ඇල්පිටියේ අයවැයට මන්ත්‍රීවරිය ආවේ නැති නිසා පාරට දුන් තාර බැරල් යළි ගෙනිහින්

265

පසුගිය 28 වැනිදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා අයවැය ඡන්ද විමසීමට නොපැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකගේ යෝජනාවක් අනුව නම් කරන ලද ඉගල්කන්ද කරුණාතිලක පෙදෙස පාර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හිටපු සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා විසින් ලබා දුන් තාර බැරල් 03ක් 28 වැනිදා එම සභාවේ අයවැය පරාජය වීමත් සමගම රැගෙන ගොස් ඇති බව මන්ත්‍රීවරිය ඊයේ (29 වැනිදා) ඇල්පිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය වන නිමාලි රන්ජනිකා මහත්මියගෙන් දිවයින කළ විමසුමකදී ඇය මෙසේ පැවසුවාය. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ දෙවැනි සභාපතිගේ 2024 වර්ෂය සඳහා වූ අයවැය ප්‍රථම වරට ඡන්ද විමසීම සිදු කළ පසුගිය 21 වැනිදා මා අයවැයට පක්ෂව ඡන්දය දුන්නා. දෙවැනි වරට ඡන්ද විමසීම සිදු කිරීමට පෙර දින (27 දා) හදිසියේ හටගත් අසනීපයක් නිසා ප්‍රතිකාර ලබා ගැනීමට මා 28 වැනිදා උදෑසන කරාපිටිය රෝහලට ගියා. රෝහලෙන් ප්‍රතිකාර ලබා එන විට සවස් වුණා. මා මෙම ඡන්ද විමසීමට සහභාගී වීමට අදහස් කරගෙනයි හිටියේ. මා හිතාමතාම ඡන්ද විමසීම මගහැරියේ නෑ. ඡන්ද විමසීමට සහභාගී නොවීම නිසා මෙම තාර බැරල් නැවත රැගෙන ගිය බවට මා විශ්වාස කරනවා. මේක මෙම මාර්ගයේ ගමන් කරන වරිපනම් ගෙවන ජනතාවට සිදු කරන ලද බරපතළ අසාධාරණයක්.

මේ පිළිබඳව ඇල්පිටිය පොලිසියෙන් කළ විමසුමකදී ඇල්පිටිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා පැවසුවේ ඉගල්කන්ද ප්‍රදේශයේ පාරක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇල්පිටිය ප්‍රාදේශීය සභාව විසින් ලබා දී තිබූ තාර බැරල් 03ක් කිසිවකු හෝ රැගෙන ගොස් ඇති බවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි නිමලි රන්ජනිකා මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල ගැන විමර්ශනයක් සිදු කරන බවයි.

ඇල්පිටිය විදානආරච්චි කීර්තිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment