ඇල්පිටියේ එස්.අයි. පොලිස් පරීක්‍ෂකට තර්ජනය කරයි

39

එස්.අයි.ගේ වැඩ තහනම්

ඇල්පිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට සහ ඇල්පිටිය පොලිසියේ නඩු කටයුතු භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයාට අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කර පහරදීමට තැත් කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කළ ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකු හෙට්ටි මහතා පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයේ විභාග කොට්ඨාසයට ස්ථාන මාරු කර ඇත.

කාන්තාවකගේ මරණයක් සම්බන්ධයෙන් නිසි ලෙස රාජකාරි නොකිරීමේ චෝදනාවක් මත ඇල්පිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර විජේසිංහ මහතා සහ පොලිස් ස්ථානයේ නඩු කටයුතු භාර උප පොලිස් පරීක්ෂක අයි. ඩී. ශ්‍යානදාස මහත්වරු පොලිස් අධිකාරි කාර්යාලයට කැඳවා අසභ්‍ය වචනයෙන් බැන වැදී ඔවුන්ට පහරදීමට තැත් කළැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට එරෙහිව එම නිලධාරීන් දෙදෙනා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කර පොලිස් පොතේද සිද්ධිය පිළිබඳව සටහන් කර තිබිණි.

අනතුරුව මෙම සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයාගේ සෘජු අධීක්‍ෂණය යටතේ පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන අංශය විසින් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ද පැවැත්වූ අතර විමර්ශන නිලධාරියාගේ නිර්දේශ මත ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් උප පොලිස් පරීක්ෂකවරයා නැවත සේවයේ පිහිටුවා තිබිණි.

සිද්ධිය පිළිබඳ මේ වන විටත් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ උප පොලිස් පරීක්ෂකවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට එරෙහිව සාපරාධී බියගැන්වීම, අවමන් කිරීම සහ තර්ජනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර ඇති බවට වාර්තා වේ.

සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරිවරයා මීට පෙර හොරොව්පතාන පොලිස් කොට්ඨාසයේ කැබිතිගොල්ලෑව පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට පහරදී සාපරාධී බලහත්කාරය පෑම පිළිබඳව විමර්ශනය කොට පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට මාරු කර තිබූ අතර ඉන් අනතුරුව ජාඇල පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකුටද පහරදී ම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට එරෙහිව නීති උපදෙස් ලබා ගැනීම සඳහා එම නඩු ගොනු නීතිපතිවරයාට යොමුකර ඇති බවට ද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග හෙළිකර සිටී.

ඇල්පිටිය – විදානආරච්චි කීර්තිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment