ඇල්ල රොක් ගින්නෙන් අක්කර 700ක් විනාශයි

137

ගින්න නිවන්න ගුවන් හමුදා හෙලිකොප්ටර් සහාය ඉල්ලුවේ නෑ
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක
ගිය සැරේ අසාර්ථක වුණා: වියදමත් අධික නිසා හෙලිකොප්ටර් යොදාගත්තේ නෑ
සංචාරක නි. ඇමැති
හෙලිකොප්ටර් යොදා නොගත්ත හේතු පිළිගන්න බැහැ
පරිසරවේදී නයනක රන්වැල්ල

රාවණා ඇල්ල රක්ෂිතයට අයත් අධි සංවේදී කලාපයක් වන ඇල්ල රොක් කඳු පන්තියේ අක්කර 600ක හටගත් ගින්න පෙරේදා (15 දා) උදෑසන සම්පූර්ණයෙන්ම මැඬපවත්වා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එල්.එම්. උදයකුමාර මහතා ‘දිවයින’ට පැවැසීය.

13 වැනිදා පස්වරු 4.00ට පමණ හටගත් මෙම ගින්න හේතුවෙන් ඇල්ල රොක් කඳු පන්තියේ ගල් රත්වී එම ගල් පුපුරා යෑමේ අවදානමක් ද මතුව තිබූ බව හෙතෙම කීය.

එම කඳු පන්තියේ ගල් නිරාවරණය වී ඇති බැවින් ගල් පහළට පෙරළීමේ අවදානමක් මතුවී ඇතැයි ද ඒ හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන් දැඩි අවධානයෙන් හා විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.

14 වැනිදා රාත්‍රිය වනවිට ගින්න වේගයෙන් පැතිරයමින් රාවණා ඇල්ල දියඇල්ල දෙසට ව්‍යාප්ත වී තිබූ බව ද හෙතෙම කීය.

පවතින වියළි කාලගුණය, සුළං තත්ත්වය මෙන්ම අධික බෑවුම හේතුවෙන් ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගිය බව ද ඒ හේතුවෙන් ගින්න පාලනය කිරීමට යුද හමුදාව හා ගුවන් හමුදාව දින 3 ක් තිස්සේ දැඩි වෙහෙසක් ගත් බව ද ඒ මහතා කීය.

මීට අමතරව වනජීවී නිලධාරීන් හා පොලිසිය ද මේ සඳහා සහාය වූ බව ද හෙතෙම කියා සිටියේය.

පසුගිය කාලය තුළ මෙවැනි ගිනි නිවා දැමීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යොදාගත් බවත්, එම හෙලිකොප්ටර්වලින් ගිනි නිවීමට ගත් වෑයම අසාර්ථක වූ අතර නිකරුණේ අධික වියදමක් දැරීමට සිදුවන නිසා මෙවර හෙලිකොප්ටර් යානාවල සහාය ලබානොගත් බව ද හෙතෙම කියා සිටියේය.

මෙම ගින්න ඉබේ හටගත් එකක් නොවන බවත්, කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් ගිනි තබන්නට ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා කීය.

මේ අතර අප මෙම සිදුවීම ගැන ඇල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් විමසූ විට කියා සිටියේ මෙම ඇල්ල රොක් කඳු පන්තියට ගිනි තැබූ පිරිස අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් අරඹා ඇති බවයි.

ගිනි තැබීම සිදු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඇත්නම් ඇල්ල පොලිසියට දැනුම් දෙන ලෙස ද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අප මේ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතාගෙන් විමසූ විට කියා සිටියේ, එම ගින්න නිවා දැමීමට දියතලාව කඳවුරේ ගුවන් හමුදා භට කණ්ඩායමක් සම්බන්ධවූ බවයි.

ගින්න නිවාදැමීමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවල සහායක් කිසිවකු ඉල්ලා නොසිටි බව ද හෙතෙම කීය.

කෙසේ වෙතත් දියතලාව කදවුරේ ගුවන් හමුදා භට පිරිස යුද හමුදා සාමාජිකයන් සමග මැදිහත්වී ගින්න පාලනය කළ බව ද ඒ මහතා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා මෙසේ කීය.

“මම මේ ගැන ආරක්ෂක ලේකම්තුමා, දියතලාව ආරක්ෂක නිලධාරීන් සමග සාකච්ඡා කළා. පසුගිය අවුරුදු කීපය තුළ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මගින් ගින්න

මැඬපැවැත්වීමට ගත් උත්සාහයන් අසාර්ථක වුණා යැයි අදහසක් මතු වුණා. ඒ අසාර්ථක අත්දැකීම සහ අධික වියදම කියන කාරණා නිසා තමයි අපි මෙවර ගුවන් හමුදා යානා යොදා නොගත්තේ.

මේ සම්බන්ධව පරිසරවේදී නයනක රන්වැල්ල මහතාගෙන් විමසූ විට මෙසේ කියා සිටියේය.

“මේ සිද්ධියේදී ඇල්ල රොක් කඳුවැටියේ අක්කර 700කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා. ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මේ වගේ තැනකට ගෙනියන්න බැහැ කියන එක පිළිගන්නෙ නැහැ. අනිත් එක මේ වගේ අවස්ථාවක හෙලිකොප්ටර් යානාවකින් ජලය දාලා ගින්න නිවන්න බැහැ, ඒක අසාර්ථකයි කියන එකත් පිළිගන්නෙ නැහැ. මොකද ඔය හෙලිකොප්ටර් යානයකින් ජලය ලීටර් 11,000 ක ප්‍රමාණයක් රැගෙන යන්න පුළුවන්. ජෛව විවිධත්වයකින් සමන්විත සොබාව සෞන්දර්ය වටිනාකමකින් යුත් සංචාරක ආකර්ෂණය වැඩිම කලාපයක තමයි මේ ගින්න ඇති වුණේ.

අනිත් එක මේ සොබාව සෞන්දර්යය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි කරන්න ඕනෙ.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, එච්.එම්. සමරකෝන් බණ්ඩාර – බදුල්ල සහ ධම්මික සල්වතුර


advertistmentadvertistment