෂයේ කණ්ඩායමෙන් කුඩා කොටසක්වත් දිනා ගැනීමට හැකි වූයේ නැත. ජාතිකවාදී කඳවුර නන්නත්තාර වූයේ ජනාධිපතිවරණයට පෙරය. එම කඳවුර යම් ආකාරයකින් ගෙන ඒමට තිබූ බලාපොරොත්තුව ජනාධිපතිවරණයත් සමගම නැතිවිය. මෙම මහ මැතිවරණයෙන් එම අවාසනාවන්ත තත්ත්වය ස්ථිර කරනු ඇත. විපක්ෂය තුළ අනිවාර්යෙන්ම සිටිය යුතු ජාතිකවාදී කඳවුර ප්‍රමාණවත් ලෙස නියෝජනය නොවීම ඛේදවාචකයකි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment